Friday, April 19, 2024
Follow Us
අර්බුද හමුවේ අපේ දරුවන් පීඩා විඳිය යුතු ද?

 

ආහාර මිලදී ගැනීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් අඩු වීමත් සමඟ එදිනෙදා නිතිපතා ගනු ලබන ආහාරවේල් අතහරිමින් සිටියි. අපේ රටේ ද්‍රරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් මීළඟ ආහාරවේල ලැබෙන්නේ කෙසේ දැයි නොදැන කුසගින්නේ නින්දට යයි.

දරුවන් කුසගින්නේ සිටිනු බලා සිටීම තරම් වාවාගත නොහැකි දුකක් මාපියන්ට තවත් කොයින්ද? මීට වසර කිහිපයකට පෙර රූපවාහිනි නාළිකා, පුවත්පත්, සමාජ මාධ්‍යයන් හි එලෙස සැරිසරනු දුටුයේ ඉතියෝපියාව ඇතුළු අප්‍රිකා මහද්වීපයේ සිටින දරුවන්ය.

 

අද ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් කොටසකට මෙවන් ඛේදනීය ඉරණමකට ලක් වන්නට සිදුව ඇත්තේ කාගේ වරදක් නිසාද?

මේ වන විට දකුණු ආසියාවේ වැඩිම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින දෙවැනි රට බවට පත්ව ඇත්තේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. අතීත රජවරුන් පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ රටයි. ලොව වැඩිම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රාජ්‍යයන් අතුරින් අපේ මේ අභිමානවත් රට සිටිනුයේ හයවැනි ස්ථානයේ ය.

මේ බව හෙළි වූයේ පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල නොහොත් යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකේය ශාඛාව මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්සයා ඇඩ්ජෙයි ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයකින් අනතුරුව පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණ දෙන අතිශය දරුණු අර්බුදකාරී තත්ත්වය දකුණු ආසියාවට ම කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.

ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමත් සමඟින් අපේ රට අඛණ්ඩ දුෂ්කරතාවට පත් වීම හේතුකොට ගෙන අතිශය දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන් මෙසේ මන්දපෝෂණ අවදානමකට ලක්ව සිටියි.

ආහාර මිල දී ගැනීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් අඩු වීමත් සමඟ එදිනෙදා නිතිපතා ගනු ලබන ආහාර වේල් අත්හරිමින් සිටියි. අපේ රටේ ද්‍රරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේ දැයි නොදැන කුසගින්නේ නින්දට යයි.

සාමාන්‍ය අගයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ ළමුන් සෑම තුන් දෙනකුගෙන් එක් අයකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර දීමේ අවශ්‍යතාවක් පවතී. ඒ විවිධ බාධාවන් නිසා වසර දෙකක් පමණ පුරාවට අඛණ්ඩව පාසලට පැමිණීමට ද අසමත් වී තිබේ. අර්බුදයට පෙර ලැබුණු රසවත් සහ නැවුම් ආහාර වේලක් දැන් ඔවුන්ට ලැබෙන්නේ නැත.

යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ එක්ව මන්දපෝෂණ තත්ත්වයට පරිපූර්ණ ලෙස ප්‍රතිකාර දැක්වීමට කටයුතු කරමින් සිටී. ප්‍රතිකාර හා දැනුම්වත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරන අතර ඒ සඳහා දිගුකාලීන සැලසුම් සකස් කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් මන්දපෝෂණයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන BP - 100 ලෙස හඳුන්වනු ලබන චිකිත්සක ආහාර ලබා ගනිමින් සිටියි. මේ වසර අවසන් වන විට දරුවන් 56000කට ප්‍රතිකාර දීම යුනිසෙෆ් සංවිධානයේ අරමුණයි. ළදරුවන් මන්දපෝෂණයෙන් වළක්වා ගැනීම සඳහා වඩාත් වැදගත් සාධකය වන මවුවරුන්ට පෝෂ්‍යදායි ආහාර ලැබීම සහ ඒ හරහා නිසිපරිදි මවුකිරි දීම තහවුරු කිරීමට කිරි දෙන මවුවරුන් සඳහා මුදල් සපයා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත. කොළඹ නාගරික බල ප්‍රදේශයේ පෙර පාසල් ළමුන් සඳහා ආහාර වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

මධ්‍යම ප්‍රාන්තික දරුවන් කෙරෙහිත් පූර්ණ අවධානය

දරුවන් ජීවත්වන ස්ථානය හෝ ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් යුනිසෙෆ් සංවිධානය සෑම දරුවකු වෙනුවෙන්ම ක්‍රියා කරනු ලැබේ. වඩාත් අවශ්‍යතා ඇති අය හඳුනා ගන්නේ තක්සේරු කිරීම සහ අධීක්ෂණය මතයි. දිනෙන් දින ඉහළ යන ආර්ථික පීඩාකාරී තත්ත්වය හමුවේ ළමුන් අපයෝජනයට පත් වීම, සූරාකෑමට ලක් වීම සහ ළමුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් පිළිබඳ වාර්තා වීම් ද වැඩි වෙමින් පවතී. ද්‍රරිද්‍රතාව හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ ළමයි 10000කට අධික සංඛ්‍යාවක් ළමා ආරක්ෂණ ආයතනවල රැකවරණය ලබයි. එහෙත් මෙවැනි ආයතනවල පවුලකින් ලැබෙන සුරක්ෂිතතාව, බැඳීම නොමැති නිසා ඒවායේ ළමුන්ට හැදී වැඩීමට සුදුසු පරිසරයක් ඇත්දැයි යන්න ගැටලු සහගත ය. අසරණව සිටින මාපියන් ළමුන්ගේ අවශ්‍යතා සපුරා ලීමට නොහැකි නිසා පවුල් වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ළමුන් මෙවැනි ආයතන කරා යොමු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ළමුන්ගේ ප්‍රගතිය ශීඝ්‍ර ලෙස පහත බසිනු ඇත.

වසර 50කට අධික කාලයක් පුරාවට යුනිසෙෆ් සංවිධානය ලංකාවේ දරුවන්ට පොත්පත් ලිපිද්‍රව්‍ය සපයා දීම, පෙර පාසල් ළමුන්ට ආහාර සපයා දීම සහ අතිශයින් උදවු උපකාර අවශ්‍ය වන ගැබිනි මාතාවන්ට සහ කිරි මවුවරුන්ට මූල්‍ය ආධාර දීම සිදු කරයි.

පැනනැඟුණු අර්බුදයත් සමඟින් ළමුන්ගේ අධ්‍යාපනය තහවුරු කිරීම, ළමා ශ්‍රමිකයන් බවට පත් වීම, සූරාකෑමට ලක් වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම කෙරෙහි යුනිසෙෆ් සංවිධානය වැඩි අවධානයක් යොමු කරයි.

දරුවන් විසින් ඇති නොකළ ආර්ථික අර්බුදයකින් ඔවුන්ට පීඩා විඳීමට ඉඩදිය නො හැකියි. ඔවුන්ගේ මතු අනාගතය සුරැකීමට අද අදම අප සැවොම ක්‍රියාත්මක විය යුතුයි.

 

 

බිස්මාක් ස්වත්ගින්

සන්නිවේදන, උපදේශන හා පවුල් හවුල්කාරිත්ව ප්‍රධානි, යුනිසෙෆ් සංවිධානය -

ශ්‍රී ලංකා කාර්යාලය

 

Tharunie