"ගැහැනියකට ජීවිතේ වරදින්න පුළුවන්. වරද්ද ගන්න පුළුවන්. හැබැයි අම්මා කෙනෙක්ට ජීවිතේ වරදින්නත් බෑ. වරද්ද ගන්නත් බෑ."
දූල්වල විදානගේ තිළිණි ධනුශ්කා දූල්වල, 35 හැවිරිදි තිදරු මවකි. කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙසින් කටයුතු කරන අතරම අත්කම් නිර්මාණ කරමින් ජීවිතයට වටිනාකම් සොයන දිරිය ළඳකි. D9 creations යනු ඇගේ අත්කම් නිර්මාණ ව්‍යාපාරයයි. සිඟිති දියණියන් ලස්සන කරන හෙයාර් බෑන්ඩ්, කොණ්ඩ කටු ආදී දියණියන්ගේ හිස සරසන අපූරු නිමැවුම් ඇගේ අතින් නිර්මාණය වෙයි. වර්ණවත් බවින් හා අලංකාරයෙන් අනූන මේ නිර්මාණ දුටුවනගේ සිත් සොරාගන්නට සමත්ය. අපි ඇගේ දිරිය කතාව ඇගේම හඩින් මෙලෙස ගෙන එන්නෙමු.
“උසස් පෙළ ගණිත අංශයෙන් කළ මම විභාගෙට හරියටම මාස 6ක් තියෙද්දී ජීවිතයේ එක වැරැදි තීරණයක් ගන්නවා. අන්තිමට ඒ තීරණය කෙළවර වුණේ අවූරුදු 22න් මාව යකඩ ගැහැනියක් වගේම අවුරුදු 3ක පුතෙක්ගේ හොඳම හොඳ අම්මා කෙනෙක් කරලා. කාලයක් ගෙයි ගෙම්බා වගේ ගේ අස්සටම වෙලා ලෝකයේ මිනිස්සුන්ට බයේ නෑදෑයන්ට බයේ යාළුවන්ට බයේ හැංගිලා හිටියා. අවුරුදු දෙකක් හැංගිලා හිටපු මම අවුරුදු 25න් තීරණයක් ගත්තා. ඒ මටයි මගේ පුතාටයි නැති වුණු හැමදේම ආෙය ලබාගන්නවා. මගේ කොල්ලට මගේ අම්මා අහවල් තැන වැඩ කරන්නේ කියලා කියන්න පුළුවන් රස්සාවක් කරනවා කියලා.
ඉතින් අවුරුදු 25 දී පුතා එක වසරට භාර දීලා මම උසස් පෙළට වාඩි වුණා. මාස තුනක් දිවා රෑ නැතුව මහන්සි වුණා. සිංහල, නාට්‍ය හා රංග කලාව, තර්ක ශාස්ත්‍රය ඔය විෂයයන් තුන කළේ. විභාගෙ පාස් වුණා. ඔය අතරේ හැමගේම ආශීර්වාදයෙන් ජීවිතයේ වෙනසක් වුණා. මම ජීවිතයේ ගත්ත නිවැරැදිම තීරණය. ආයෙත් සතුටු පවුලක්. උසස් පෙළ ප්‍රතිඵලවලින් මම රජයේ රැකියා විභාග දෙකක් ලිව්වා. එකක් කළමනාකරණ සහකාර විභාගය. අනික ග්‍රාම නිලධාරි විභාගය. දෙකම සමත් වුණා. අවුරුදු 29න් මම කළමනාකරණ සේවා නිලධාරිනියක් ලෙස සේවයට බැඳුණා. සතුටු පවුලක්. දුවයි, පුතාලා දෙන්නයි හැමදේම අපිට තිබුණා. මහත්තයා සංචාරක මාර්ගෝපදේශකයකු විදිහට වැඩ කළේ.
