මිහිපිට උපන් සැමට 'සුව සම්පත' තරම් වටිනා සම්පතක් තවත් නැත. එහෙත් අපේ සමාජයේ බහුතරයක් ඒ ගැන සිතන්නේ නැති තරම්. දවසින් දවස විවිධාකාර ලෙඩ රෝගවලට බොහෝ අය ගොදුරු වන්නේ එහෙයිනි.
ලාංකික අප, රටේ උද්ගතව ඇති වර්තමාන තත්ත්වයට මුහුණ දිය යුතුයි. මෙහිදී වඩාත් වැදගත් තැනක් සෞඛ්‍ය සේවාවට හිමි වෙයි. ඒ නිසා ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට අපි අද අදම කටයුතු කළ යුතු වෙමු.
ඒ සඳහා දේශීය වෙදකමෙන් පිළියම් සොයා ගත යුතුයි. දේශීය වෙදකම නැංවිය යුතුයි.
ඒ නිසාම අපි ඔබේ සුවසෙත නංවන්නට දේශීය වෙදකමේ අගය මෙලෙස ගෙන එන්නෙමු.
සොබාදහමෙන් අපට දායාද වූ වටිනාම සම්පතක් වන්නේ ජලයයි. මේ ජලය නිවැරැදිව භාවිත කරන ආකාරය දැන කටයුතු කරන්නේ නම් ඔබට බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් මිදිය හැකියි. එනම් ඔබේ සුවසෙත රැකගත හැකියි. මසුරන් වටිනා ජලය ගැන ආයුර්වේදයේ කියැවෙන්නේ මෙලෙසයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇල් හා උණු ජලය සම්බන්ධයෙන් විශේෂත්වයක් උසුලයි. උදක, අම්බු ආදී පර්යාය නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.
ප්‍රයෝජන
විඩාව දුරුකර ගැනීම, ක්ලාන්තය දුරුකිරීම, පිපාසය සංසිඳවීම, අලස බව දුරු කර ගැනීම, වමනය, මළ බද්ධය දුරලීම, අජීර්ණය නැසීම, ශරීරය පිරිසුදු කිරීම හා ශරීරය නිසි පරිදි පවත්වාගෙන යාමට උදව් කිරීම, නිදිමත නැති කිරීම, ශරීරය පිනවීම යනාදියට ජලය අවශ්‍ය වේ.
එලෙසම ජලය ශක්ති ජනකය. හෘදයට හිතැතිය, සැඟවුණු රසයක් ඇත්තේය. පථ්‍ය වේ. සිසිල්ය. සැහැල්ලුය. අවර්ණය. එබැවින් ආයුර්වේද ශාස්ත්‍රයේ දී ජලය අමෘතය හා සමාන බව කියැවේ.
ඇල් ද? උණු ද?
මේ ජලය සිසිල් හා උණු ජලය වශයෙන් අපි සකසා ගනිමු. එහිදී ක්ලාන්තය, උණුසුම, දැවිල්ල, විස බව හා රුධිරය රත් වූ අවස්ථාවන්වල, කෑ ආහාරය ඇඹුල් වූ අවස්ථාවේ, (අම්ල පිත්තයේ දී) මානසික විකෘතිතාවල දී වමන අවස්ථාවේ දී ද රක්ත පිත්ත රෝග අවස්ථාවේ දී ද සිසිල් ජලය (ඇල් ජලය) පානය කිරීම සුදුසුය.
වාත රෝගවල දී මඳ උණුසුම් ජලය ද පිත්තජ රෝගවල දී නිවුණු ජලය ද පානය කිරීමෙන් සුවපත් වේ.
සෙම්ප්‍රතිශ්‍යාව, වාත රෝග අවස්ථා, උගුර ආශ්‍රිත රෝග, උණ රෝගය වැලඳුණ විට, ආහාර අරුචිය ඇති අවස්ථාවල, හතිය, ඇදුම, කැස්ස ආදී අවස්ථාවල, ස්නේහ පානයෙන් (තෙල් බීම) පසු, වමන, විරේචන ආදී පංච කර්මවලින් අනතුරුව සිසිල් ජලය පානය කිරීම සුදුසු නොවෙයි. එවැනි අවස්ථාවල දී තරමක් උණුසුම් ජලය පානයට ගත යුතුය. තවද ව්‍යායාම කළ විගස එනම් දහදිය නිවීමට ප්‍රථම ඇල් ජලයෙන් සේදීම හා ඇල් ජලය භාවිතය කුෂ්ට රෝගවලට හේතු කාරක වේ.
