“ඇත්තමයි මිගාර, ඔයාට ගොඩක් ස්තුතියි. බලන්නකො... වයරින් එකේ මොනතරම් අඩුපාඩු තිබුණද කියල. ඒව ක්ලියර් කරල දුන්නා විතරක් නෙවෙයි, ආයෙ ප්‍රශ්නයක් වුණොත් ඒව රෙපයාර් කරගන්න විදිහත් කියලා දුන්නනෙ. ඔයා කියල දුන්නු විදිහට කරලා බලමුකො, ලයිට් බිලත් අඩුකර ගන්න පුළුවන්ද කියලා.“
පූර්ණිමා කෘතඥතා පූර්වකව කිව්වා. අපි කලින් කතා කළ හැම දෙයක්ම විෂයය මූලික කරුණු එක්ක බැඳුණු ප්‍රායෝගික දේවල්නෙ පූර්ණි. හැබැයි තව දේවල් තියෙනවා කතා කරන්න. ඉදිරියෙදි කතා කරන්නයි හිතාගෙන හිටියෙ. ඒත් දැන් ලයිට් බිලේ අඩුකර ගැනීමක් ගැන ඔයා කියපු නිසා දැන්ම කියන්නම්කො.“
“අනේ දැන්ම කියන්න මිගාර කරන්ට් බිලේ ගාන දැක්කාම මට කරන්ට් වැදුණා වගෙ ගැහෙනවා.“
සිනාසෙමින් වුණත් කාශ්‍යප කිව්වේ බැරෑරුම් හඬකින්.
කරන්ට් බිල වැඩිවීමට ආණ්ඩුවට දොස් කියල වැඩක් නැහැ මිගාර. විදුලි බලමණ්ඩලේට බැණල වැඩකුත් නැහැ. අපිම හිතල කළයුතු වැඩ ගොඩක් තියෙනවා.“
අද තියෙන ලොකුම අර්බූදනෙ විදුලිය, ඩීසල්, පෙට්‍රල්, ගෑස්. සති ගාණක් විදුලිය ගැන කතා කරපු නිසා මම ඒ ගැන කියන්නම්කො.
“කරන්ට් එක ගැන තව කතා කරන්න දේවල් තියෙනව ද මිගාර?“
පූර්ණිමා ඇසුවා.
“තාක්ෂණික පැත්ත නෙමෙයි පූර්ණි... භාවිතය පිළිබඳ අපේ ආකල්ප නිසා ඇතිකරගත්තු ගැටලු. දැන් මෙහෙම හිතන්නකො අපි ඉස්කෝලේ යන කාලෙ අම්මා නැඟිටින්නේ පාන්දර තුනට. හතර වෙද්දි අපිව ඇහැරවලා පොල්කටු අඟුරු ස්ත්‍රික්කෙන් රෙදි මදිනවා. අපි ගියාට පස්සෙ අම්මා ළමයින්ගෙ පැවරුම් එහෙම බලලා හයහමාරට ඉස්කෝලෙ යනවා. ඒ කාලෙ බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, ගෑස් කුකර්, අවන්, හීටර්, හොට්ප්ලේට් මොනවත් නැහැ. ඒව විතරක් නෙවෙයි කරන්ට් එකත් තිබුණෙ නැහැනෙ.
අද කාලෙ එහෙමද... ජීවිත මොනතරම් පහසු වෙලාද? වැඩ කාර්යක්ෂම කරන උපකරණ නිසා කාලය ඉතිරි වෙනවා. හාල් ටික දාලා රයිස් කුකර් එක දැම්මාම ඔහෙ ඉදෙනවා ඉතින්. ප්‍රෙෂර් කුකර් තවත් පහසුවක්. මිරිස් ගල, වංගෙඩිය ඇත්තෙම නැති තරම්. ඒ මදිවට විදුලි හිරමණත් ඇවිදින්. මේ සේරම ගේ ඇතුළෙ ගොඩ ගහගෙන කෑ ගහනවා කරන්ට් බිල හොඳටම වැඩි වෙලා කියලා...“
“ඒ වුණාට පුදුම පහසුවක්නෙ තියෙන්නෙ මිගාර.“
“හරිම පහසුයි වගේම, කාලය, ශ්‍රමයත් ගොඩක් ඉතිරියි. මට කියන්න ඒ ඉතිරිවෙන කාලය ඵලදායි දේකට වැය කළාද කියලා. නැහැනෙ. අම්මලා පාන්දර තුනට අවදිවෙලා වැඩ කළා. ඔයාල උපකරණ නිසා ඉතිරිවෙන කාලය තව ටිකක් නිදා ගන්න වැය කරනවා. උයන්න කම්මැලි හිතුණදාටත් බඩගින්නෙ ඉන්න ඕනෙ නැහැ... කුකුළත් අතින් අරන් චූන් පාන් වෑන් එක දොරකඩ.
රෙදි හේදිල්ලත් මැෂින් එකේ... බාගෙට වේළිලා එළියට ගන්නෙ. වංගෙඩි නැතිවෙලා ගෑනු වංගෙඩි වෙලා...“
කාශ්‍යප කොක් හඬලා සිනාසුණා.
“ආ... ආ... කොහොමද පූර්ණි ඒක?“
“අනේ යන්න නිකම්... මම ඒ තරම් මහත නෑ.“
“හරි, හරි. වැඩ පහසු වුණාට කරන්ට් බිල දැනෙනවනෙ නේද? ඒක අඩුකර ගන්න අමාරුම නම් කරන්න ඕනෙ වෙනත් වියදම් පාලනය කර ගන්න එක. ඒකට විකල්ප ඕනෙ තරම් තියෙනවා. අපි නොකළට.“
“ඒ මොනවද මිගාර?“
“ස්ටාෆ් හයර් එක නතර කරල ට්‍රේන් එකෙන් වැඩට යන්න. දරුවො දෙන්නව CTB ස්කූල් බස් එකට දාන්න. ඒක කරන්න පුළුවන් දෙයක්නෙ. එතැනදි පවුලේ හැමෝටම යම් යම් කැපවීම් කරන්න සිද්ධ වෙනවා.“
“ඒකනම් ඇත්ත මිගාර බුක් හයර්වලටම රුපියල් දොළොස් දාහක් විතර යනවා.“
“ඒකනෙ පූර්ණි. මම කිව්ව විදිහට කළොත් වැඩිම වුණොත් හාර දාහක් යයි. ටිකක් තෙහෙට්ටුයි තමයි ඉතින්. ඒ වගේම ගෙවතු වගා සංග්‍රමයක් කරන්න අවශ්‍ය නැහැ. රම්පෙ, කරපිංචා, කහ, ඉඟුරු, කොච්චි, මිරිස් ටිකක් හිටවා ගන්න. තව දෙහි ගහක් එහෙම තියෙනවානම් ලොකු ඉතුරුවක් වෙනවා.“ විදුලි උපකරණවල කාර්යක්ෂමතාවයෙන් ඉතුරු වෙන වෙලාවත් කිචන් ගාර්ඩන් එකක් මේන්ටේන් කරන්න යොදාගන්න පූර්ණිමා හිතට ගත්තා.
(Tharunie)