“නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් අපගේ වගකීම අවසන් වන්නේ නැහැ. එම දරුවාට නිරෝගී අනාගතයක් ගොඩනඟා දිය යුතුයි” යනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.
නොවැම්බර් 15 වැනිදාට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ඊයේ (15) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර් පරිශ්‍රයේ පිහිටි Courtyard by Marriott හෝටලයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් සියයට 10ක් පමණ නොමේරූ දරු උපත් වන බැවින්, එම ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙන්ම ඔවුන්ගේ ඉදිරි සෞඛ්‍ය හා සාමාන්‍ය වර්ධනය තහවුරු කිරීම සඳහා අඛණ්ඩ පසු විපරම් සත්කාර සේවාවන් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍යවරයා පවසුවේය.
නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සමාජ දැනුවත්භාවය පුළුල් කිරීම සහ එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යන නොමේරූ ළදරුවන් සම්බන්ධයෙන් ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.
නිසි පසු විපරම් සහ සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ ශාරීරික වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.
මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ අවධානයක් බව ද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද අගය කළේය.
නොමේරූ ළදරුවන්ට අවශ්‍ය සත්කාර සහ රැකවරණය සැලසීම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පමණක් වගකීමක් නොවන බවත්, ඒ සඳහා වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
සෑම නොමේරූ ළදරුවකුටම ජීවිතයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට අවශ්‍ය රැකවරණය සහ අවස්ථා හිමිවිය යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික වගකීමකින් කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ විද්වත් කතිකාවතක් ද මෙහිදී පැවැත්විණි. නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද එහිදී එළිදක්වන ලදී.
මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් ආසන්න වශයෙන් සියයට 10ක් නොමේරූ දරු උපත් බව දත්ත මඟින් පෙන්වා දෙන අතර, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ එවැනි ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ද ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ සෞඛ්‍යය හා වර්ධනය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නිසි වෛද්‍ය සත්කාර සහ දිගුකාලීන පසු විපරම් සේවාවන් අත්‍යවශ්‍ය වේ.
එමඟින් නොමේරූ උපත් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට මෙන්ම පවුල් සහ සමස්ත සමාජය මත ඇතිවන දිගුකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කරගැනීමට ද හැකියාව ලැබේ.
මාතෘ, භ්රෑණ සහ නවජාත සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පරිජන්ම සංගමය, ප්‍රසව හා නාරිවේදය, ළමා රෝග සහ නවජාත සත්කාර ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන බහුවිෂය වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයකි.
විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ මාතෘ හා ළදරු සෞඛ්‍ය සේවාවන්හි ප්රමිතීන් ඉහළ නැංවීම එම සංගමයේ ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපති මහාචාර්ය රුවන්ති පෙරේරා, ලේකම් විශේෂඥ වෛද්‍ය ජිත්මා ෆොන්සේකා, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා, තේරී පත්වූ සභාපති විශේෂඥ වෛද්‍ය ශ්‍රී තරන් සහ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ සංගමයේ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.