Tuesday, April 23, 2024
Follow Us
අවුරුදු මේසයට නැතිවම බැරි මාළු ඇඹුල්තියල්

අවුරුදු කෑම මේසය කියන්නේ උත්සව ශ්‍රීයෙන් අනූන විශේෂ ආහාර වේලක්. ඉතිං ඒවාගේ අවස්ථාවකට නම් මස්, මාළු තරමක් වෙනස් ආකාරයට පිසින්නයි අපේ ගෘහණිය කැමැති.

හැබැයි අපේ දුන්තෙල් බතට ගැළපෙන්නේ නම් මේ විදිහට හදන අපූරු ඇඹුල්තියලක්ම තමා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* තලපත් හෝ කෙලවල්ලා මාළු

කිලෝ ග්‍රෑම් 01 ක්

* ගොරකා ග්‍රෑම් 100 ක්

* කුරුඳු පොතු කැබැල්ලක්

* තළාගත් ඉඟුරු කැබැල්ලක්

* සුදුලූනු බික් 05 ක්

* ගම්මිරිස් මේස හැඳි 02 ක්

* රම්පේ සහ කරපිංචා

* අවශ්‍ය පමණට ලුණු

* සපයා ගත හැකිනම්

කුරුඳු කොළ ටිකක්

 

සාදන්නේ මෙහෙමයි

සෝදා කපාගත් මාළු ටික මැටි බඳුනකට දමන්න. (මේ සඳහා ඇතැම් අය නැවුම් මැටි බඳුන්ද යොදා ගනිති)

ගොරකා කැබලි ටික උණු වතුරේ පොඟවා සිහින්ව අඹරා ගන්න. නැතිනම් අඹරාගත් ගොරකා වෙළෙඳපොළෙන් මිළදී ගත හැකියි.

ඉඟුරු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ගම්මිරිස් සහ ලුණු මේ සියල්ලද හොඳින් අඹරා ගන්න. මාළු ඇඹුල්තියල් සඳහා මිරිස් කුඩු භාවිතා නොකරයි. නමුත් තරමක් සැරට කන්න කැමැති අයට මිරිස් කුඩු තේ හැන්දක් පමණ මෙයට එකතු කරගත හැකියි.

දැන් සෝදාගත් මාළු ටිකට අඹරාගත් ගොරකා සහ අනෙක් මිශ්‍රණය මිශ්‍ර කරන්න. මෙහිදී මාළු කැබලි නොතැලෙන ලෙස සෑම කැබැල්ලකම මිශ්‍රණය තැවරෙන සේ අතගාන්නට වගබලාගන්න.

දැන් මැටි බඳුනක් ගෙන කුරුඳු කොළ අතුරා ගන්න.

අනතුරුව මිශ්‍රණය තවරාගත් මාළු ටික ඒ මත අසුරන්න. බඳුනේ තැවරුණු මිශ්‍රණය වතුර කෝප්ප භාගයක් පමණ දමා සෝදා එය මාළු මිශ්‍රණය මත්තට වත්කර මඳක් සොලවන්න.

මඳ ගින්නේ ඉදෙන්නට හරින්න.

වරින් වර හැඳිගානවා වෙනුවට බඳුන සොලවමින් පිසගන්න.

(Tharunie)