Friday, April 19, 2024
Follow Us
මානසික නිදහස හා සතුට ජීවිතයේ හරය කරගන්න

ගතින් සවිබල වුවත් මනස රෝගී නම්....

ඔක්තෝබර් 10 දාට යෙදෙන මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙනි

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය පාදක කර ගනිමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මානසික ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඇප කැප වෙයි. ඒ අනුව පාසල් ළමුන් දැනුම්වත් කිරිමේ වැඩසටහන්, මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල දැනුම්වත් කිරීම් සිදු වේ. ඔක්තෝබර් 08 දින බයිසිකලේ ධාවන තරගයක් කලාකරුවන් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය විද්‍යායතනයේ සිට දියත උයනට ගොස් එතැන උත්සවයක් පැවැත්වේ. ඔක්තෝ්බර් 10 දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මහජනතාවට නැරැඹීම සඳහා විවෘත වේ.

 

පෞරුෂත්වයේ දුර්වලතා ඇති පෙම්වතුන් "ඔයා මේ සම්බන්ධය නැවැත්තුවොත් මම මැරෙනවා" යැයි බිය වද්දයි. අඩදබර වූ විට අත කපා ගනියි. ඒවා ඡායාරූප ගෙන පළ කරයි. බලහත්කාරයෙන් බිය වද්දාගෙන සම්බන්ධතාව පවත්වාගෙන යයි. මේ සියල්ලක්ම මානසික ගැටලු ය. මානසික රෝග තත්ත්වයන් ය.

 

මානසික සෞඛ්‍ය පිරිහුණේ නම් ගතින් කොතරම් සවිබල වුවත් ඵලක් නොවේ. අප සැවොම එදිනෙදා ජීවිතයේ දී යම් යම් මානසික ගැටලුවලට මුහුණ දෙන අවස්ථා ඕනෑ තරම් ය. මින් තදබල ලෙස සිත පතුලට ම කාවදින ගැටලු නොදැනුවත්ව ම අපේ මානසික සෞඛ්‍ය පහතට ඇද දමයි. නැතහොත් මානසික ව ලෙඩ කරාවි.

 

Make mentel health and well been for all global priority යනු මෙවර මානසික සෞඛ්‍ය දින තේමාවයි.

 

ආතතිය

අප සියයට සියයක් සර්ව සම්පූර්ණ අය නොවෙයි. සැමගේම යම් යම් මානසික ගැටලු සහ පෞරුෂත්වයේ යම් යම් දුර්වල තැන් පවතී. මේවා මානසික රෝග ම නොවේ. පුංචි දේටත් තරහා යෑම, නිතර රණ්ඩුවට යෑම, ඕනෑවටත් වඩා පිළිවෙළට ඉන්න සිතීම, අතිශයින් පිරිසුදු වන්නට යෑම... යන මෙවැනි කාරණා පෞරුෂත්වයේ විවිධ අඩුලුහුඬුතා ඇති තැන් ය. බිරියගේ මේ දේවල් සැමියාට ඇතැම් විට අවබෝධ නොවන්නට පුළුවන. සැමියාගේ මෙවැනි චර්යා රටා පිළිබඳ බිරියට අවබෝධයක් නොතිබෙන්නට පුළුවන. මේ දේවල් එලෙසම සිදු නොවීම එම පුද්ගලයා මානසික ආතතියට පත් කරයි. නැතහොත් කාලයක් ගත වූ විට ඩිප්‍රෙෂන් තත්ත්වයට පත් කරයි. ඩිප්‍රෙෂන් තත්ත්වයට ආ විට ප්‍රතිකාර සඳහා යොමු වේ. මුල් කාලයේදී ම එවැනි සිතුවිලි පාලනය කර ගන්නට හැකි වූවා නම් ඩිප්‍රෙෂන් තත්ත්වය යම් ආකාරයකින් කළමනාකරණය කර ගන්නට තිබුණි. මෙවැනි චර්යා රටා ඇති සමහරු අදහස්, සිතුවිලි පිටතට නොපෙන්වයි. අභ්‍යන්තරයේ ම රඳවා තබා ගනිමින් ගුප්ත ගති ලක්ෂණ පෙන්නුම් කරයි.

