Monday, May 23, 2022
Follow Us
සාර්ථකව විභාගය සමත්වෙන්න කකුල් දෙක වතුරෙ දාගෙන පාඩම් කරන්න ඕනේ නැහැ

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන්නට පෙර මේ ලිපිය කියවන්න...

* ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ කුඩා මනසට විශාල බරක් බවයි මගේ අදහස.

* දරුවෝ පංති කාමරවල හිර කිරීම තමයි අපි කරන ලොකුම වරද

* ‘අනද අභිමන්‘ ප්‍රදර්ශනයෙන් බිහිවුණු දරුවෝ දැන් ජාත්‍යන්තර තලයේ ආයතනවල විද්‍යාඥයෝ ලෙස සේවය කරනවා

* අපට උගන්වන දේ කටපාඩම් කරනවාට වඩා අවබෝධයෙන් යුතුව ඉගෙන ගත්තොත් එය ජීවිතයටත් වටිනවා.

 

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීටම නියමිතව තිබුණේ 2021 දෙසැම්බර් මාසයේදීය. එහෙත් නොසිතූ ලෙසින් කෝවිඩ් වසංගතය ව්‍යාප්තවීම නිසා එය මාස ගණනක් ප්‍රමාද විය. මේ වන විට එම විභාගය ප්‍රමාද වී මාස පහක් ගතවී තිබේ. කුමන බාධක අභියෝග පැමිණියත් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කළ නොහැකිය. එයින් ඔවුන්ගේ අනාගත ගමන ද ප්‍රමාදවනු ඇත.

 

 

 

මෙය ඉතා හොඳින් අවබෝධ කරගත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරින් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් මහත් කැපවීමෙන් යුතුව එම විභාග කඩිනමින් පැවැත්වීමට සැලසුම් කරන්නේ විශාල මහන්සියක් ගනිමිනි. මේ දැවැන්ත කටයුත්තේ වගකීම සුළු පටු නොවේ. මේ අනුව ප්‍රමාද වූ 2021 අ.පො.ස. (සා.පෙළ) විභාගය මෙම මාසයේ දී ද 2022 අගෝස්තු මස පැවැත්විය යුතුව ඇති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස (උ.පෙළ) විභාගය 2022 ඔක්තෝබර් මාසයේ දී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම බඳවා ගැනීමේ විභාග ඇතුළු අනෙකුත් රජයේ විභාග නිසි පරිදි පැවැත්වීම හා උත්තර පත්‍ර බැලීමේ කටයුත්ත ද දැවැන්ත ක්‍රියාවලියකි. මේ අභියෝගාත්මක කටයුත්ත සඳහා සූදානම් වන විභාග දෙපාර්තමේන්තුව නැමැති නෞකාවේ නියමුවා වන්නේ විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහාතාය. ඔහු එම සියලු කටයුතු මැනවින් සංවිධානය කරමින් හසුරවනු ලබන්නේ මහත් උනන්දුවෙනි. ඔහු විභාග නැමැති මල් මාලාවේ මල් එකිනෙක අමුණමින් සිටින්නේ මහත් උද්‍යෝගයෙනි. විශාල රාජකාරි ගොන්නක් තම හිස මත තිබුණත් ඒ රාජකාරි සියල්ල මැනැවින් කළමනාකරණය කර ගැනීමට ඔහු සමත්ය. මේ සියලු කටයුතු මැද ඔහු තරුණීට කතා කරන්නට අප සමග හරවත් පිළිසඳරකට මුල පිරුවේ දැයේ දරුවන්ට විභාග සමත්වීමට මග පෙන්වීමට වඩා ඉන් බොහෝ ඔබ්බට ගිය ගැඹුරු උපදෙස් රැසක්ම ලබා දෙමිනි. එම උපදෙස් සමස්ථ දරු පරපුරට පමණක් නොව මව්පියන්ට ද සැබෑම උපදේශනයකි. එය විභාගයක් සමත්වීමට වඩා ජීවිත ගමන සාර්ථක කර ගැනීමට විශාල උද්දීපනයකි.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ කොයි ආකාරයටද?

