Friday, March 29, 2024
Follow Us
රසට කන්න දුන්තෙල් බත

දූ දරුවන් හැමෝම එකට එකතුවෙලා භුක්තිබිඳින අවුරුදු කෑම මේසයේ ප්‍රධානියා තමයි බත. ඉතිං හැමදාමත් ආහාරයට ගන්නා සාමාන්‍ය බත වෙනුවට අද අපි තරමක් වෙනස් බතක් සකසා ගනිමු. බලන්න මේ විදිහට හදාගන්න දුන්තෙල් බතට අනෙක් අය දක්වන ප්‍රතිචාර කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය-

* කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක්

* දුන්තෙල් ග්‍රෑම් 50 ක්

* කරදමුංගු ස්වල්පයක්

* කරාබු නැටි 05 ක් පමණ

* ගම්මිරිස් ඇට ස්වල්පයක්

* සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක්

* රස අනුව ලුණු

* රම්පේ සහ කරපිංචා

බත සැරසීමට

* බැදගත් කුඩා කජු කැබලි ස්වල්පයක්

* වියළි මිදි ටිකක්

 

සාදා ගන්නේ මෙහෙමයි

සහල් ටික හොඳින් සෝදා දියබේරෙන්නට පසෙකින් තබන්න. ඉන්පසුව පිරිසුදු බඳුනක් ගෙන ළිප තබා දුන්තෙල් ටික දමන්න. දුන්තෙල් රත්වීගෙන එන විට රම්පේ, කරපිංචා එකතු කරන්න. එයටම ලියාගත් ලූනු ගෙඩියක් එකතුකර හොඳින් බැදෙන්නට හරින්න. අනතුරුව කරදමුංගු, කරාබුනැටි සහ ගම්මිරිස් ටික ද දමන්න.

මේ සියල්ලම රන්වන් පැහැ වන විට සෝදා පසෙකින් තැබූ සහල් ටික දමා තරමක් බැදෙන්නට හරින්න. සහල් ඇට පුපුරමින් බැදෙන විට අවශ්‍ය පමණට ජලය එකතු කරන්න. ලස්සන කහ පැහැයක් ගැනීමට කැමැති නම් කහ ස්වල්පයක් ද මිශ්‍ර කර මඳ ගින්නේ බත පිසෙන්නට හරින්න.පිසගත් බත මේසයට යවන විට බැදගත් කජු සහ වියළි මිදිවලින් සරසා මේසයට යවන්න.

(Tharunie)