Monday, August 15, 2022
Follow Us
අනාචාරය මත දික්කසාදයක් ඉල්ලා සිටී නම්...

හදවත් දෙකක් එකිනෙක යා කරමින් එය විවාහයක් දක්වා යෑම දෙදෙනාම ඉමහත් සතුටට පත් කරවන්නකි.

ශ්‍රී ලංකාවේ 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 19(2) වගන්තියට අනුව විවාහයක් නීත්‍යානුකූලව විසුරුවා හැරිය හැකි පදනම් තුනක් පවතී. ඒ අතරින් 'ද්වේශ සහගත අතහැර යෑම' පිළිබඳ අප පසුගිය ලිපියෙන් කතා කළා ඔබට මතක ඇති. 'විවාහයෙන් පසුව ඇතිකරගත් අනාචාරය යන පදනම' පිළිබඳ මෙවර විමසා බලමු.

'අනාචාරය' යනුවෙන් අදහස් වන්නේ ස්වකීය විවාහක කලත්‍රයා (ස්වාමි පුරුෂයා හෝ බිරිය) හැර වෙනත් පාර්ශ්වයක් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමයි. මෙකී අනාචාරය සාමාන්‍ය ජන සමාජය තුළ අහස පොළොව නුහුලන අපරාධයක් ලෙස සමහරුන් හඳුන්වයි.

 

අපරාධමය වරදක් නොවේ

එනමුදු නීතිමය ඇසින් බලන කල අනාචාරය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධමය වරදක් නොවේ. එය හුදෙක් දික්කසාදය ලබා ගැනීමේ පදනමක් වශයෙන් පමණක් හඳුනා ගනු ලබන බව අවබෝධ කරගත යුතුයි.

එමෙන්ම මෙකී අනාචාරය දික්කසාදය ලබා ගැනීමේ පදනමක් ලෙස යොදා ගත හැකි වන්නේ වරදකාරී පාර්ශ්වය ස්වකීය විවාහයෙන් පසුව මෙකී අනාචාරී සබඳතාවයේ යෙදී ඇත්නම් පමණි. ඉන් අදහස් වන්නේ අදාළ පාර්ශ්වය නීත්‍යානුකූල විවාහයට ඇතුළත් වීමට පෙර යම් වෙනත් පාර්ශ්වයක් සමඟ ලිංගික සංසර්ගයක් පවත්වා තිබීම දික්කසාදය ලබා ගැනීමට පදනමක් නොවන බවයි.

 

සම විත්තිකරුවකු හෝ සම විත්තිකාරියක් නම් කිරීම අවශ්‍ය ද?

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 598 සහ 599(අ) වගන්තීන් සලකා බැලීම හරහා ඉහත ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හැකියි. යම් සැමියකු හෝ බිරියක තම කලත්‍රයාට එරෙහිව අනාචාර චෝදනාව මත දික්කසාදයක් ඉල්ලා සිටී නම් එකී නඩුවේ සම විත්තිකරුවකු හෝ සම විත්තිකාරිය වශයෙන් අදාළ ලිංගික සංසර්ගයේ යෙදුණු අනෙක් පාර්ශ්වය නඩුවේ දී නම් කළ යුතුය.

එසේ වුවද සම විත්තිකරුවකු හෝ සම විත්තිකාරියක නම් නො කර සිටීම සඳහා අහිංසක පාර්ශ්වයට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට හැකි අවස්ථා තුනක් පිළිබඳ ද නීතියේ සඳහන් වන අතර ඒවා පහත සඳහන් පරිදි වේ.

1. විත්තිකාර සැමියා හෝ බිරිය ලිංගික සේවා සපයන වෛශ්‍ය වෘත්තියේ නිරත වන කෙනෙක් බැවින්, ඇය හෝ ඔහු ලිංගික සංසර්ගයේ යෙදුණේ කවර පුද්ගලයන් සමඟ ද යන්න පිළිබඳ අහිංසක පාර්ශ්වය දැනුවත් නොමැති අවස්ථාවක දී

2. කෙතරම් උත්සාහ කළ ද එකී අනාචාරයේ යෙදුණු තැනැත්තාගේ නම අහිංසක පාර්ශ්වයට සොයා ගැනීමට නො හැකි වූ අවස්ථාවක දී

 