ඔය ජීවිත කතාව වෙනස් වුණේ කොරෝනා ආවට පස්සේ. සංචාරක ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටෙද්දී ලෝන්වලට කැපුණු මගේ පොඩි පඩිය විතරක් ඉතුරු කරලා මගේ ගෙදර ආර්ථිකයත් මුළුමනින්ම කඩා වැටුණා. ගෙදර කන්න නැති වුණා. දරුවන් තුන් දෙනාගෙන් දෙන්නෙක් බලන් ඉඳිද්දී පොඩි එක්කෙනාට විතරක් කෑම දෙන්න වුණා. වේල් දෙකක් කළා පොඩි අයට දීලා අපි දෙන්නට බඩගින්නේ ඉන්න වුණා. ඒත් අපි අතඇරියේ නෑ. සල්ලි හොයන්න හැමදේම කළා. පාරේ එළවළු විකිණූවා. හිස් බෝතල් එකතු කරා, රියැදුරු රැකියා කළා. මඤ්ඤොක්කා තම්බලා විකිණූවා. සෙරෙප්පු හැදුවා. ඔය කාලෙදි ගෙදර කන්න නැති වෙද්දී ගොඩක් අය මට උදව් කළා. හොඳම යාළුවෝ නෙවෙයි නමක් වත් නොදන්න කවදාවත් කතා කරලා වත් නැති යාළුවෝ. මල්ලිට තමන්ගේ පංගුව දීලා මම ඒ කෑමට කැමැති නෑ කියපු ලොකු පුතයි දුවයි මගේ හිත ආදරෙන් පිරෙව්වා. මේ මාස 6ක් 7ක් කාලය මමයි මහත්තයයි වගේ මගේ දරුවෝ තුන් දෙනත් මහා කැපවීමක් කළා. ජීවත් වෙන්න කරපු හැම උත්සාහයක්ම පහු කරලා අන්තිමට ජීවිතේ එක තැනක නැවතුණා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.
විවාහ වෙන්න කලින් අත්කම් නිර්මාණ කරන්න දැනුම තිබ්බෙම නෑ. ඉස්කෝලේ යන කාලේ අත්වැඩ කළේම නෑ. අකුරු කැත නිසා boy friend ට දුන්න කාඩ් ලිව්වෙත් යාළුවෙක්.
You tube video එකක් බලාෙගන මම ඉස්සෙල්ලම hair clip එකක් හැදුවේ. පස්සේ ටික ටික හදලා ඔෆිස් එකට ගෙනිච්චා. ගත්ත අය තව ඉල්ලුවා. ෆේස්බුක් පේජ් එකක් හදලා ඒකේ දැම්මා. ඕර්ඩර් ආවා. අද මම මගේ ස්වයං රැකියාවෙන් මගේ පවුලේ කඩා වැටුණු ආර්ථිකය ස්ථාවර කරගනිමින් ඉන්නවා. උදේ පාන්දර 5ට නැඟිටලා උයලා ලොකු දෙන්නව පාසල් දාලා ඇවිත් චූටි පුතාව අම්මා ගාව තියලා රැකියාවට යනවා. ආෙය හවස 4.30 වෙද්දී ගෙදර ඇවිත් රෑට කෑම හදලා බබාලගේ ඉස්කෝලේ වැඩ කරලා, රෙදි හෝදලා, රෑට උයලා ගෙදර වැඩ ඉවර කරලා බබාලව 9 වෙද්දී නිදි කරනවා. 9.30 ඉඳලා ඇණවුම් තියන විදිහ අනූව රෑ වෙනකන් වැඩ කරනවා. සමහර දවසට පාන්දර 1 හෝ 2 වෙනකන් වැඩ කරනවා.
පැය අටක රැකියාවක් කරලා දරුවො තුන් දෙනාගේ වැඩත් කරෙගන ගෙදර වැඩත් කරගන තවත් ස්වයං රැකියාවක් කරන එක අමාරුයි තමයි. හැබැයි මම ජීවිතේ අත් අරින්නේ නෑ. කොහොම හරි මගේ දරුවෝ තුන් දෙනා වෙනුවෙන් මගේ මහත්තයා වෙනුවෙන්, එයාලා මේ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් දෙනවා. මගේ ජීවිතේ තියෙන්න එකම ආදර්ශ වගන්තියයි. ඒ තමයි, "ගැහැනියකට ජීවිතේ වරදින්න පුළුවන්. වරද්ද ගන්න පුළුවන්. හැබැයි අම්මා කෙනෙක්ට ජීවිතේ වරදින්නත් බෑ. වරද්ද ගන්නත් බෑ."
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
Tharunie