එක්තරා දිනයක මධ්යම රාත්රී කාලයේදී බෝගම්බර වැව අසල තනිව සිටි පුද්ගලයෙකුට ඇහැලේපොළ කුමාරිහාමිගේ ආත්මය මුණගැහී සිදුකරා වූ කතාබහක් මෙසේ...
වැව අසල සිටි පුද්ගලයා :-
මාසෙ පෝයක දාක අහසෙහි
සඳ එළිය වැටි නුවර වැව් දිය
මූසලව හඬ නඟනු ඇහුණා
කාත් කවුරුත් නැතිව තනිකම
සමඟ සුළඟක් තදින් හැමුණා
සුදු පාට ඔසරියෙන් සැරසුණු
කතක් ඈතින් එනෙනු පෙනුණා
ටිකෙන් ටික ඈ මවෙත ඇවිදින්
මා අසලකින් ළඟින් රඳුණා
තනිව හුන් මා වෙතත් ඈ ගැන
යටි හිතේ මෘදු ලොභක් බැඳුණා
සඳත් පරයන ඈව දුටුවිට
තනිව මේ ඇය ඇයිද හිතුණා
වන්දනා නඩයකින් ආවෙද
රුවැතියේ උඹ කවුද ඇසුණා
කිසිත් නොකියම හැරී බැලු ඇගෙ
දෑස් මත මහා දුකක් රැදුණා
කියාගන්නට බැරිව බෝ දේ
කඳුළු විලසින් බිමට වැටුණා
කඳුළු අස්සෙහි එකට කැටිවී
භයත් තරහත් දෙකම පෙනුණා
ඔන්න එවිටම නුවර දෙදුරුම්
කරන් වැහි නැති හෙණක් ගැහුණා
ඇහැලේපොළ කුමාරිහාමිගේ ආත්මය :-
වඩිග රජෙකුගෙ කුරිරු අණකින්
පවුල එක්කම එකට නහලා
මරා දමවපු ගැහැනියයි මම
ගලක් බඳිමින් වැවෙහි දමලා
ඔච්චරම උඹ අහන හින්දම
කියන්නම් මම කවුද කියලා
කන්ද උඩරට ඇහැලෙ පොළ යැයි
කියන්නේ මට නැද්ද අහලා
එදා මුලු මහ නුවර සිව්කොන
දස දහස් ජන ජනින් වෙතට
සේවයෙහි ඇප කැපවෙලා සිටි
මහා නිලමේ මගෙ සැමියා රටට
ළඟම හිතවත් කමත් හින්දම
රජුට සේවය කරනු ලෙසට
යන්න විය මුළු පවුල තියලා
සපර ගමුවෙහි බලා ඔහුට
මලක් තනිවම පිපෙන විටකදි
අයිතිකරුවෙකු නැතුව උයනේ
එමල තැළුමට නොයෙක් බමරුන්
විටෙන් විට වෙස් අරන් පැමිණේ
මොල්ලිගොඩ නම් අමන නිලමයා
තනිව මා හුන් කලදි නිතිනේ
තිරිසණෙකු මෙන් ඇදී ආවා
මා සමඟ වැතිරෙන්න සයනේ
මිනිහා නැතිමුත් අස්වැසිල්ලට
හිඳින්නට උගෙ පපුව හෙවණේ
වෙන එකෙක් වෙත ගිහින් ලගිනට
ඒවි යැයි බොට කොහොම හිතුණේ
බැහැලා පලයන් ගෙයින් එලියට
මගෙ අතින් උගෙ කනක් පිරුණේ
ඔන්න ඔය හේතුවම හින්ඳයි
එදා සිට ඌ වෛර බැඳුණේ
මොන තරම් කුසගින්න දැනුනත්
සිංහයන් තණ කොල නොකයි
ඒ විලස පති රකින ගැහැණුන්
වෙනකු ළඟ දන නොම නවයි
පිරිමි නෙක රස කතා කියමින්
ගැහැණු සෙල්ලම් බඩු සිතයි
වඩිගයත් අණ එලෙස පෑවේ
මං ඌට බෑ කිව් නිසයි
ටිකෙන් ටික කාලයක් යනකොට
එකින් එක කටකතා හැදුණා
රජු මරන්නට ඔටුණු ගන්නට
ඔහු සුද්දා ළඟ කල්ලි ගැහුණා
එයින් කුපිතව වඩිගයා උගේ
පළිය ගන්නට නියම කෙරුණා
කවුරු මොන අදහසින් කීවත්
ඔහු නිදොස් බව මවෙත දැනුණා
තන පුඩුවෙ එල්ලිලා කිරි බොන
පොඩි එකී මගෙ අරන් ඇදලා
ගන්නකොට කිරි විතරක්ම නොව
රුධිරයයි ගියෙ පපුව පැලිලා
ලොකු එකා මං අස්සෙ හැංඟී
හඬනකොට ඔසරියේ එතිලා
මද්දුමයා දං ගෙඩිය වෙත ගොස්
ඒ වෙනකොටත් බෙල්ල තියලා
පොළෝ ගැබ නුහුලනා තරමට
ගස් පවා විත් බිමට නැමිලා
මළ ගෙයක් වාගේ උනුන් ගෙත්
තිබුණෙ නෑ එක මලක් පිපිළා
මහා මළුව මත දෙනෝ දාහක්
තැවෙන විට සිහි නැතිව වැටිලා
කන්ද උඩරට එදා දවසේ
කිසි ගෙයක නෑ බතක් ඉදිලා
අවැසි නම් මුළු පවුල වෙනුවෙන්
රෙද්ද ගලවා දමනු තිබුණා
ඒත් මට අන්තිමේ වෙනකල්
ඔහු එතැයි යළි යළිත් හිතුණා
පිරිමි මොන මොන කතා කීවත්
වාසියට හැම වෙනස් කෙරුණා
ගැහැණු එකමෙක හිතක් මත්තෙම
එදා වාගෙම අදත් නැහුණා
වැව අසල සිටි පුද්ගලයා :-
කියා අවසන ඇගෙ පපුවෙ දුක
ආයෙමත් හෙණ හඬක් ඇසුනා
මං යනවා මල්ලියේ කියමින්
ඈතකට ඇය යන්න ඇදුණා
හැමදාම මේ නුවර හේදෙන
වැස්ස ඇගෙ කඳුලුදැයි හිතුණා
නුවර වැව වෙත බිලිවෙන්න ගිය
මාත් ආපහු එන්න හැරුණා
Dilan Danushka