ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසින් පොත් තොගයක් හා බුදු පිළිමයක් සොරාගත් පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු දුරකතන අංකයකට ඇමතුමක් ලබා දී ඇති අදාල පුද්ගලයා පවසා තිබෙන්නේ පොත් තොගය හා බුදු පිළිමය යළි බාරදීමට සූදානම් බවයි.
නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානිය වෙනුවෙන් අයවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන්දි මුදල රටට අහිමි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.
වක්‍ර බදු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ව්‍යවසායකයන්ට ඉදිරියේදී සියයට 22 කට ආසන්න වක්‍ර බදු ගෙවීමට සිදුවන බවයි.
ගෑස් මිල (05) සිට යළි අඩු කෙරුණත් සැකසූ ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරියේදී මාළු මිල ගණන් තවදුරටත් ඉහල යා හැකි බව ධීවර සංගම් පවසනවා. භූමිතෙල් හිඟය අවසන් වුවද නොසිතූ ලෙස භූමිතෙල් මිල ඉහලයාම හමුවේ ධීවරයින් සිය රැකියාවෙන් ඉවත් වීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ.
මෙරට සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රජයට මූල්‍යමය පාඩුවක් අත්කර නොදෙන, රටට කිසිසේත් බරක් නොවන ආයතනයක් බව එම සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පැවසුවේ “ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යනුවෙන් නිකුත් කරන ලද, මෑත කාලීන මාධ්‍ය ප්‍රකාශයන් හරහා එම සමාගම ද පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් ලෙස ලැයිස්තු ගත කර ඇති බවයි.
Page 222 of 768