Friday, February 03, 2023
Follow Us
කිරිකැටියා ලැබෙන්න පෙර සීනි හැදුණු මවක් ද ඔබ

දියවැඩියාව තියෙන අම්මලා ගැබිනි සමයේ ප්‍රවේශම් වන්න ඕන කොහොම ද?

රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමත් සමඟින් ගර්භණී මවක් මුහුණ දෙන අත්දැකීම් බොහොමයි. විවාහ වෙලා මාස කිහිපයක් ගත වෙද්දිම චතුමි ගැබිනියක් වීමේ ලකුණු පහළ කළා. හා හා පුරා කියමින් දෙවියන් ලබා දුන් තෑග්ග ඉත සිතින් බාරගන්න මේ උතුම් පදවිය වෙනුවෙන් ඈ දිවි හිමියෙන් ම කැප වුණා.

 

එහෙත් තමා නොදැනුවත්වම චතුමිගේ රුධිරයේ සීනි මට්ටම තරමක් ඉහළ ගොසින් තිබිලා තියෙන්නේ. ඇය ගැබ්ගත්තේ ඔය අතරෙදීම යි.

 

ගැබ් ගැනීමට පෙර සිටම දියවැඩියාව

දියවැඩියා තත්ත්වයෙන් පෙළෙයි නම් ගැබිනියක් වීමට පෙර සිටම කළ යුතු දේ තිබේ. ඉන්සියුලින් ගන්නා කෙනෙක් නම් තමා ගැබිනියක වීමට පෙර දියවැඩියාව ආශ්‍රිත සායනයකට සහභාගී විය යුතුයි. එහිදී ගැබිනියක වීමට තමන් සුදුසු ද යන්න දැනගත යුතුයි. පාලනයකට නතු නොවූයේ නම් කුසෙහි සිටින දරුවාගේ අසාමාන්‍යතා කිහිපයක්ම ඇතිවිය හැකියි. ගබ්සා වීම් බහුලවම දැකිය හැකියි.

 

සීනි තත්ත්වය පාලනය වීද යන්න දැන ගැනීමට

HBA1C රුධිර පරීක්ෂාවෙන් මෙය සිදු කරයි. මෙහිදී පසුගිය සති 6 ඇතුළත සීනි පාලනය කෙසේද යන්න සොයාගත හැකියි. එහි අගය 10ක් වූයේ නම් ඉහළ අගයකි. කුසෙහි සිටිනා දරුවාට ප්‍රශ්න ඇති කරයි. මෙය 6.5ට වඩා අඩු වීමයි, සාමාන්‍ය තත්ත්වය වන්නේ.

 

බර පාලනය අතිශය වැදගත් වූවකි. බර වැඩිවීම ගර්භණීත්වයට ප්‍රශ්නයකි. දියවැඩියාව නිසා දැනටමත් යම් යම් පද්ධතිවලට හානි සිදුවී ඇත්නම් එය ගර්භණීභාවයට ගැටලුවක් විය හැකියි. වකුගඩු, අක්මාව සම්බන්ධ පරීක්ෂාව, ECG, ECO, ඇස්වල පරීක්ෂාව යනාදිය ගර්භණී වීමට පෙර කළ යුතුයි. යම් හෙයකින් දියවැඩියාව ඇති බව නොදැන ගර්භණී වූයේ නම් ඉන්පසුව ඉහත අවයව ආශ්‍රිත පරීක්ෂාවක් කළ යුතුයි. ඒ දියවැඩියාව නිසා මේ පද්ධතිවලට හානි වී ඇත්දැයි දැන ගැනීමට යි.

 

ෆෝලික් අම්ලය සාමාන්‍යයෙන් ගැබිනි මවක් ගනු ලබන්නේ මිලිග්‍රෑම් 1කි. නමුත් දියවැඩියාව පෙර සිට තිබුණේ නම් මිලිග්‍රෑම් 1 ප්‍රමාණවත් නොවේ. එහිදී ගත යුත්තේ මිලිග්‍රෑම් 5කි.