 

විශ්වාසය බිඳවැටීම

මේ අය වෙනත් පුද්ගලයන් පිළිබඳ විශ්වාසයක් නොතබයි. විශ්වාස කිරීමට බයයි. තවකෙක් සමඟ අදහස් බෙදා ගැනීමට අකැමැත්තක් දක්වන්නේ තමා පිළිබඳ වැරැදි අවබෝධයක් ඇති කර ගනීවි යැයි සිතාය. මේ නිසා බොහෝ දේ සඟවාගෙන සිටීමට උත්සාහ කරයි. මුල් කාලයේ දීම උපදේශනයක් සඳහා හෝ සහභාගි වන්නේ නම් එවැනි මානසික ආතතීන් සම්බන්ධ ගැටලු විසඳා ගැනීම පහසු වේ. තවත් කෙනකුට සිතට දැනෙන මානසික ගැටලුවක් සාකච්ඡා කිරීමට විශ්වාසවන්ත කෙනකු නොමැති වීමට පුළුවනි. සැමියා සමඟ මෙවැනි ගැටලුවක් පවසන්නට යද්දී ඔහු එය ගණන් නොගෙන සිටින බවක් බිරියට ඒත්තු ගැන්විය හැකියි. මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පැවතියහොත්

"ඇයි මාව කවුරුත් ගණන් ගන්නේ නැත්තේ"

"ඇයි මට කවුරුත් ආදරේ නැත්තේ...."

වැනි සිතුවිලි ජනිත වී ඒ තුළම සිර වේ. එතැනින් පටන් ගන්නා එපා වීම අවසන් වන්නේ ඩිප්‍රෙෂන් තත්ත්වයෙනි.

 

සැකය

සමාජ මාධ්‍ය හරහා දැන් වැඩිපුරම වපුරා ඇත්තේ සැකයයි. තම සිතුවිලි විවෘතව කතා නොකිරීම නිසා පෙම්වතුන් පෙම්වතියන් එකිනෙකා පිළිබඳ සැකයක් ඇති කර ගනියි. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සිදු වන්නේ මේ සැකය වැඩි දියුණු වීමයි. අඬදබර කරමින්, තම ආදර සබඳතාව දිගටම පවත්වා ගෙන යන පෙම්වතියන් පවා සිටියි. ඔවුන් හිතන්නේ ආදරය ඇත්තේ එතැන බවයි. තවත් කෙනකුගේ නිවෙසින් මේ ආදර සම්බන්ධය සඳහා අවසර ඇත්නම්, එවිටත් නොගැළපීම් තිබුණත් සමාජ අවමානයෙන් බේරීමට ඒ සියල්ලක් ම යටපත් කරගෙන සිටියි.

 

පෞරුෂත්වයේ දුර්වලතා ඇති පෙම්වතුන් "ඔයා මේ සම්බන්ධය නැවැත්තුවොත් මම මැරෙනවා" යැයි බිය වද්දයි. අඬදබර වූ විට අත කපා ගනියි. ඒවා ඡායාරූප ගෙන පළ කරයි. බලහත්කාරයෙන් බිය වද්දාගෙන සම්බන්ධතාව පවත්වාගෙන යයි. මේ සියල්ලක්ම මානසික ගැටලු ය. මානසික රෝග තත්ත්වයන් ය.

“ඩොක්ටර් මට හරියට තරහා යනවා

අසාධාරණය පේන්න බැහැ....” යයි පවසයි. මේ ආසාධාරණය කෙනකු සිතින් ඇති කරගත් දෙයක් විය හැකියි. මෙහිදී සත්‍ය වශයෙන් ම අසාධාරණයක් වීමටත් පුළුවනි. මෙයත් එක්තරා මානසික ගැටලුවකි.

