Wednesday, November 18, 2026
Follow Us
ව්‍යාපාර වර්ධනයට නව අවස්ථා විවර කරන 'ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) 2026' ඇරඹෙයි
මෙරට ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කරගත් 'ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) 2026' වැඩසටහන, නවක ව්‍යවසායකයින්, නව ව්‍යාපාර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ව්‍යාපාරික හිමිකරුවන් සහ තරුණ නවෝත්පාදකයින් එකම වේදිකාවකට රැස් කරමින් පසුගියදා(14) ආරම්භ විය.

 

ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN Global) විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.
 
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධාන කළ මෙහි සමාරම්භක උත්සවය විද්‍යා සතියේ දෙවන දිනයේ දී පැවැත්විණි.
2026 නොවැම්බර් 16 සිට 22 දක්වා පැවැත්වෙන ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව සංකේතාත්මකව ආරම්භ වන මෙම ජාතික වැඩසටහන, වසර පුරාම ක්‍රියාත්මක කෙරේ.
 
දැනුම හුවමාරු කර ගැනීමට, ව්‍යාපාර ප්‍රදර්ශනය කිරීමට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසමින් විද්වත් සාකච්ඡා, වැඩමුළු, සැසි සහ ව්‍යාපාර ප්‍රදර්ශන රැසක් මීට ඇතුළත් වේ. මෙවර වැඩසටහනේ සුවිශේෂී අංගයක් වන 'ව්‍යවසායකත්ව මැරතන්' (Entrepreneurship Marathon) වැඩසටහන හරහා දේශීය ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සංවර්ධනය කිරීමට රජය, පෞද්ගලික අංශය, විද්වතුන් සහ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සංවිධාන එක්ව කටයුතු කරනු ඇත.
 
මෙහි දී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානය හිමිකරගෙන ඇති බවත්, නවෝත්පාදන අදහස් භාණ්ඩ හා සේවා බවට පත් කරමින් ගෝලීය වෙළඳපොළට පිවිස විදේශ විනිමය උපයන ව්‍යවසායකයින් රටේ ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය බවත් ය.
 
එමෙන්ම සිසුන් සහ ග්‍රාමීය ප්‍රජාව ඇතුළු සියලුම ක්ෂේත්‍රවල පුද්ගලයින්ට ව්‍යවසායකත්ව දැනුම, මඟපෙන්වීම සහ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ජාල සමඟ සම්බන්ධ වීමට මෙය වැදගත් වේදිකාවක් සපයන බවත්, රජයේ, පෞද්ගලික අංශයේ සහ මහජනතාවගේ සාමූහික ප්‍රයත්නය තුළින් ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීම අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රොෂානි දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.