Saturday, April 20, 2024
Follow Us
මව්වරු දැනගත යුතුම අලුත් බබාගේ නින්ද...

අලුත උපන් සිඟිත්තාගේ කායික, මානසික වර්ධනයට නින්ද අත්‍යවශ්‍යයි. දරුවකුගේ ජීවිතයේ මුල් අවධියේ දී මොළයේ මූලික ක්‍රියාකාරී බවට ද ප්‍රමාණවත් නින්දක් වැදගත් වේ.

අලුත උපන් දරුවකුට දිවා රාත්‍රී වෙනස හඳුනා ගැනීම හා නින්ද පිළිබඳ රිද්මය ආරම්භ කිරීමට සති හයක පමණ කාලයක දී හැකියාව ඇති වේ. හොඳින් පුහුණු කළ ළදරුවන් මාස දෙකක් හෝ තුනක් වන විට නිදාගැනීමේ චක්‍රයක් තමා විසින් ම නිර්මාණය කරගනී. සමහර දරුවන්ට මේ සඳහා මාස හයක පමණ කාලයක් ගත වේ.

වයස අවුරුදු දෙක වන විට බොහෝ දරුවන් අවදි වීමට වඩා වැඩි කාලයක් නිදාගෙන ඇති අතර සමස්තයක් වශයෙන් දරුවකු තම ළමා කාලයෙන් සියයට 40ක් නින්ද සඳහා වැය කරයි.

අලුත් උපන් දරුවකු ජීවිතයේ වැඩි කාලයක් කරන්නේ නිදා ගැනීමයි. එය ක්‍රමයෙන් අඩු වෙමින් දරුවා වයසින් වැඩෙත්ම නිදා ගන්නා කාල සීමාව ක්‍රමානුකූලව අඩු වී සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

 

අලුත උපන් දරුවන් රාත්‍රියට නිදාගත යුතුම ද?

 

දිවා කාලය හා රාත්‍රී කාලය නිසි ලෙස වෙන්කර හඳුනා ගැනීමට අලුත උපන් දරුවාට කාලයක් ගතවන අතර ඔවුන් සාමාන්‍යයෙන් දිවා රෑ දෙකේම කෙටි නින්දවල් කීපයක් ලබා ගනී.ක්‍රමයෙන් රාත්‍රියේ දිගු කාලයක් නිදා ගැනීමට ඔවුන් හුරු වෙයි.

මෙලෙස රාත්‍රියට දිගු වේලාවක් නිදා ගැනීමට හුරු කිරීම සහ හුරුවන වේගය දරුවාගේ නිදන පරිසරය, නිවෙසේ අයගේ නිදන රටාව, දරුවාගේ කුස පිරීම සහ දරුවා මුත්‍රා කළ විට ඉවත් කිරීම වැනි දරුවාගේ අවශ්‍යතා ඉටු වීමේ සාධක මත දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි.

 

අලුත් බබාට ඇහැරවා කිරි දිය යුතු ද?

 

අලුත උපන් දරුවන් සඳහා පැය දෙකකට හෝ තුනකට වරක් මව්කිරි ලැබිය යුතු ය. නමුත් සමහර අලුත උපන් දරුවන් වරකට පැය හතරක් පමණ නිදා ගන්නා අවස්ථා ඇත.දරුවා ඉතා හොඳින් කිරි බොන්නේ නම් සහ නිසි ලෙස මුත්‍රා පහ කරන්නේ නම් එලෙස පැය හතරක් නිදා ගැනීමට හැරීම ගැටලුවක් නොවේ.

නමුත් නොමේරූ හෝ අඩු උපත් බර දරුවෙක් නම් දිවා රාත්‍රී දෙකේම වෛද්‍ය උපදෙස් ලැබෙන පරිදි දරුවාට මව්කිරි දීමත් , හැකි සෑම විටම කැන්ගරු සංරක්ෂණ ක්‍රමය තුළ නිදා ගැනීමට සැලැස්වීමත් අවශ්‍ය වෙයි.

 

කැන්ගරු සංරක්ෂණය (Kangaroo Care) යනු කුමක්ද?

 

බිලිඳාව මවගේ ඇඟට හේත්තු කර පියයුරු අතරේ තිරස් අතට තබා ඔතනු ලැබීමයි. කැන්ගරුවකුගේ උදර මල්ල හා සමානව, එමඟින් දරුවාව සුරක්ෂිතවත් උණුසුම්වත් කිරි බීමට පහසු වන ආකාරයටත් තබයි. මේ හේතුවෙන් එම ක්‍රමය බොහෝවිට, කැන්ගරු මව් සුරැකුම ලෙස හඳුන්වනු ලබයි.

සමහර දරුවන් පැය දෙකකට හෝ තුනකට වරක් නැගිට කිරි බී නිවැරැදිව ගුඩුස් යැවූ පසු නැවත නින්දට යයි. චාලක හැකියා සහ සිනාසීම, හිස එසවීම වැනි සංවර්ධන ක්‍රියා ආරම්භ කරන තෙක් වැඩි කාලයක් නිදාගැනීමට ම ළදරුවන් ප්‍රිය කරයි.නමුත් දරුවා අවට පරිසරය හඳුනා ගෙන පරිසරය සමඟ ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමඟ නිදා ගැනීම අකැමැති කාරණයක් වෙයි. එම වයස්වල දරුවන් බොහෝ විට නිදිමත තිබියදී පවා නිදා ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇඬීම සහ කරදරකාරී ලෙස හැසිරීම සිදුකරයි.මෙවැනි දරුවන් සන්සුන් කිරීමට දරුවාගේ පරිසරය සුවඳවත් කිරීම, නින්දට පෙර දරුවා උණු වතුරෙන් සේදීම, නින්දට ආසන්නයේ දී දරුවා සම්බාහනය කිරීම, නැලවිලි ගී ගැයීම හෝ නින්ද කුළු ගන්වන සංගීතයක් සැපයීම, රතු පැහැති මද ආලෝකය සහිත අඳුරු පරිසරය, පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීම, පැද්දෙන තොටිලි වැනි දේ යොදා ගැනීම කළ හැක.

 

නින්දේ චක්‍ර

අලුත් බබාගේ නින්දේ චක්‍ර 2ක් ඇත.

1. ක්‍රියාශීලී නින්ද Active Sleep

2. ගැඹුරු/නිහඬ නින්ද. Quite Sleep

 

ක්‍රියාශීලී නින්ද

 

බොහෝ දරුවන්ගේ කෙටි නින්දවල් ක්‍රියාශීලී නින්දවල් වෙයි. කුඩා ශබ්දයටත් අවදි වීම, මව ළඟ නැතිනම් අවදි වී හැඬීමට ඉඩ ඇත.

 

නිහඬ, සන්සුන් නින්ද

ඒකාකාරී හා ගැඹුරු හුස්ම සමඟ ම සන්සුන් නින්දකට පත්වන දරුවන් පැය 3කට වැඩි කාලයක් නින්දේ ගත කරයි. කුඩා ශබ්ද හෝ ස්පර්ශයෙන් පවා අවදි වීමේ ඉඩකඩ අඩු ය.

ඉතාම කුඩා වයසේ දරුවන් නිදන විට මෙම නිදි චක්‍ර හරහා ගමන් කරයි. දරුවා තද නින්දට ගිය පසු විනාඩි 30-40කට වරක් පරීක්ෂා කිරීම සහ දරුවාට ගැඹුරු නින්දක් ලබා ගැනීමට උපකාර කිරීම, රාත්‍රි දීර්ඝ නින්දක් ලබා ගැනීමේ පුහුණුවේ එක් අංගයකි.

 

දරුවකු රාත්‍රිය පුරාවටම නිදා ගැනීම පටන් ගන්නේ කුමන වයසේදී ද?

 

පළමු මාස කීපය තුළ අලුත බිලිඳුන් රාත්‍රියේ වාර කිහිපයක් අවදි වුවත් උපතින් මාස 1 ත් 3 ත් අතර හෝ තුන අවසන් වී⁣ගෙන යනවිට හෝ මාස 3 සම්පූර්ණ වෙත්ම ඉතා පැහැදිලි ලෙසම රාත්‍රියට නැගිටින වාර ගණන අඩු වේ.

නමුත් මාස හයක් වන තුරු, බොහෝ ළදරුවන් රාත්‍රීයට කිරි බීම අඩු නොකරයි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය

උපදේශිකා

ශ්‍යමලී පතිරගේ

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

Tharunie