 

අමතක වීම

අමතක වීමත් මේ හා සමාන්තරව ම ගලා යන්නකි. මානසික ආතතීන් හමුවේ තවත් සමහරු ඉලක්කයන් දෙක තුනක් එකවර සපුරා ගන්නට සිතයි. දරුවන්ගේ කුමක් හෝ දෙයක් සිතේ තබාගෙන මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුත්තක් නිරත වෙනවා යැයි කියමු. මෙවිට ඉවීම කෙරෙහි පූර්ණ අවධානය සහ කැපවීම ඇති නොවීමට පුළුවනි. මෙය අවබෝධ වන්නේ අමතක වීමක් ලෙසට යි. දවසේ පැය 24න් උපරිම ප්‍රයෝජන ගත යුතුයි යැයි සිතමින් මෙලෙස ඉලක්ක කිහිපයක් එකවර සපුරා ගන්නට යෑමෙන් එක් දෙයක් හෝ නිසි පරිදි කරගත නොහැකි වීමෙන් අමතක වීමෙන් එතැනින් මානසික වියවුලක් ඇති වේ. ඕනෑම දෙයක් මතකයේ තිබෙන්නට නම් ඒ සඳහා පූර්ණ අවධානය, කැපවීම ඇති කරගත යුතුයි.

 

පාඩම් කරද්දි ඇතැම් දරුවන් 'මට පාඩම් කරන දේවල් කිසිම එකක් මතක හිටින්නේ නැහැ' යනුවෙන් පවසයි. 'මට මේ ඉලක්කවලට යා යුතුයි', 'අම්මා, තාත්තා මං ගැන මෙහෙම හිතාගෙන ඉන්නවා' මේවා පාඩම් කරද්දි ඔවුන්ගේ යටි හිතේ දුවයි. විෂය කරුණු කියවනවා යැයි බාහිරින් හැඟුණත් යටි සිතේ ඇත්තේ වෙනත් ඉලක්කයන්ය. මෙහිදී පාඩම් කරන කාලය හෙවත් පාඩමට ඇති අවධානය අඩු වේ. එවිට මතකයේ රැඳෙන්නේ ද නැත. එල්බගත් සිහියක නොසිටීම මෙයට ප්‍රධානම හේතුවයි. තරුණ තරුණියන් පවා 'මේ කාලයේ මේ විභාග ටික කරන්න ඕනෙ' දැන් ගෙවල් හදන්න ඕනෙ, වාහනයක් ගන්න ඕනෙ, විවාහ උත්සවයක් ගන්න ඕනෙ... මේ දේවල් ඉටු කර ගැනීමට ඇති කාලය අවම වේ. ඒ ඒ කාලයට සිතේ ඇති ඉලක්ක සපුරා ගත නොහැකි වීමෙන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරව ද එල්ල වන පීඩනයන් වැඩියි.

මේ පීඩනයන් ඩිප්‍රෙෂන් හෙවත් මානසික අවපීඩනයක් ඇති කරාවි. ඩිප්‍රෙෂන් වැඩි වද්දී මොළයේ ඇති රසායනික ක්‍රියාවලට හානි ඇති වේ. එය අවසන් වන්නේ ඩිමෙන්ෂියාව හෙවත් මොළයේ මතකය සම්බන්ධ ස්නායු ක්‍රමක්‍රමයෙන් අඩපණ වීමෙනි.

එදිනෙදා ජීවිතය සරලව සැහැල්ලුව ගෙවන්න. මානසික අවපීඩනයක් හැකිතාක් අවම කරගැනීමෙන් මානසික සෞඛ්‍ය කොහෙත්ම පිරිහීමකට ලක් නොවේවි.

 

 

උපදෙස් -

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය

විද්‍යාතනයේ මනේ වෛද්‍ය

කවින්ද ද සිල්වා

Tharunie