Wednesday, November 18, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා අද (18) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

 

ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය විජිත හේරත් මහතාට ස්තුතිය පළ කළේය. 2024 වසරෙන් පසු බංග්ලාදේශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සඳහන් කළේය. දෙරටම ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින බැවින්, දෙරටේම දියුණුව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
 
ශ්‍රී ලංකා රජය ආරම්භ කළ 'Clean Sri Lanka' සහ 'ප්‍රජාශක්ති' වැඩසටහන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. දරිද්‍රතාව තුරන් කිරීම දෙරටටම වැදගත් ප්‍රමුඛතාවක් බව සඳහන් කළ ඔහු, බංග්ලාදේශය ද ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.
 
කලාපීය රටවල් සමඟ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් සමීපව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පැවසීය. වෙළෙඳ, වාණිජ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට බංග්ලාදේශයේ සහාය ද ඉල්ලා සිටියේය.
 
එළඹෙන Expo 2027 ප්‍රදර්ශනයට බංග්ලාදේශ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගී කරවීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඒ සඳහා සහාය ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා එකඟ විය.
 
බංග්ලාදේශයේ ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා රජයන් දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා වරණීය වෙළඳ ගිවිසුම (Preferential Trade Agreement) යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශයෙන් ඉල්ලා සිටියේය.
 
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1972 වසරේ දී ආරම්භ වූ බව සිහිපත් කළ දෙපාර්ශ්වය, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ කළහ.
 
මෙම හමුවෙන් අනතුරුව, දෙරට අතර පුළුල් සහයෝගීතාවක් ඇති කිරීම සඳහා බංග්ලාදේශ - ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිසමක් පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි.