Wednesday, December 07, 2022
Follow Us
මැදි වයසයි සන්ධි රෝගයි හරියට යාළුවෝ වගේ හරි ප්‍රතිකාර ලැබුණොත් නිට්ටාවටම සුව වෙනවා

'අතේ පයේ වේදනාව කෙළවරක් නැහැ. අනේ මන්දා මට මොනවා වෙලාද කියලා. උදේට නැගිටලා අඩිය තියලා යන්නත් බැහැ. අත්වල ඇඟිලි පුරුක් හරිම වේදනායි'.

සුවිනි ගේ මේ මැසිවිලිවලින් ඇගේ සැමියාගේ සවන් පිරෙන්නට වුණා.

අවුරුදු 40 - 45 - 50 වැනි වයස්වල පසුවන කාන්තාවන්ට විශේෂයෙන් ම ආර්තවහරණයත් සමඟින් සන්ධි රෝග මතුවීමට ඇති අවස්ථාව වැඩියි. පිරිමි පාර්ශ්වයට වුව සෑදිය හැකි මුත් සාපේක්ෂව කාන්තාවන් අතර සන්ධි රෝග වැඩිපුරම දක්නට ලැබේ.

ආයුර්වේදයට අනුව ආමවාත සන්ධි සෝත, ගම්භීර වාත රක්ත, සන්ධිගත වාත රෝග යන මේ කුමන හෝ තත්ත්වයක් ඔබට පීඩා ගෙනදිය හැකියි.

දණහිස්, වළලුකර, මැණික් කටුව වැනි විශාල සන්ධි ආශ්‍රිතව ඔබව අපහසුතාවට පත් කරනුයේ ආමවාත සන්ධි සෝත අවස්ථාවේ දී ය. කාන්තා, පිරිමි භේදයකින් තොරව කුඩා සන්ධි ආශ්‍රීතව හට ගන්නේ ගම්භීර වාත රක්ත තත්ත්වයයි. මුළු ශරීරයේ ම ඕනෑම තැනක සෑදී පීඩා ගෙන දෙන්නේ සන්ධිගත වාත රෝග තත්ත්වයේදී ය.

බාහිරින් වැදුණු පහරකින්, නිවැරැදි ඉරියව් අනුගමනය නො කරන ව්‍යායාමවල ප්‍රතිඵලයක් ලෙස ආදී සිරුරට බාහිරින් කරන බලපෑමක් නිසා සන්ධි වාත රෝග තත්ත්වය හටගනී. වාත දෝෂ වැඩි වීම මෙයට හේතුවයි.

ආමවාත සන්ධි සෝතය ලෙස හඳුන්වන්නේ අප කවුරුත් දන්නා ආතරයිටීස් තත්ත්වයයි. වාතය, පිත, සෙම යන ත්‍රිදෝෂ අතරින් සිරුරින් වාතය සහ සෙම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම හේතුවෙන් ආමවාත සන්ධි සෝතය සිරුරට පීඩා ගෙන දේ.

වාතය, පිත සහ රක්ත රෝග නිසා ගම්භීර වාත රක්ත තත්ත්වය ඇතිවේ.

වැරැදි ආහාර රටා, වැරැදි චර්යාවන්, වැරැදි ව්‍යායාම් ක්‍රම, ශරීරයේ බර නිසි පරිදි පවත්වාගෙන නොයෑම සහ ඔසප් වීම නතර වීම හෙවත් ආර්තවහරණයේ දී වන හෝර්මෝනවල අසමතුලිතතාව මෙයට හේතුවයි. විශේෂයෙන්ම ඊස්ට්‍රජන් හෝමෝනය නිසි පරිදි ස්‍රාවය නොවීමයි.

ආහාර පරිපචනය හෙවත් නිසි පරිදි ආහාර නොදිරවීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරවල විස පදාර්ථ සන්ධි ආශ්‍රි‍තව තැන්පත් වීම මෙයට හේතුවයි. අපත්‍ය ආහාර නොහොත් අම්ල අධික ආහාර, තීක්ෂණ ආහාර හෙවත් උෂ්ණ ආහාර නිසා සන්ධි රෝග පීඩාවන් එල්ල කරයි.

සන්ධි රෝග නිසා පීඩාවිඳින ඔබ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට යොමු වූයේ නම් පළපුරුදු දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් විශේෂයෙන් ම පාරම්පරික වෛද්‍යවරුන් පළමුව පූර්ව කර්ම ප්‍රතිකාර සිදු කරයි. එහිදී තෛල අභ්‍යංගය නොහොත් තෙල් ගෑම, තැවීම, ශ්වේද කර්ම (steam bath), හුමාලය ඇල්ලීම ආදිය සිදු වේ.

ඉන්පසු පංචකර්ම ප්‍රතිකාර යටතේ ශෝධන කර්ම ප්‍රතිකාර සිදු කරයි. ශෝධන කර්මවලින් සන්ධි රෝගීන්ට සිදු කරන්නේ විරේකය යි. පංචකර්ම ප්‍රතිකාරවලින් පසු සමන ප්‍රතිකාර කෙරෙහි යොමු වේ. කසාය, ගුළි, කල්ක, චූර්ණ, ආලේපන, පත්තු වර්ග, මැල්ලුම් ගැල්වීම සිදුවන්නේ සමන ප්‍රතිකාරවලදී ය.

රෝග නිධානයට හෙවත් මූල බීජයට ම ප්‍රතිකාර කරමින් රෝගයක් නිට්ටාවට සුව කිරීමේ ඇති හැකියාව නිසා බොහෝ පිරිස් සන්ධි රෝගවල දී ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ දී රෝග ලක්ෂණ පහව යෑමට, වේදනාව සමනය කිරීමට පමණක් ඖෂධ ලබාදේ. දණහිස් සන්ධියක් යම් හෙයකින් ගෙවුණේ නම් ඔවුන් සිදුකරන්නේ ශල්‍යකර්මයක් මඟින් දණහිස් පොල්කට්ට දැමීමයි. එහෙත් ආයුර්වේද සහ දේශීය ප්‍රතිකාර නිසි පරිදි ඉටු කළේ නම් ගෙවුණු දණහිස් සන්ධියේ ඇති මැරබෝන්, කාටිලේජ යථා තත්ත්වයට පත්කර ගත හැකි වනු ඇත.

මෙහිදී පථ්‍ය අපත්‍ය ආහාර පාන පිළිබඳ ද නොකියාම බැරිය. පථ්‍ය ආහාර හෙවත් හිතකර ආහාර ලෙස පියලි හෙවත් ධාන්‍ය ආහාර වර්ග එනම් මුං ඇට, කව්පි, කඩල වඩාත් ගුණ දේ. මේද අම්ල ආහාර වර්ග එනම් දොඩම්, නාරං, දෙළුම්, නෙල්ලි, රටඉඳි, කැල්සියම් බහුලව අඩංගු හාල්මැස්සන්, සෝයා තෙල්, තල තෙල් වැනි තෙල් වර්ග, කුසගිනි වැඩි කරන ආහාර වර්ග පථ්‍ය ආහාරවලට ගැනේ.

ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු, චට්නි, සෝස්, කෘති්‍රම ආහාර, කෘති්‍රම රසකාරක යෙදූ ආහාර, පැණි බීම වර්ග අපත්‍ය හෙවත් නොගත යුතු ආහාර ලෙස ගැනේ.

උසට සරිලන බර නිසි පරිදි පවත්වාගෙන යෑම රෝගවලදී අතිශය වැදගත් කරුණකි. නිවැරැදි ව්‍යායාම ක්‍රම අනුගමනය නො කිරීම නිසා බොහෝදෙනෙක් නොදැනුවත්ව ම සන්ධි රෝගීන් බවට පත් වේ. මීට අමතරව ජානමය හේතූන් මත පාරම්පරිකවත් සන්ධි රෝග ඇතිවිය හැකියි ඒවා ද ප්‍රතිකාර කරමින් සුව කළ හැකි වේ.

අපි හිතමු දණහිස ගෙවී යෑම සමඟ ඇතිවූ සන්ධි රෝගයක් නිසා කෙනකු පීඩාවට පත්ව සිටිනවා කියා. එහිදී රෝග ස්වභාවය අනුව නිරීක්ෂණය කොට මාසයක්, දෙකක්, මාස හත අටක් වැනි කාලයක් තුළ දී නිට්ටාවට ම සුව කරයි. රෝග ස්වභාවය අනුව දින වකවානු තීරණය වේ.

පාරම්පරිකව පැවත එන පළපුරුදු වෛද්‍යවරයකුට නාඩි පරික්ෂා කර බලා රෝගියාගෙන් කරුණු විමසීමට පෙර ම රෝගය හඳුනා ගැනීමේ හැකියාව පවතී.

Scan, x-ray වාර්තා, රුධිර පරීක්ෂාවන් අනුවත් ප්‍රතිකාර කළ හැකියි. නමුත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය රසායනාගාර පරීක්ෂාවන් මත ම රඳා නොපවතී. එහෙත් ඒ ඔස්සේ දළ අදහසක් ගැනීමට පුළුවනි.

 

ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව දර්ශන, ස්පර්ශන, ප්‍රශ්න ඔස්සේ රෝගයක් හොඳින් හඳුනා ගනී. දර්ශන යනු පළපුරුදු වෛද්‍යවරයා රෝගියා දැකීමෙන් නිගමනය කරන කරුණුයි. ස්පර්ශ කිරීමෙන් නිගමනවලට එළැඹීම ස්පර්ශනයි. ඊට අමතරව රෝගියාගෙන් ප්‍රශ්න ඇසීමෙන් ආදී ත්‍රිවිධ පරීක්ෂා කිරීමෙන් විවිධ නිගමනවලට එළැඹේ. දක්ෂ වෛද්‍යවරයකුට ත්‍රිවිධ පරීක්ෂාවෙන් රෝගියා පිළිබඳ, රෝගය පිළිබඳ, කළ යුතු ප්‍රතිකාර, දිය යුතු ඖෂධ පිළිබඳ නිවැරදි නිගමනයන්ට එළැඹීමට පුළුවනි.

 

ශ්‍රී ධන්වන්තරී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ පංචකර්ම ඒකකයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

එස්. ඩී. වී. කේ. වෛද්‍යතිලක සේනාධීර

 

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

Tharunie