විසාකා , නුඹ දීග ගිය දා ලැබූ ඔවදන් , කියා දෙන්නට
හිටියෙ නැහැ මට කිසිම දවසක නුඹෙ පියා වැනි සිටු පියෙක්...
උනන
කඳුලක රහස සඟවන පියෙක් පිළිබඳ තතු නොදන්නා
මව් කුසට අනියත බරක් වූ මම අසම්මත දියණියක්...
විසාකා නුඹ සිටු කුලේමය මගේ උරුමය අඩු කුලේ විය
ලැබූ පෙලපත සාපයක් මිස කුලගෙයට දුන් අබිමනක් නැත...
පිටත ගින්දර ගෙට නොගත්තට ඇතුලෙ ගිනි ඇවිලුනා වියරුව
ඒ රුදුරු ගිනි නොදී පිටතට පතිකුලය සිර කරමි සුසුමක...
එදා මෙන් මහ වැසි වසින විට නුඹ ගියා මෙන් නාරි ගමනක
ඇවිද යන්නට හැකි වුනේ නැත රතු ඉරට කිසි හදවතක් නැත...
විසාකා නුඹෙ මිණි මෙවුල මෙන් උරුම වටිනා කිසි දෙයක් නැත
තිබූ එකමෙ'ක අරුංගල් දෙක බාර දුන්නා උගස් කඩයට...
භවය සරමින් පින් එකතු කළ රුවැති පින්බර ළඳ නුඹම විය
සසරෙ අරුමය තවම විඳවන මගෙ කතාවට නමක් දෙනු මැන...