Monday, February 02, 2026
Follow Us
තනිය බර අඩි තියල තිබුණා
හැන්දෑවෙ අප්පච්චි යනකොට
බල්ල සරමෙන් ඇදල තිබුනා
කෑරලෙක් පොල් අත්තෙ ඉඳලා
පියඹලා විත් ඇඟේ වැදුනා
ගෙදර උළු වහු කඳේ ඉඳගෙන
හූන චික් චික් ගාල තිබුනා
කකුළ ලිස්සල වැටිල අම්මගෙ
කළේ ළිඳ ළඟ බිඳිල තිබුණා
පාන්දර තුන හමාරට කන
කොකෙක් සද්දෙට අඬල තිබුනා
වෙනද නොඑනා නරි රැලක් විත්
ගමේ හූ මිටි තියල තිබුණා
නොඑන නින්දක් එක්ක පැඳුරේ
අම්ම මහ රෑ ගෙවල තිබුණා
කණමැදිරි පහ හයක් අඳුරේ
ඇගේ තනියට ඇවිත් තිබුණා
කුඹුර අද්දර ඇළේ සද්දෙට
ගෙම්බො තරගෙට අඬල තිබුණා
වහල හරි මැද බාල්කෙක කළු
දෙබරු මීයක් බැඳල තිබුණා
උදේ දල්වපු පහන අද්දර අම්ම
පඬුරක් බැඳල තිබුනා
අප්පච්චි උන් පැලට ඉහළින්
තනිය බර අඩි තියල තිබුණා.
 
කල්පනී ගුණවර්ධන