Friday, October 18, 2024
Follow Us
කජු නාඹරවලින් හදන බැදුම

වසර පුරාවට වියළි කජු ආහාරයට ගන්නා අපට කිරි රසයෙන් අනූන නාඹර කජු ටිකක් කන්නට ලැබෙන කාලයයි මේ. රතට රතේ දිලෙන කජු පුහුලන්වලින් ගස් බරවන නිසාම අවුරුදු කෑම මේසයට කජු ව්‍යංජනයක් නම් තියෙන්නටම ඕනේ.

ඉතින් හැමදාමත් කිරට හදන කජු ව්‍යංජනයක් වෙනුවට අද අපි කජු නාඹර බැදුමක් හදමු.

හැබැයි ඉතින් අමු කජු හොයාගන්න විදිහක් නෑ කියලා දුක් වෙන්න එපා. වියළි කජු රැයක් පෙඟෙන්නට තබා තම්බා මේ විදිහට සකසා ගන්නත් පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* තම්බාගත් කජු ග්‍රෑම් 250 ක්

* සිහින්ව ලියාගත් රටලූනු ගෙඩියක්

* උම්බලකඩ මේස හැඳි 2 ක්

* කෑලි මිරිස් මේස හැඳි 1 ක්

* රස අනුව ලුණු

* රම්පේ සහ කරපිංචා ස්වල්පයක්

* අවශ්‍ය පමණට පොල්තෙල්

 

සාදන්නේ මෙහෙමයි

පළමුවෙන්ම කජු ටික තම්බා පසෙකින් තබන්න. මෙහිදී අමු කජු නම් එතරම් වේලාවක් තැම්බීමට අවශ්‍ය නොවන අතර වියළි කජු නම් රැයක් පෙඟෙන්නට තබා තරමක් වේලා තම්බා ගන්න.

දැන් පිරිසිදු බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමන්න.

තෙල් රත්වීගෙන එන විට එයට රම්පේ සහ කරපිංචා එකතු කරන්න.

අනතුරුව සිහින්ව ලියාගත් රටලූනු ගෙඩියක් දමා බැදෙන්නට හරින්න.

ලූනු බැදීගෙන එන විට උම්බලකඩ, කෑලි මිරිස් සහ තම්බාගත් කජු ටිකද දමන්න.

රස අනුව ලුණු මිශ්‍ර කරන්න.

කජු ටික නොකැඩෙන සේ පරෙස්සමට හැඳි මිටෙන් පමණක් එහා මෙහා කරමින් මඳ ගින්නේ තරමක් වේලා පිස ළිපෙන් බාගන්න.


(Tharunie)