Friday, April 19, 2024
Follow Us
සීනියාස් මල් පිරුණු බාස්කට් කේක් එකක්

ආදරණීය මවගේ එහෙමත් නැත්නම් ආදරණීය දියණියගේ උපන් දිනයට මලින් පිරුණු බාස්කට් එකක් පිරිනමන්න පුළුවනි නම් මොනතරම් අගෙයි ද ? හැබැයි එය නිකම්ම නිකම් මල් නෙමෙයි. රසම රස කේක් මල් බාස්කට් එකක්.28 t s

ලස්සන සීනියාස් මලින් හැඩවැඩ වූ මේ මල් බාස්කට් එකේ කේක් එක සකසාගෙන ඇත්තේ රුලං පිටි එකතුකරලා. ඒ නිසා රස වාගෙම හරිම ගුණදායකයි. එහෙම

නම් අපි මුලින්ම කේක් එක සකසන කරගනිමු.

* බටර් ග්‍රෑම් 500ක්

* රුලං පිටි ග්‍රෑම් 500ක් (රුලං පිටි ‍යොදා නොගන්නේ නම් පාන්පිටි ගන්න.)

* සීනි ග්‍රෑම් 500ක්

* වැනිලා තේ හැඳි 02ක්

* බනානා එසන්ස් බින්දු 2ක්

* බිත්තර 8ක්

* බේකින් පවුඩර් ග්‍රෑම් 25ක්

* කිරි මේස හැඳි දෙකක්

~ වියළි බඳුනක් ගෙන එයට බටර් හා සීනි දමා හොඳින් ගසාගන්න.

~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

~ එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න.

~ රුලං පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.

~ ඉන්පසුව ගසාගත් බටර්, සීනි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

නැත්නම් අඩු වේගයෙන් බීට් කරන්න.

~ එයට කිරි ටික ද එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

~ දැන් කේක් මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන් කරන්න.

~ එක කොටසකට රතු වර්ණකයෙන් බින්දු දෙකක් සහ අනිත් කොටසට බිංදු තුනක් ලෙස එක් කරන්න. ඉතිරි කොටස ස්වාභාවික වර්ණයෙන්ම තබන්න.

~ අනතුරුව රවුම් හැඩයේ කේක් තැටි තුනක් ගෙන බේකින් පේපර් දමා සකස් කරගෙන කේක් මිශ්‍රණය පාට තුන වෙන වෙනම තැටි තුනට දමන්න.

~ දැන් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 08ක් පමණ අවන් එක රත් කරගෙන අනතුරුව විනාඩි 25ක් බැගින් කේක් තුන බේක් කරගන්න.

~ බේක් කරගත් කේක් ටික හොඳින් නිවෙන්නට තියන්න.

ඒ අතරේ බාස්කට් එකට හැන්ඩ්ල් එකක් සාදා සවි වෙන්නට තබාගනිමු.

~ ඒ සඳහා ෆොන්ඩන්ට් අයිසිං පොඩි කොටසක් ගෙන එයට අයිවරි කලර් බිංදු කිහිපයක් එකතුකර ෆොන්ඩන්ට් එක වර්ණ ගන්වන්න.

ඉන්පසු කඹයක් ආකාරයට සකස් කරගෙන නො.18 ප්‍රමාණයේ ඝනකම් කම්බියක් වටේ එක ළඟින් ඔතන්න. කම්බිය නවා හැන්ඩ්ල් එකක් විදියට සකස්කර වියළෙන්නට තබන්න.

දැන් කේක් එක හැඩ කරගනිමු. මේ සඳහා පළමුව බටර් අයිසිං සාදා ගත යුතුය .

* බටර් ග්‍රෑම් 750ක්

* අයිසිං සීනි ග්‍රෑම් 150ක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* කිරි මේස හැඳි දෙකක්

~ මුලින්ම බඳුනකට බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි ආදිය දමා ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ දැන් සාදාගත් මේ බටර් අයිසිං එකෙන් 3/4ක ප්‍රමාණයක් බාස්කට් වියමන, මල් සහ කොළ සඳහා වෙන් කරගන්න.

~ ඉතිරි කොටස කේක් එක සැන්ඩ්විච් කිරීමට සහ හැඩ වැඩ කිරීමට තබාගන්න.

~ දැන් නිවුණු කේක් එක උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න.

~ කේක් ටික එක මත එක තබා සැන්ඩ්විච්කර ඉන්පසුව උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න.

~ මල් සහ කොළ සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එකෙන් පොඩි කොටසක් කොළ සඳහා ද වෙන් කරගන්න. ඉතිරිය මල් සහ වියමන සඳහා වෙන් කරගන්න.

~ ඒ බටර් අයිසිංවලට අයිවරි වර්ණය එක්කර ස්ටාර් නොසල් එක භාවිත කරමින් කේක් එක වටා වියමන කරගන්න.

~ මල් සඳහා වර්ණ එකතුකර නො. 104 පෙට්ල් නොසල් එක උපයෝගී කරගෙන සීනියාස් මල් පෙති නිර්මාණය කරන්න.

මැදට නො.2 නොසල් එක භාවිත කරන්න. අනතුරුව සාදාගත් මල් විනාඩි 15ක් අධි ශීතකරණයේ තබා කේක් එක මත රඳවන්න.

~ කොළ වර්ණකය දමා නො. 68 නොසල් එකෙන් කොළ නිර්මාණය කරන්න.

ඉන්පසු බාස්කට් එකේ හැන්ඩ්ල් එකද රඳවා නිර්මාණය අවසන් කරගන්න.

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

Thrunie