Thursday, April 18, 2024
Follow Us
නිවෙස සරසන්න පොයින්සෙටියා මල්

අසිරිමත් නත්තල සමරන්න සූදානම් වන කිතුණු ඔබ වෙනුවෙන් මේ සති කිහිපය පුරාම අප බටර් අයිසිං කලාවෙන් සහ තයිලෝ පේස්ට් ක්‍රමයෙන් සාදන ලද පොයින්සෙටියා මල් කිහිපයක් කිහිපයක්ම ඉදිරිපත් කළෙමු.

අදත් අප මේ සූදානම් වන්නේ කම්බි යොදමින් සකස් කරන ලද තවත් පොයින්සෙටියා මලක් සාදාගන්නා ආකාරය ඔබට කියා දෙන්නයි. බලන්න, මේ අයිසිං මල් ස්වාභාවික මල් වගේමයි නේද කියලා. මේ ආකාරයට අයිසිං පොයින්සෙටියා මල් කිහිපයක් සකසා වෙනත් මල් හා කොළ ඉති සමඟ සම්බන්ධ කර නිවෙස සරසන්න අපූරු මල් බඳුනක් ඔබට සකසාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

ගේජ් 20 හා 26 කම්බි

තයිලෝ පේස්ට් හෝ පාච්මන්ට් අයිසිං

රතු නූල්

කොළ ගම් ටේප්

ඩස්ටිං පවුඩර්

නිර්මාණය කිරීම

පළමුව ගේජ් 26 කම්බි කොටසක් ගෙන කොක්කක් ආකාරයට සාදා ගන්න. ඉන්පසු එයට කොළ පැහැති තයිලෝ පේස්ට් බෝලයක් රඳවා පොහොට්ටුක් ආකාරයට සාදා ගන්න. දැන් ඒ වටා ටූත් පික් එකක් මඟින් ඉරි කීපයක් අඳින්න. එහි උඩට කහ පැහැති කුඩා අයිසිං බෝල තුනක් සාදා රඳවන්න.

ඉහත ආකාරයටම තවත් කම්බි කොටසක් ගෙන එය කොක්කක් ආකාරයට නමා ගන්න. ඉන්පසු රතු නූල් කොටසක් ගෙන ඇඟිලි දෙකක් මත කිහිප වරක් ඔතා කම්බිය දෙපසට දමා තදකර මැදින් කපා රේණුවක් ආකාරයට සකසා ගන්න. පසුව එම නූල්වල උඩ කෙළවරට ජෙලටින් ස්වල්පයක් ගා ඒ මත කහ වර්ණ ඩස්ටිං පවුඩර් තවරන්න. දැන් කොළ වර්ණ අයිසිං බෝලයක් ගෙන යටින් තබා පොහොට්ටුවක් ආකාරයට සකසා ගන්න.

පළමුවෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ සකස් කරගත් පොහොට්ටු වර්ග දෙකයි. දැන් තවත් කම්බි කොටසක් ගෙන එක් පැත්තක් කොක්කක් ආකාරයට සාදා ඒ මත රතු අයිසිං බෝලයක් රඳවන්න. පසුව එය තුනීකර දෙවැනි ඡායාරූපයේ දැක්වෙන කුඩා මල් පෙති කටරය තබා මල් පෙත්තක් කපාගන්න. එවැනි මල් පෙති පහක් මේ මල සාදා ගැනීම සඳහා අවශ්‍ය වේ. ඉන්පසු එම පෙති පහ වේනර් කර පසුව ස්පොන්ජ් කොටසක් මත තබා බෝල ටූලයෙන් ටූල්කර පෙති රැලි කරන්න.

පසුව පෙත්ත තරමක් යටට නමා හැඩ කරගන්න. තෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ රැලි කරගත් මල් පෙතිය. ඒ ආකාරයට දෙවැනි ඡායාරූපයේ දැක්වෙන අනෙක් මල් පෙති කටරය තබා තවත් මල් පෙති පහක් කපාගන්න. එය ද පෙර පරිදිම වේනර්කර පසුව ටූල් කර පෙත්ත රැලි කරන්න. තෙවැනි මල් පෙත්ත ද එම ඡායාරූපයේ ඇති අනිත් කටරය තබා කපාගන්න. එහි යට කොටස කපා ඉවත් කර ගත යුතුයි. එය කපා ගන්නා ආකාරය ගිය සතියේ දී අප පැහදිලි කළෙමු. එසේ කපා ගත් මල් පෙති පහක් සහ යට කොටස කපා නොගත් මල් පෙති පහක් මේ සඳහා අවශ්‍ය වෙයි. දැන් එම කටරයම තබා කොළ වර්ණ අයිසිං මඟින් තවත් මල් පෙති පහක් කපාගන්න. සිව්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ තෙවැනි කටරය තබා කපාගත් මල් පෙති සහ කොළය. ඒ සඳහා ගේජ් 20 කම්බිය යොදා ගන්න.

මෙම මල් පෙති සහ කොළවලට ඩස්ටිං පවුඩර් ස්වල්පයක් තවරා ගන්න. දැන් මල සකස් කර ගනිමු. ඒ සඳහා පළමුව නූල් යොදා සකස් කර ගත් රේණු සහිත පොහොට්ටු තුනක් සහ අනෙක් පොහොට්ටු හයක් එකට තබා ගම් ටේප් ඔතා ගන්න. පසුව කුඩා මල් පෙති කටරය තබා කපාගත් පෙති පහ එහි වටේට තබා බඳීන්න. දැන් දෙවැනි කටරය තබා කපාගත් අනෙක් මල් පෙති පහ තබා බැඳගන්න. පසුව යට කොටස ඉවත් කර ගත් මල් පෙති පහ තබා බඳීන්න. අවසානයේ අනෙක් මල් පෙති පහ තබා බැඳ වටේට කොළ තබා ගම් ටේප් ඔතාගන්න. මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි මල් සහ කොළ සාදා කේක් එකක් හැඩකර ගත හැකියි.

(Tharuni)