මිශ්‍ර කරන්න එපා
උණු ජලය යනු අඩක් ශේෂව සිඳගත් ජලයයි. වත්මන් සමාජයේ ප්‍රචලිතව පවතින්නේ හොඳින් උතුරවා ගත් ජලයට ඇල් ජලය එකතු කර පානය කිරීම හෝ ස්නානය කිරීමයි. එය සුදුසු නොවේ. මෙහි දී කළ යුත්තේ එම රත්කර ගත් ජලය තමන්ට අවශ්‍ය පමණට නිවෙන්න හැර භාවිත කිරීමයි. නැතහොත් සිදුවන්නේ ජීවාණුහරණය වු ජලයට නැවතත් ජීවාණු එකතු වීමයි.
තවද උණු ජලය ප්ලාස්ටික් බෝතල්වල දැමීම සුදුසු නොවේ. එය ශරීරයට අහිතකරයි. විශේෂයෙන් පිළිකා වැනි මාරාන්තික රෝගවලට අත වැනීමක් බව සිහි තබා ගත යුතුය. උණු ජලය වීදුරු හෝ මැටි බඳුන්වල බහා තැබීම සෞඛ්‍යාරක්ෂිත වේ.
උණු ජලය සැහැල්ලුය. ඇල් ජලය ගොරෝසුය. ආහාරයෙන් පසු උණු ජලය පානය කිරීමෙන් ආහාරයේ පවතින මේද කොටස් දිය වේ. ඒ නිසා ආහාරයෙන් පසු මඳ උණුසුම් ජලය පානය කිරීම යෝග්‍ය වේ.
රෝගාබාධයක් නොමැති අවස්ථාවල දී ඇල් ජලය සුදුසුයි. එසේම ඇල් ජලය මඟින් ආයුෂ රැකේ.
හිරු එළියෙන් රත් කරන්න
තවද හිරු එළිය භාවිත කොට ජලය උණුකර ගැනීමේ ක්‍රමයත් ආයුර්වේදයේ ප්‍රසිද්ධයි. මෙකී ක්‍රමය තරුණ, බාල, මහලු කොයි කාටත් සුවදායි වන්නේය. මෙමඟින් සූර්ය රශ්මියේ පවතින්නා වු ශක්තිය ශරීරයට ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින් හමුවන්නා වූ භූගත උණුසුම් ජලයේ ද ඖෂධීය වටිනාකමක් ඇති බව කිව යුතුමය. එම ඖෂධීය උණු ජලය සමේ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ වේ.
බාල - මහලු
සාමාන්‍යයෙන් ළදරු අවධියේ සෙම බහුල බැවින් උණු ජලය භාවිතය යෝග්‍යයි. මහලු අවධිය වාත කෝපකරන බැවින් උණු ජලය සුදුසුය. එබැවින් ස්නානය මෙන්ම පානය සඳහා මඳ උණුසුම් ජලය හිතකර වේ. තරුණ අවධිය පිත් කෝප කරවන බැවින් ද ජවය ශක්තිය ඇති බැවින් ද ඔවුනට සුදුසු වන්නේ පිරිසුදු ඇල් ජලයයි. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ ගැනීමේ දී මඳ උණුසුම් ජලය හෝ මඳ උණුසුම් පාන වර්ග ඒ සඳහා භාවිත කිරීම සුදුසුයි.
කෙසේ වෙතත් වයස මෙන්ම රෝගී බව බලා ඇල් හෝ උණු ජලය, ස්නානය කිරීමත් සුදුසු වේ.
උපදෙස්
ආයුර්වේද වෛද්‍යාචාරිණි
සාමවිනිසුරු, දේශබන්ධු
කාන්ති මදුරප්පෙරුම
Tharunie