 

ඖෂධමය වෙනසක්

ගර්භණී වීමට සූදානමක් ඇති රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක් ගන්නා කාන්තාවන් මෙතෙක් සායනවලදී ගත් ඖෂධ වර්ග එලෙසම පවත්වා ගත නොහැකි වේවි. ගර්භණී සමයේ ගැනීමට සුදුසු ඖෂධ කරා යන්නට වේවි.

 

ආහාර පාලනය

දියවැඩියාව ආහාරවලින් පාලනය කරගත හැකි නම් පෝෂණවේදී සායනයක් කරා යොමු කරවමින් Diet plan එකකට යයි.

 

මෙට්ෆොමින් ගැනීම

ගර්භණී සමයේ මෙට්ෆොමින් ඖෂධය ගැනීමේ වරදක් නැහැ. දියවැඩියාව පාලනය හොඳින් සිදුවේ නම් මෙට්ෆොමින් සාමාන්‍ය පරිදිත්, පාලනය මදි නම් එහි මාත්‍රාව වැඩි කර දෙනු ලබයි.

 

ඉන්සියුලින් දීම

ඉන්සියුලින් ගැනීමේ දී කිසිදු වරදක් නැහැ. ගර්භණී සමයේ දිය හැකි ඉන්සියුලින් වර්ග සහ ඒවා දිය හැකි ක්‍රම තිබේ. උදේ, සවස දීම, දිනකට එක් එක් ආහාරවේල අවසානයේ ඉන්සියුලින් ලබා දේ. රෑ 10.00ට පමණ තවත් ඉන්සියුලින් එකක් ලබා දේ. දියවැඩියා තත්ත්වයක දී දෙනු ලබන අනෙකුත් ඖෂධ ගර්භණී සමයේ දී නිර්දේශ නොවේ.

 

කොලෙස්ටරෝල් සඳහා දෙනු ලබන ඖෂධ නවතා දමයි. අධි රුධිර පීඩනය සඳහා ගැබිනි සමයට සුදුසු ඖෂධයක් දෙයි.

 

ගබ්සා වීමට ඉඩකඩ වැඩියි

දියවැඩියාව ඇති ගැබිනි මවුවරුන්ට ගබ්සාවීමට ඇති ඉඩකඩ වැඩි නිසා සති 6, 7 කින් Early Pregnancy Scan එකක් කරනු ලබන්නේ කුසෙහි ඉන්නා දරුවාගේ හෘද ස්පන්දනය ඇත්දැයි දැන ගැනීමටයි. ඊට පසු සාමාන්‍ය ගැබිනි මවුවරු මෙන් Dating Scan එක සඳහා යොමුවිය යුතුයි.

 

දියවැඩියාවෙන් පෙළෙන ගැබිනි මවුවරුන් කලලයට සති 12 පහුවන විටම ඇස්ප්‍රින් පෙත්ත දීම අරඹයි. මිලිග්‍රෑම් 75 සිට 150 දක්වා දෙයි. වැදෑමහ සහ මව අතර හොඳ පාලනයක් මේ ඔස්සේ සිදුවේ. අධි රුධිර පීඩනය ඒමේ හැකියාව ඇස්ප්‍රින් නිසා ඉතාම අවම වේ.

 

ගර්භණී වීමත් සමඟ දියවැඩියාව වැලඳීමේ අවධානමක් ඇති මවුවරුන් (ප්‍රසව සමයේ දියවැඩියාව හඳුනාගත්) සිටියි. මොවුන්ගේ රුධිරයේ සීනි මට්ටම අනුව කෑම පාලනය අරඹයි. ඇතැමුන්ට කෑම පාලනයත් සමඟින් මෙට්ෆොමින් දීම අරඹයි. මේ දෙකින් ම සෑහීමට පත් නොවුණේ නම් ඉන්සියුලින්වලට මාරු වෙයි.

 

සති 20දී ඇනොමලි ස්කෑන් එක අනිවාර්යයෙන් කරගත යුතුයි. දියවැඩියාව ඇති මවුවරුන්ට මෙය අතිශය වැදගත් එකකි. තවදුරටත් ගබ්සා වීමේ හැකියාවක් ඇත්දැයි බැලීමට මෙය සිදු කරයි.