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය තමයි අපි මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කරලා තිබෙන්නේ. එම විභාගය මැයි 23දා සිට ජුනි 01දා දක්වා දින 09ක් පැවැත්වෙනවා. එම විභාගය ඇතුළු සියලු විභාග මාස කිහිපයක් හෝ ප්‍රමාද වී විධිමත්ව සංවිධානය කිරීමට හැකි වී ඇත්තේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ මෙන්ම අධ්‍යාපන ලේකම්තුමාගේ ද මගපෙන්වීම හා උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම හේතුවනි. මේ විභාගය අවසන් වූ වහාම 2022 වර්ෂයට අදාළ විභාග පැවැත්වීම සඳහා සූදානම් විය යුතුයි. ඉතා සීමිත කාල රාමුවක් තුළ පාසල් හා ආයතනික විභාග රැසක් පැවැත්වීමට සිදුවීම ඉතා අසීරු කටයුත්තක් වගේම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මෙම අභියෝග හමුවේ සාර්ථකව ඉලක්කගත අරමුණ කරා යාමට නොසැලෙන පවුරක් ලෙස අපට ශක්තිය ධෛර්යය ලබා දෙන අධ්‍යාපන අමාත්‍යතුමාට සහ ලේකම්තුමාට දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපට මොනතරම් අභියෝග බාධක තිබුණත් ඒ සියලු බාධක මැද රටේ දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සියලුම විභාග හොඳින් පැවැත්වීම තමයි අපගේ උත්සාහය.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලබා දෙන්න පුළුවන් උපදේශය කුමක්ද?

 

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට තව තිබෙන්නේ මාසයකට වඩා කෙටි කාලයක්. මේ කාලය තුළ අපේ දුවලා පුතාලගේ විෂය කරුණු ටික සැලකිලිමත්ව සාරාංශගත කර ගන්න. ඒ ඒ විෂය නිර්දේශයට අනුව පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න. අපේ දරුවෝ දැන් දන්නවනේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය. ඒ ආකෘතියට අනුව ප්‍රශ්නවලට උත්තර ලිවීමට පෙර ප්‍රශ්නය හොඳින් කියවා අවබෝධ කර ගන්න. සමහර දරුවෝ දන්නේ නැහැ ප්‍රශ්න සෘජුව අවබෝධ කරගන්න. ඇතැම් දරුවෝ පාඩම් කරනවා කිව්වට බාහිරින් අවබෝධ කර ගන්නවා විතරයි. ගැඹුරින් අවබෝධ කර ගන්නේ නැහැ. කටපාඩම් කිරීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මේක මෙහෙම වුණේ ඇයි? මෙහෙම වෙන්න බැරිද? ආදී වශයෙන් තර්තාකානුකූලව අවබෝධකර ගැනීම තුළ තමයි දීර්ඝකාලීන මතකයක් දරුවන් තුළ ඇතිවෙන්නේ. එහෙම නැතිව කකුල් දෙක වතුර භාජනයක දමාගෙන කටපාඩම් කරලා විභාග සමත්වීම නෙවෙයි. අවබෝධයකින් යුතුව ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම තමයි සාර්ථකව විභාගයකට මුහුණ දෙනවා කියන්නේ.

 

අපට ඒ වගේ උත්තර ලිවීමක් පිළිබඳ පොඩි උදාහරණයක් දෙන්න බැරිද?

 

