විශ්වාසය ගොඩනගන්න නම් දුන් පොරොන්දු ඉටු කරන්න
බැඳීම් කියන්නේ මානව සම්බන්ධතාවේ මූලික අඩිතාලමයි. මිනිස්සු නිරන්තරයෙන්ම සම්බන්ධතාවන් සොයමින් සිටින අතර ඒ සම්බන්ධතාව ශක්තිමත් කරගැනීම වෙනුවෙන් දහසකුත් දේ කරනවා.
මව්පියන් සහ දරුවන් කියන්නෙත් එවන් පිරිසුදු බැඳීම් සමුදායක් තිබෙන ස්වභාව ධර්මයෙන්ම උරුම වූ මානව සම්බන්ධතාවක පටන් ගැන්මක්.
මව් කුසින් එළිය දකින දරුවා මේ සමාජයට යහපත් පුරවැසියකු කිරීමේ ප්‍රථම රාජකාරිය ඒ දරුවා රැකබලා ගන්නා අයගේ වගකීමයි.
සමහරවිට බිලිඳාගේ මව උපන් මොහොතේ මිය යන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවිධ මානසික රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ශාරීරික රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. එවිට දරුවා රැක බලා ගන්න කවුරුහරි කෙනෙක් ඉන්නවා. ඒ නිසා කුඩා දරුවකු හැදෙන වැඩෙන පරිසරයේ සිට දරුවාගේ ඇසුරේ සිටින පුද්ගලයාගේ ආකල්ප මත ක්‍රියාවන් මත සමාජයට ගුණගරුක හෝ ප්‍රචණ්ඩ දරුවකු බිහිවෙන්න පුළුවන්.
අපට අපේ මුතුන් මිත්තන්ගෙන් එන චර්යාවන්වලින් සීයට පහක් ලැබෙනවා. අපි හැදෙන වැඩෙන පරිසරයෙන් හා අධ්‍යාපනයෙන් 95% ක හැදියාවක්, පෞරුෂයක් ලැබෙනවා. සරලවම කිව්වොත් ආරය සහ පරිසරය අනුව අපේ දරුවාගේ පෞරුෂය ගොඩනැගෙනවා. මුල් ළමාවිය එනම් අවුරුදු තුනත් පහත් ඇතුළත දරුවාගේ මොළයේ සංවර්ධනය 85% ක් වෙනවා. ඉතුරු ටික ලැබෙන්නේ ඔහු වැඩිහිටි කාලයේදී.
එසේ නම් ඔබට දැනෙනවා ඇති මුල් ළමාවිය දරුවකු වෙනුවෙන් කැප වීමේ වටිනාකම කොපමණද කියා.
පුංචි කාලෙ දරුවකු රැකබලා ගන්නා කෙනෙක් විශේෂයෙන් මව හෝ පියා ඇති විට දරුවාට දැනෙනවා තමන් ආරක්ෂිත බව. දරුවාට ආදරණීය බව සුරක්ෂිත බව තමන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් අන්‍යයන් දක්වන බව දරුවාට දැනෙනවා. සෙසු පිරිස සමඟ නිරෝගී ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න එමඟින් දරුවාට අවස්ථාව ලැබෙනවා. ආච්චි, සීයා, මාමා, නැන්දා, සහෝදරයෝ ආදී විශාල පිරිසක් සමඟ දරුවෙක් හැදී වැඩෙනකොට තමන් කෙරෙහි ආත්ම අභිමානයක් සහ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මෙවන් පරිසරයක හැදෙන වැඩෙන දරුවකු වැඩිහිටි වියට පා තැබීමෙන් අනතුරුව ද මේ සුවිශේෂී ලක්ෂණ ඔහු තළින් මතු වෙනවා. ජීවිතේ ශක්තිමත් බව ජීවිතයට අර්ථයක් ඇති බව හොඳ සම්බන්ධතාවන් රැකගත යුතු බව ඔහු දන්නවා. එවන් දරුවකු සමාජයට කිසිදිනක අයහපතක් කරන්නෙ නැහැ.
මෙලොව එළිය දුටු දරු පැටියාට ජීවය දෙන්නට ස්වභාව ධර්මයෙන්ම මවකට ලැබුණු දායාදය තමයි මව්කිරි. මව හා දරුවා අතර බැඳීම ශක්තිමත් කරන්නේ මව්කිරි. ඒ වගේම එය දරු පැටියා ව නිරෝගී සම්පන්න ජීවිතයකට යොමු කරනවා. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වර්ධනය කරන්න මව්කිරි ඉවහල් වෙනවා. ඒ වගේම පළමු වර්ෂය තුළ දරුවාගේ වැඩීමේදී ඔහු ආශ්වාදය ලබන්නේ මුඛය තුළින් අතට ලැබෙන ඕන දෙයක් කටේ දමා ගන්නට උත්සාහ කිරීමෙන්. මවගේ කිරි උරාබීමට ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙ ඒ නිසාමයි. ඒ කිරි අධිකව ලැබීම නිසා හෝ අඩුවීම නිසා පෞරුෂය ගැටීම් ද ඇති විය හැකයි. නියම පිළිවෙළට ඔහුට මව්කිරි ලැබුණොත් ඒ ගැටීම තුළින් දරුවා වර්ධනය ලබනවා. නමුත් දරුවාට අවශ්‍ය වෙලාවට මුඛයේ ආස්වාදය විඳින්න නොලැබුණහොත් වැඩිහිටි අවධියේදී ඔහුගේ පෞරුෂත්වයේ ගැටුම් ඇතිවෙනවා උදාහරණ ලෙස ගත්තොත් සිගරට් බීම, සිප ගැනීම, නොනවත්වා කතා කිරීම, චුවින්ගම් හෝ බුලත්, දුම්කොළ විකීම ආදී ක්‍රියාවන්වල නිතරම යෙදෙන අය බොහෝවිට කුඩා දරුවාගේ පෞර්ෂයට වැදගත් අවධියක් වන මුඛ අවධිය සංතෘප්ත නොවූ පිරිසයි.
