Wednesday, November 18, 2026
Follow Us
තරුණ ඇසින් දකින අනාගතය" – ProYouth 2026 ජාතික සමුළුව සහ සහතිකපත් ප්‍රදානය කෙරේ
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ආසියානු ඵලදායිතා සංවිධානයේ ආධාර මත සහ ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ සහයෝගිතාවෙන් ක්‍රියාත්මක කරන ලද ProYouth 2026 ජාතික තරගාවලියේ සමාප්ති උළෙළ සහ සහතිකපත් ප්‍රදානෝත්සවය (ProYouth 2026 Forum) ඊයේ (17) දින සාර්ථක ලෙස පැවැත්වුණි.

 

 
​"තරුණ ඇසින් දකින අනාගතය" තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි AI වීඩියෝපට සහ ඩිජිටල් තාක්ෂණික ව්‍යාපෘති යෝජනා අංශ යටතේ ඉදිරිපත් කිරීම් 512ක් ලැබී තිබූ අතර, එය 2025 වසරට සාපේක්ෂව 502%ක දැවැන්ත වැඩිවීමකි. Sinhala, Tamil, සහ English යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් වූ මෙම නිර්මාණ හරහා තරුණ ප්‍රජාවගේ ඵලදායිතාව සහ නව්‍යකරණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවී ඇත.
 
​මෙම සමුළුව අමතමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා අවධාරණය කළේ, මිනිස් සමාජය නිරන්තරයෙන් අලුත් වන දැනුම හා තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවයි. අතීතයේ පැවති සම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට යමින්, වත්මන් තරුණ පරපුර කෘතිම බුද්ධිය (AI - ChatGPT, Gemini වැනි තාක්ෂණයන්), ස්මාර්ට්ෆෝන් සහ ඩිජිටල් මෙවලම් භාවිත කරමින් ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කසල කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි ක්ෂේත්‍රවලට නව්‍ය විසඳුම් ලබා දී ඇති බව එතුමා පෙන්වා දුන්නේය.
 
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාවලි කාර්යක්ෂම කරමින්, ඵලදායිතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟීම සඳහා මෙවැනි තරුණ නවෝත්පාදන ජාතික මට්ටමින් දිරිගැන්වීම සහ ඒවා ආර්ථිකයට සම්බන්ධ කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් දරුවන් 116 දෙනෙකු වෙනුවෙන් සැප්තැම්බර් මාසයේදී විශේෂ බූට් කෑම්ප් (Boot Camp) වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීම සහ වාණිජකරණය පිළිබඳ පුහුණුවක්ද ලබා දී ඇත.