Saturday, April 20, 2024
Follow Us
අතීතයේ සිට අවුරුදු දා හැදෙන හත් මාළුව

අවුරුද්දට පිසින ආහාර අතර අනිවාර්යයෙන්ම තියෙන ව්‍යංජනයක් තමයි හත්මාළුව. ඇතැම් ප්‍රදේශවල නැකතට පිසින අවුරුදු කිරිබත රසවිඳින්නේද මේ හත්මාළුව සමඟයි.

පළාතෙන් පළාතට හත්මාළුවට මිශ්‍රකරන අමුද්‍රව්‍ය තරමක් වෙනස්. ඒ වුණත් ඔබට සපයාගත හැකි දේවල් මිශ්‍රකරලා රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් උසස් හත්මාළුවක් පිසගන්න පුළුවනි. එහෙනම් හදලම බලමුකො.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* වට්ටක්කා දලු ග්‍රෑම් 100 ක්

* අළු කෙසෙල් ගෙඩි 2 ක්

හෝ 3 ක්

* කජු ග්‍රෑම් 100 ක් (අමු කජුනම්

වඩාත් හොඳයි)

* මෑකරල් හෝ බෝංචි

ග්‍රෑම් 50 ක්

* කොස් ඇට කිහිපයක්

* රටල අල කිහිපයක් නැතිනම්

අර්තාපල් ගෙඩියක්

* වම්බටු කරලක් හෝ දෙකක්

* තුනපහ කුඩු මේස හැඳි එකක්

* මිරිස් කුඩු මේස හැදි දෙකක්

* කහ ස්වල්පයක්

* රතුලූනු ගෙඩි කිහිපයක්

* අමු මිරිස් කරල් 3 ක්

* රම්පේ, කරපිංචා

* මිටිකිරි අඬුකෝප්ප දෙකක්

* රස අනුව ලුණු

* පොල්තෙල් ස්වල්පයක්

 

සාදන්නේ මෙහෙමයි

කොස් ඇට පොතු හැර තලා හෝ සිහින්ව කපාගන්න.

රටල හෝ අර්තාපල් ගෙඩියද පොතුහැර කපාගන්න.

දැන් මේ විදිහට කපාගත් කොස් ඇට, අල හෝ රටල, කජු බඳුනකට දමා තරමක් තැම්බෙන්නට හරින්න.

මෑ කරල්, වම්බටු, අළු කෙසෙල්, වට්ටක්කා දළු ආදී එළවළු සියල්ල සෝදා තරමක කැබලි කපාගන්න.

පිරිසිදු මැටි බඳුනක් ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමන්න.

තෙල් රත්වීගෙන එන විට එයට රම්පේ, කරපිංචා, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් ආදිය දමන්න.

ඒවා බැදීගෙන එන විට කපාගත් එළවළු සහ මඳක් තම්බාගත් කොස් ඇට, රටල සහ කජු ටිකද දමන්න.

මිරිස් කුඩු, කහ, තුනපහ සහ රස අනුව ලුණු ද එකතු කරන්න.

ඉන්පසු මිටිකිරි ද මේ ව්‍යංජනයට දමා ඉස්ම හිඳෙනතෙක් මඳ ගින්දරේ පිසගන්න.


(Tharunie)