Thursday, April 25, 2024
Follow Us
වෙනස්ම රසයකට වම්බටු මෝජු

අච්චාරු වාගේම මෝජු කියන්නෙත් දානයකට, මඟුල් ගෙදරකට නැතිවම බැරි ව්‍යංජනයකි. විශේෂ කෑම වේලක් නම් රසවත් බටු මෝජුවක් වරදින්නෙම නෑ.

ඒවාගේම තමයි දින කිහිපයක් තබාගෙන ආහාරයට ගන්නත් පුළුවනි.එහෙම නම් දුන්තෙල් බතට ගැළපෙන වම්බටු මෝජුවකුත් හදමු නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

* වම්බටු ග්‍රෑම් 500 ක්

* ශුද්ධ කළ වියළි හාල්මැස්සන් ග්‍රෑම් 50 ක්

* රතුලූනු ග්‍රෑම් 100 ක්

* අමු මිරිස් ග්‍රෑම් 100 ක්

* පුරවාගත් අබ මේස හැන්දක්

* අඹරාගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 01 ක්

* ගම්මිරිස් සහ කහ ස්වල්පයක්

* අවශ්‍ය පමණට පොල්තෙල්

* රස අනුව ලුණු

* සීනි ස්වල්පයක්

 

සාදන්නේ මෙහෙමයි

සෝදාගත් වම්බටු සිහින් තීරු ආකාරයට කපා කහ සහ ලුණු ටිකක් අතගා ගැඹුරු තෙලේ බදින්න. අනතුරුව තෙල් බේරෙන්නට පසෙකින් තබන්න. සෝදාගත් හාල්මැස්සන් ටික ද මෙලෙසම බැද පසෙකින් තබන්න.

රතුලූනු සහ අමු මිරිස් ද යන්තමට බැදගන්න.

දැන් මැටි බඳුනක් ළිප තබා එයට පොල්තෙල් මේස හැදි දෙකක් පමණ දමන්න. තෙල් රත්වීගෙන එන විට අබ ටික පිපිරෙන්නට දමන්න. අඹරාගත් ඉඟුරු, සුදුලූනු ටික ද දමන්න. එයටම කහ, ගම්මිරිස්, විනාකිරි එකතුකරන්න.යාන්තමට බැදගත් ලූනු සහ අමු මිරිස් ටිකද දමන්න. රස බලා සීනි සහ ලුණු ද එකතු කරන්න. දැන් ළිපෙන් බා බැදගත් බටු සහ හාල්මැස්සන් ටිකද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙය ද වියළි හැන්දක් භාවිතා කළහොත් කිහිප දිනක් කල්තබාගෙන භාවිතයට ගත හැකි ආහාරයකි.

(Tharunie)