Friday, March 29, 2024
Follow Us
සාම්ප්‍රදායික අච්චාරුව

අපේ කමට කෑම වේලක් පිළියෙල කරන විට නැතිවම බැරි ආහාරයක් තමයි අච්චාරු. ගස්ලබු, ලූනු, අමු මිරිස් එක්ක අබ සහ විනාකිරි තැවරිලා නැඟෙන සුවඳ කෑමට පුදුමාකාර රුචියක් ඇතිකරවනවා.

ඉතින් මේ අවුරුදු මේසයට අච්චාරු නැතිව කොහොමද? මෙහි තිබෙන විශේෂත්වය තමයි ගස්ලබු, රතුලූනු ආදියට අමතරව කැරට්, බෝංචි ආදියත් මිශ්‍රකර තිබීම. එනිසා රස නම් තවත් වැඩියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* රතුලූනු ග්‍රෑම් 250 ක්

* අමු මිරිස් ග්‍රෑම් 150 ක්

* තරමක ප්‍රමාණයේ අමු ගස්ලබු ගෙඩියක්

* කැරට් ග්‍රෑම් 100 ක්

* බෝංචි ග්‍රෑම් 100 ක්

* අබ ග්‍රෑම් 50 ක්

* විනාකිරි බෝතල් 1/4 ක් පමණ

* ගම්මිරිස් ස්වල්පයක්

* කහ ස්වල්පයක්

* රස අනුව ලුණු

 

සාදන්නේ මෙහෙමයි

ගස්ලබු ගෙඩිය පොතුහැර ගිනිකුරු හැඩයට

සිහින්ව කපාගන්න.

කැරට් සහ බෝංචි ටිකත් සෝදා මේ ආකාරයටම කපන්න.

රතුලූනු පොතුහැර පසෙකින් තබාගන්න.

දැන් වතුර බඳුනක් ළිප තබන්න.

වතුර නටන විට ලුණු සහ කහ ස්වල්පයක් දමන්න.

අනතුරුව රතුලූනු ටික දමා විනාඩියකින් පමණ පිටතට ගෙන වතුර බේරෙන්නට තබන්න.

ගස්ලබු, කැරට් සහ බෝංචි මේ ආකාරයට උණු ජලයට දමා පිටතට ගන්න. (උණු ගස්වා ගන්න) අවසානයට අමුමිරිස් ද නැටි පිටින්ම මෙලෙස ජලයට දමා ඉවතට ගෙන කරල වෙන් නොවන සේ දෙකට පලාගන්න.

දැන් අබ සහ ගම්මිරිස් විනාකිරෙන් අඹරා ගන්න. වියළි මැටි බඳුනක් ගෙන එයට අඹරාගත් අබ ගුලිය තවත් විනාකිරි ටිකක් ද දමා දියාරු මිශ්‍රණයක් සකසා ගන්න.

ඉන්පසුව උණු ජලයට දමා දිය බේරෙන්නට පසෙක තැබූ ගස්ලබු, රතුලූනු. කැරට්, බෝංචි සහ අමු මිරිස් සියල්ලම එකට දමන්න.

හොඳින් මිශ්‍රකර රස බලා ලුණු අවශ්‍ය නම් එකතු කරන්න.

මැටි බඳුනේ කට කෙසෙල් කොළයකින් හෝ කඩදාසියකින් වසා දිනක් පමණ පදමට එනතෙක් තබන්න.

වියළි පොල්කටු හැන්දක් භාවිතා කළහොත් දින කිහිපයක්ම තබාගෙන රස විඳිය හැකියි.

(Tharunie)