දවස පුරාම සීනි පාලනය සිදුවන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට Blood Sugar series එකක් සිදු කරයි. නිරාහාරව කරන රුධිර පරීක්ෂාව (Fasting Blood sugar) උදේ කෑමෙන් පැය දෙකකට පසු, දවල් කෑමෙන් පැය දෙකකට පසු, රෑ කෑමෙන් පැය දෙකකට පසු යනාදී වශයෙන් රුධිර පරික්ෂාවන් ඔස්සේ සීනි මට්ටම පරීක්ෂණ 4ක් Series එකක් ලෙස කරනු ලබයි. මෙය රජයේ රෝහලක නම් නේවාසිකවත්, පෞද්ගලික රෝහලක නම් නිවෙසේ සිට විටෙන් විට පැමිණ කරයි. සීනි පාලනය පිළිබඳ මනා අවබෝධයක් මේ ඔස්සේ ලැබේ. මෙය සති දෙකින් දෙකට, සති තුනෙන් තුනට යනාදී වශයෙන් සිදු කරයි. ගර්භණී සමය පුරාවටම වැදෑමහෙන් සීනි ඇති කරන ඩයබිටෝ ජෙනික් හෝර්මෝනය ක්‍රමයෙන් වැඩිවීමට පුළුවනි. පෙර ගත් ඖෂධ ප්‍රමාණය දියවැඩියා පාලනයට ප්‍රමාණවත් දැයි මේ ඔස්සේ නිගමනය කරයි.

 

දියවැඩියාව ඇති මවුවරුන්ගේ ඇතැම්විට කුසෙහි සිටින දරුවාගේ වර්ධනය වැඩිවී බර වැඩි වේවි. තවත් දරුවන් අඩු බරක සිටිවී. වැදෑමහේ ඇති වතුර ප්‍රමාණය දියවැඩියා පාලනය අඩු වූයේ නම් වැඩිවන්නට පුළුවනි.

 

සති 26 - 28 වෙද්දී දරුවාගේ වර්ධනය කෙසේ සිදුවන්නේදැයි බැලීමට Growth Scan එක සිදු කරයි. සති 28, 32, 34, 36, 37 යන කාලවලදී ද ස්කෑන් පරීක්ෂණ සිදු කරයි.

 

ප්‍රසවය සිදු කරන කාලවකවානු

දියවැඩියාව හොඳින් පාලනය වී ඇත්නම්, කෑමෙන් එය සිදුව ඇත්නම් සති 40 පුරාවටම කිසිදු ගැටලුවකින් තොරව සිට ප්‍රසවය සිදු වේවි. මෙට්ෆොමින් හෝ ඉන්සියුලින් ඔස්සේ දියවැඩියාව පාලනය වූයේ නම් සති 39 දී ප්‍රසවය සිදු කරන්නට පුළුවන් වේවි. ඉන්සියුලින්වලින් මනාව දියවැඩියාව පාලනය වූයේ නම් සති 36, 37 කාලයෙන් ප්‍රසවය සිදු කරගත හැකි වේවි. දියවැඩියාව පාලනය නොවී ඇත්නම් ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි ප්‍රසවය සිදු කිරීම පිළිබඳ වෛද්‍යවරයා තීරණය කරයි.

දියවැඩියා රෝගීන්ගේ මළ දරු උපත් සිදුවන ප්‍රමාණය සාමාන්‍ය ගැබිනි මවුවරුන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. මේ නිසා සති 37 දක්වා යෑම ප්‍රධානම ඉලක්කයයි. හොඳින්ම පාලනය වූයේ නම් සති 30 දක්වා දරුවාට මවගේ කුසෙහි සුව සේ සිටිය හැකියි.

දියවැඩියාව තිබූ පමණින් සීසර් සැත්කමක් කරා යෑම අවශ්‍ය නොවේවි. නමුත් දියවැඩියාව නිසා ප්‍රසවය සංකීර්ණ වන අවස්ථා තිබෙන්නට පුළුවනි. දරුවා ප්‍රමාණයෙන් විශාල නම් දියවැඩියා පාලනයත් එතරම් හොඳ මදි නම් සීසර් සැත්කමක් වෙත යාවි.

 

 

උපදෙස්

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර

 

Tharunie