විද්‍යාව විෂය නිර්දේශයේ තිබෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අපි සරල උදාහරණයකට ගනිමු. බීජ ප්‍රරෝහණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම ගත්තොත් බීජ පත්‍ර හට ගන්නේ කොහොමද? ඒ සඳහා කොයි තරම් කාලයක් ගත වෙනවාද, බීජයක් ප්‍රරෝහණයට අවශ්‍ය සාධක... මේ වගේ ප්‍රශ්න ඇහැව්වාම දරුවෝ මේ උත්තර ලියන්න ප්‍රායෝගික දැනුම තියෙන්න ඕනේ. දරුවෝ පාසලේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලා තිබිය යුතුයි. ඉගෙනුම පිළිබඳව Benjamin Bloom නම් අධ්‍යාපන මනෝ විද්‍යාඥයාගේ වර්ගීකරණයේ දැක්වෙන පිරමීඩයට අනුව එහි පාදස්ථයෙහි දැක්වෙන්නේ දැනුමයි. ඉන් පසුව අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, නිර්මාණාත්මක සංස්ලේශනය ආදී කරුණුය. දැනුම පදනම් වූ භාවිතය තුළින් තමයි නිර්මාණ බිහි වෙන්නේ. අපි දරුවන්ට දැනුම දීලා තියෙන්නේ. මේ දෙන දැනුම කට පාඩම් කර ගත්තු ගමන් වෙන්නේ ඉදිරි කාලයේදී අවබෝධ කරගත යුතු භාවිතය, අලුතින් හිතන්න... අලුත් දෙයක් නිර්මාණය කරන්න යන්නේ නැහැ. විභාගයක් සමත්වීම පමණක් කරනවා. දැනුමෙන් එහාට දෙයක් නැහැ. අපට උගන්වන දේ කටපාඩම් කරනවාට වඩා අවබෝධයෙන් යුතුව ඉගෙන ගත්තොත් එය ජීවිතයටත් වටිනවා. ජීවිත ගමනේදී භාවිත කරලා එයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කට පාඩම් කිරීමේදී වෙන්නේ විභාගයට කට පාඩම් කරලා ලිව්වා. විභාගය සමත් වුණා. ටික දවසකින් සියල්ල අමතකයි.

 

නමුත් කොමසාරිස්තුමනි... දරුවන්ගේ අනාගතයේ බොහෝ දේ තීරණය වෙන්නේ විභාගය මත නේද?

ඔව්.... මම පිළිගන්නවා. නමුත් විභාගය කියන්නේ ජීවිතය නොවෙයිනේ. ජීවිත ගමනකුත් අපට තියනවා. මම මේ කතාවේ වෙනත් පැතිකඩක් ගැන කතා කරන්නේ. අපේ රටේ දැන් දැවෙන ප්‍රශ්නයක් ගන්නකෝ. ඩොලර් ප්‍රශ්නය. ඒකට මුල කොතනද? අපි හැදුවේ කවුද? අපි හැදුවේ කට පාඩම් කරන දරු පරපුරක්. අපි හිතුවාද අලුත් නිපැයුමක් කරන්න දරුවන්ට මග පෙන්වන්න. නව නිපැයුම් තුළින් විදේශ විනිමය උපයන ව්‍යවසායකයින් බිහි කරන්න අපි හිතුවාද? නැහැ.... හැම දෙනෙක්ම හිතුවේ රජයේ රැකියාවකට යන්න. අපේ අම්මා තාත්තා කිව්වේ විශ්‍රාම වැටුපක් තියන රජයේ රැකියාවකට යන්න කියලා. අන්තිමට මොකද වුණේ...? රුපියල් සත උපයාගන්නට තමයි අපි පෙළඹුනේ. අපේ රටට ඕනෑ රුපියල් සත පමණක් උපයන පරපුරක් නොවෙයි. දරුවන්ට කියන්න ඕනේ ව්‍යවසායකයෙක් වෙන්න. නව නිපැයුමක් කරන්න. එයින් ඩොලර් උපයන්න කියලා. ජාත්‍යන්තරය ජය ගන්න හැකිවෙන ධනාත්මක සිතුවිලි දරුවන්ගේ මනසට අපි ලබාදිය යුතුයි.

 

ඒ සඳහා වැඩපිළිවෙළක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙනවාද?

ඔව්... ඇත්තටම ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී සිදුවෙන්නේ ඒ දෙය තමයි. ඩොලර් සහ පවුම් හොයන දරු පරපුරක් අපි හදන්න ඕනේ. උසස් පෙළ කරලා විභාගයක් කරලා... අවසානයේ සමස්ථ අධ්‍යාපනයෙන් බිහිවිය යුත්තේ හුදෙක් උපාධිධාරියෙක් පමණක් නොව නව නිර්මාණ බිහි කළහැකි කුසලතා පරිපූර්ණ දරුවෙකුයි. උදාහරණයකට මම ඩොලර් හොයනවාද? මම පරිපාලන නිලධාරියෙක්. මට ඩොලර් හොයන්න බැහැ. නමුත් දැන් රටට ඕනේ ඩොලර්. අපේ අධ්‍යාපනයේ අවුරුදු ගණනාවක් තිස්සේ දරුවාගේ මනසට අලුත් දේවල් එකතු කරලා නෑ. ඒක ලොකු අඩුවක්.