දරුවාගේ කුතුහලයටත් ත්‍රාසජනක සිතුවිලිවල ස්වභාවයටත් නිරතුරුවම මව්පියන් අනුබල දිය යුතුයි. කිසියම් කාර්යයකින් අසාර්ථකත්වයට පත් වුණොත් ඒ ගැන ගැරහුම් නොකර සිටින්න ඔබ වගබලා ගත යුතුයි. එසේ වීමේ කිසිම වරදක් නැතැයි දරුවාට කියලා දෙන්න. දරුවා උත්සාහ කිරීම ගැන සතුටු වන්න. උත්සාහය සාර්ථක වුවත් නැතත් සිත කලබල කර ගැනීමෙන් හෝ දරුවාට මේ සිතුවිලිවලට අතහිත නොදීමෙන් දරුවා කිසිදිනක සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ නෑ. හැමවිටම විමසිල්ලෙන් බලා සිට දරුවා මෙහෙය වන්න. ඔහුට සුරක්ෂිතව මේ දේවල් කරගත හැකි බව වටහා දෙන්න. එවිට ඔහු අලුත් අලුත් දේ උද්යෝගයෙන් කිරීමට පෙලඹෙනවා. එසේ කිරීමෙන් ඔහු තව තවත් දේ ඉගෙන ගන්නවා. අත්දැකීම් එකතු කර ගන්නවා. අනාගතයේ ඒ ආකාරයෙන් වැඩ කිරීමට පෙලඹෙනවා. ඒ නිසා දරුවා අසාර්ථක වෙන තැන්වල ඔබ ඉන්න ඔහුව ධෛර්යයවත් කරන්න. ඔවුන්ගේ සිතුම් පැතුම්වලට ගරු කරන්න. ඒ තුළින් ඔබට ඉතාමත් හොඳ පෞරුෂයක් ඇති දරුවකු සමාජයට දායාද කළ හැකි වෙනවා.
එසේ නොමැතිව ඔවුන් කරන්න හදන හැමදේටම ඔබ අකුල් හෙලුවොත්, ඔබ සෘණාත්මක දේවල් පැවසුවොත්, වැරදෙන හැමවිටම ඔවුන්ට හිනා වුණොත් ඔවුන් කිසිදාක අලුත් දෙයක් කරන්න පෙලඹෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ මම මේ සමාජයට වැදගත් කෙනෙක් නෙමෙයි, මම මෝඩයෙක් ආදී සෘණ ආකල්පවලින් පිරුණු පෞරුෂයක් තියෙන දරුවෙක් තමයි ඔබට අවසානයේ ඉතුරු වෙන්නේ.
කුඩා කල දරුවකුගේ පෞරුෂයේ තියෙන දෙයක් තමයි මුරණ්ඩුකම, ආත්මාර්ථකාමීකම සහ ප්‍රකෝපකාරී චර්යාවන්. බොහෝ මව්පියන් කිසි විට මේ දේ තේරුම් ගන්නේ නැහැ. යම්කිසි ස්ථානයකට ගිය විට දරුවා මෙලෙස හැසිරීම ඔවුන්ට මහත් ලැජ්ජාවකට කාරණාවක් වෙනවා. එවිට මේ කුඩා දරුවාට විවිධ තර්ජන කිරීම් ඉටුකරගන්න බැරි පොරොන්දු දීම තුළින් ඔවුන් සන්සුන් කිරීමට උත්සාහ කරනවා. දෙන පොරොන්දු පසුව ඔවුන්ට අමතක වෙලා යනවා. ඒ පොරොන්දු ඉටු නොවූ විට දරුවා මව්පියන් සමඟ තරහ ඇති කරගන්න බලනවා ඔවුන් වෛරයෙන් පිරෙනවා. මෙලෙස ක්‍රියා කිරීම තුළින් මව්පියන් දරුවන්ට කරන්නේ විශාල හානියක්. ඔවුන්ගේ සෘණ පෞරුෂයක් ඇතිකර ගැනීමට මේ කරුණු තදින්ම බලපානවා. මෙවැනි හිඩැසක් ඇති දරුවෝ සමාජය කෙරෙහි, අනුන් කෙරෙහි දැඩි සැකයක් ඇති කරගන්නටත් අසුබවාදී ලෙස ජීවිතය දිහා බලන්නට පුරුදු වෙනවා. ඔවුන් කිසිවෙක් විශ්වාස කරන්නේ නැහැ. එවැනි පෞරුෂයක් හිමි පුද්ගලයකුට සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත් වීමට ඉතාමත් අපහසුයි. විවිධ පුද්ගලයන් සමඟ ඔවුන් ගැටුම් ඇති කරගන්නවා. ඒ නිසාම පුංචි කාලයේම දරුවා තුළ විශ්වාසය ගොඩනගන්න දුන් පොරොන්දු ඉටු කරන්න.
රූපලාවණ්‍ය,
පෞරුෂ සංවර්ධන හා
මනෝ උපදේශිකා
දීප්ති පෙරේරා ලියයි
Tharunie