Friday, October 18, 2024
Follow Us
රාබු සීනි සම්බෝලය

රාබු කියන්නේ රසවත් ගුණයෙන් ඉහළ එළවළුවක් වුණත් එහි ඇති වෙනස් වූ ගන්ධයට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්.

ඒත් මේ සීනි සම්බෝලය නිසා රාබු නොකන අයත් කැමැත්තෙන් මෙය රස විඳින බවට නම් සහතිකයි. මේ රසවත් රාබු සීනි සම්බෝලය අවුරුදු සමයේ නෑ හිත මිතුරන් සමඟින් එකතුවන ආහාර වේලක් රසවත් කිරීමටත් හොඳින් ම ගැළපෙයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

ලොකු රාබු අල 3-4 ක්

බී ලූනු ගෙඩි 2-3 ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක් හෝ

කුරුඳු කුඩු ස්වල්පයක්

අමු මිරිස් කරල් 3-4 ක්

එනසල් හා කරාබුනැටි 4-5ක්

සාදික්කා කුඩා කැබැල්ලක්

උම්බලකඩ ග්‍රෑම් 50 ක්

කැබැලි මිරිස් ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සීනි ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

රස අනුව ලුණු

අඹරාගත් ඉඟුරු, සුදු ලූනු මේස හැන්දක්

සියඹලා යුෂ ස්වල්පයක්

 

දැන් මෙය හදමු,

පළමුවෙන් ම සුද්දකර සෝදා ගත් රාබු අල ලූනු කපන ප්‍රමාණයට සිහින් තීරුවලට කපා ලුණු දැමූ වතුරේ විනාඩි පහක් පමණ වේලාවක් තබා වතුර මිරිකා ගන්න. ඉන්පසුව තෙලෙන් ලූනු බදින ආකාරයට රාබු ටික කරනොවන සේ හොඳින් බැදගන්න. කපා ගත් බීලූනු ද මෙලෙසින් ම බැදගන්න. දැන් රම්පෙ, කරපිංචා හා අමු මිරිස් ද බැදගන්න.

එනසල්, කරාබුනැටි, සාදික්කා හොඳින් කුඩු කරගන්න. බඳුනකට තෙල් මේස හැඳි 2 ක් පමණ දමා රත්වන විට අඹරා ගත් ඉඟුරු සුදු ලූනු දමා එහි පාට වෙනස්වේගෙන එනවිට එයට උම්බලකඩ දමා බැදෙන්නට හරින්න. එය බැදෙන විට කුඩුකරගත් එනසල්, කරාබුනැටි, සාදික්කා ද එයට එකතු කරන්න. මේ මිශ්‍රණය හැන්දෙන් මිශ්‍ර කරමින් කලින් බැදගත් රාබු, ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු ආදිය එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙහි මැද කුඩා වළක් ආකාරයට මැදින් මිශ්‍රණය එහා මෙහා කොට කෑලි මිරිස් කුඩු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා බැදෙන්නට හැර මිශ්‍ර කරන්න. මෙයට සියඹලා ද එක්කරන්න. සීනි හා රස අනුව ලුණු ද එකතු කරන්න. දැන් තවත් විනාඩියක පමණ වේලාවක් තබා ළිප නිවා දෙහි ගෙඩි භාගයක පමණ යුෂ එකතු කරන්න.

ඉදිරිපත් කිරීම

තනුජා දිල්හානි

(Tharunie)