 

ඔබ පරිපාලන ක්ෂේත්‍රයේ මුලින්ම කටයුතු කළේ විදුහල්පතිවරයකු ලෙස නේද?

ඔව්... මම පාසල් කිහිපයකම සේවය කරලා තියෙනවා. ඒ අතරින් ආනන්ද විද්‍යාලයේ ‘අනද අභිමන්‘ ප්‍රදර්ශනය පැවැත්වීම විදුහල්පතිවරයෙකු ලෙස දරුවන්ට ලබා දිය හැකි වූ හොඳ අත්දැකීමක් වශයෙන් මට සිහිපත් වෙනවා. . ඒ ප්‍රදර්ශනයෙන් බිහිවුණු දරුවෝ දැන් ජාත්‍යන්තර තලයේ ආයතනවල විද්‍යාඥයෝ ලෙස සේවය කරනවා. ඒක මට විශාල සතුටක්.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුදුරේදී ම අධ්‍යාපන නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Production Base Education System එකක් දැන් ඇති කිරීම සඳහා කටයුතු කරමින් තිබෙන්නේ. ඒකට දරුවා පංති කාමරය තුළ ඉගෙන ගන්නා දේවල්වලට අනුගත වෙමින් පවත්වන විභාග ක්‍රමයක් සකස් වෙමින් පවතින්නේ. වෙනත් රටවල විභාග දෙපාර්තමේන්තුවක් වෙනම නැහැ. පාසල තුළම තමයි දරුවාගේ දක්ෂතාව ගුරුවරයා විසින් හඳුනාගන්නේ. සමහර දරුවෝ ඉන්නවා All Roundersල. ඒ අයගේ හැකියාව විභාග ප්‍රශ්න පත්‍රයකින් හඳුනා ගන්න බැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ විභාග මූලික කරගෙනම නෙවෙයි සිතිය යුත්තේ. දරුවාගේ නිර්මාණශීත්වය එළියට ගන්නා ක්‍රමයක් ගැනයි අපි සිතිය යුත්තේ. වර්තමානයේ විභාග කොමසාරිස් ජනරාල් වුණත් මම මුලින්ම පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුනේ වයස අවුරුදු 23 දී. පසුව පරිපාලන සේවයේ විදුහල්පතිවරයෙක් ලෙස ආනන්ද විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඇතුළු විදුහල් ගණනාවක සේවය කර තිබෙනවා. අවුරුදු 28දී තමයි පාදුක්ක සිරි පියරතනයේ විදුහල්පති වුණේ. මම දරුවෝ ගැන දන්නවා. නිර්මාණශීලී දරුවෝ අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ අයට එම හැකියාවන් තුළින් ඉදිරියට යන්න බැහැ අපේ මේ තියන දැඩි විභාග ක්‍රමය නිසා. මගේ පෞද්ගලික අත්දැකීම අනුව දරුවන්ගේ හැකියාව මොට කරන විභාගයක් තමයි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ කුඩා මනසට විශාල බරක් බවයි මගේ අදහස. අපේ දරුවන් පරිසරයත් එක්ක, අම්මා තාත්තා, අයියා, අක්කා, නෑයෝ එක්ක අයනු ආයනු කිය කියා විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ කාලේ පංති කාමරවල හිර කිරීම තමයි අපි කරන ලොකුම වරද. සමහර අම්මලා කුඩා කාලයේ දීම දරුවන්ට අධ්‍යාපනය එපා කරවනවා. දරුවා පොඩි කාලේම හිතනවා මේක තමයි ලොකුම අධ්‍යාපන විභාගය කියලා. එතැනින් එහාට ශිෂ්‍යත්වයෙන් පසුව දරුවාට අධ්‍යාපනය එපා වෙනවා.

දරුවන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනයට අවශ්‍ය වැඩ සටහන් මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යන් ඔස්සේ ද වඩ වඩාත් ක්‍රියාත්මක වන්නේ නම් දරුවන්ට එය බොහෝම වැදගත් වේවි.


(Tharuni)