අද තොරතුරු සෙවීම පහසුයි

මෙහිදී අප අවබෝධ කරගත යුතු කාරණය වන්නේ වර්තමාන කාලයේ දී නූතන තාක්ෂණය හා සමාජ මාධ්‍ය ඉතා ප්‍රචලිත ව තිබීම හේතුවෙන් මෙලෙස අනාචාරයේ යෙදෙන පුද්ගලයාගේ තොරතුරු සොයාගැනීම එදාට වඩා අද පහසු වී ඇති බවයි. බොහෝ අවස්ථාවන්වල දී ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඊමේල්, කෙටි පණිවිඩ සේවා ඇතුළත් ස්මාර්ට් දුරකථන සුලබව භාවිත වන බැවින් මෙවැනි තොරතුරු සොයාගැනීම පහසු වී තිබේ. නීතියේ ඉහත දෙවැනි කරුණ ඇතුළත් වී තිබුණ ද අද වන විට මේ හේතු මත අනාචාරී පුද්ගලයා සම විත්තිකරුවකු විත්තිකාරියක ලෙස නඩුවේ දී නම් නො කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමක් දක්නට නො ලැබෙන බව නිරීක්ෂණය කළ හැකියි.

 

3. අදාළ අනාචාරී පාර්ශ්වය නඩු පවරන අවස්ථාවේ දී මිය ගොස් තිබීම.

මෙයට හේතුව වන්නේ මිය ගිය පුද්ගලයකු නඩුවක පාර්ශ්වයක් බවට පත් කළ නො හැකි වීමයි. ඉහත සඳහන් අවස්ථා තුන හැරුණු කොට සෙසු අවස්ථාවන්වල දී සාමාන්‍යයෙන් අනාචාරී පාර්ශ්වය සම විත්තිකරුවකු වශයෙන් නම් කිරීම අපේක්ෂා කරනු ලබයි. එසේම මෙලෙස නම් කරනු ලබන සම විත්තිකරුට එරෙහිව වන්දි ඉල්ලා සිටීමට අහිංසක පාර්ශ්වයට හැකියාවක් තිබේ. මෙය බොහෝවිට මූල්‍යමය වන්දියකි.

 

සමාව දීම

විවාහයක් පවතින අවස්ථාවේ දී අනාචාරයේ හැසිරුණ පුද්ගලයකුට අහිංසක පාර්ශ්වය විසින් සමාව දුන්නේ නම් ඉන් පසුව එකී අනාචාරය පදනම් කරගෙන දික්කසාදයක් ඉල්ලා සිටීමට නො හැකි බව සාමාන්‍යයෙන් පිළිගනු ලබයි. නමුත් මෙහිදී සමාව දීම සහ සම්පූර්ණ සමාදාන වීම යනු කාරණා දෙකක් බවත් ඒ අනුව සමාව දුන් පමණින් සම්පූර්ණ සමාදාන වීමක් සිදු වී ඇති බවට තීරණය කළ නො හැකි බවත් අධිකරණ තීරණවල දී ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සමාව දුන් පමණින් දික්කසාදය ඉල්ලා නඩු පැවරීමට හැකියාව අහිමි වන බවට තර්ක කළ නො හැකි වේ. එමෙන්ම එක් වරක් සමාව දුන් පසු නැවත නැවතත් අනාචාරී සබඳතාවල යෙදෙන්නේ නම් පෙර සිදුකළ අනාචාරී ක්‍රියාවන් එකතුව දික්කසාදය ඉල්ලා සිටීමට සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අහිංසක පාර්ශ්වයට හැකියාව තිබේ.

 

චෝදනාව ඔප්පු කිරීම

සාමාන්‍යයෙන් සිවිල් නඩු කටයුතුවල දී නඩුවේ කරුණු ඔප්පු කළ යුතු වන්නේ හැකිතරම් සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි. නමුත් අනාචාරය පදනම් කරගත් දික්කසාද නඩුවක දී අනාචාරය පැවති බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු වීම විශේෂත්වයකි. එබැවින් හුදෙක් සැකයක් හෝ උපකල්පනයක් මත පදනම්ව අනාචාරී චෝදනා එල්ල කිරීම සුදුසු නොවේ. තවද මෙසේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම යන, අදාළ අනාචාරී ලිංගික සංසර්ගය පිළිබඳ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නො පවතින බව අවබෝධ කරගත යුතුය.

එලෙස සෘජු වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව නීතියේ පිළිගත් මූලධර්මයකි. ඒ අනුව අනාචාරය ඔප්පු කිරීමට අදාළ වන්නේ කුමන වර්ගයේ සාක්ෂි ද යන්න එක් එක් නඩුවේ ස්වභාවය මත පදනම් වන බව කිව යුතුය.

උපදෙස්

කොළඹ විශ්ව විද්‍යාලයේ

නීති පීඨයේ ජ්‍යේෂ්ඨ

කථිකාචාර්ය චතුරිකා අකුරුගොඩ

Tharunie