Thursday, April 18, 2024
Follow Us
 ආස්මි

අවශ්‍ය ද්‍රව්‍ය

තද ගතියෙන් යුතු සුදු කැකුළු හාල්

ග්‍රෑම් 500 ක්

පොල් ගෙඩියක මිටි කිරි

ලුණු තේ හැන්දක්

දවුල් කුරුඳුවලින් සාදාගත් නානු

අඬු කෝප්ප ½ ක්

පැණි මිශ්‍රණය සඳහා සීනි ග්‍රෑම් 100 ක්

පිරිසුදු පොල්තෙල්

 

පිළියෙල කරන අන්දම

සුදු කැකුළු හාල් ගරා සෝදා විනාඩි 5 - 10 ක් පෙඟෙන්නට අරින්න. වැඩි වේලාවක් පෙඟෙන්න දෙන්න එපා. දැන් හාල්වල වතුර පෙරා රෙදි කැබැල්ලක් හෝ කඩදාසියක් මත අතුරා ටික වේලාවක් තබන්න වතුර හිඳුණු පසු හාල් ටික වංගෙඩියේ හෝ බ්ලෙන්ඩරයේ කොටා ගන්නට පුළුවනි.

වෙනත් රසකැවිලි හදනවා වගේ නෙවෙයි ආස්මි හදන අවස්ථාවේ පිටි හලා ගැනීමත් වෙනස් ක්‍රමයකටයි කරන්න ඕනෑ. මුලින්ම කොටා ගත් සහල් ටික සාමාන්‍ය පෙනේරයකින් හලාගන්න ඕනැ. ඊට පසුව ඒ හලාගත් පිටි ඕගන්දි වැනි රෙදි කැබැල්ලකින් සකසාගත් පෙනේරයකින් හලා ගන්න ඕනෑ. මේ ක්‍රමයට හලාගත් පසු ඉතාම සියුම් ලෙස පිටි ටික හලා ගන්නට පුළුවනි.

සියුම්ව හලාගත් පිටිවලට පොල් කිරි හා ලුණු එක්කර රොටී පදමට අනාගන්න. මේ පිටි මිශ්‍රණයට නානු එක්කරන්න. ඇඟිලිවලින් පිටි මිශ්‍රණය තවරා උඩට ඉස්සූ විට නූලක් මෙන් කැඩෙන්නේ නැතිව වැටනවා නම් පිටි මිශ්‍රණයේ පදම හරි.

ආස්මිවලට නානු මිශ්‍රණය සාදා ගන්නේ කොහොමද?

මුලින් ම දවුල් කුරුඳු මෝරපු කොළ ටිකක් කඩාගෙන අතින් හොඳට පොඩිකරගන්න. මෙයට මිටිකිරි ටිකක් එකතු කර නැවත අතින් පොඩිකරගන්න. දැන් මේ නානු ටික ඕගන්දි වැනි රෙදි කෑල්ලකින් පෙරාගෙන පිටි මිශ්‍රණයට එකතු කරන්න පුළුවන්.

දවුල් කුරුඳු කොළ ටික බ්ලෙන්ඩර් කරන්න බැරි ඇයි? කොළ සිහින්ව කුඩු වූ විට ආස්මිවල වර්ණය සුදු බව අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා අතින් කඩා ඉස්ම ටික ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. දවුල් කුරුඳු හොයා ගන්න අපහසු නම් ළපටි බණ්ඩක්කා කරල් ටිකක් පොඩිකර නානු සාදාගන්නත් පුළුවන්.

ආස්මි ටික බැදගන්නේ කොහොමද?

සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් අරගෙන එයට හොඳ ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් තාච්චියෙන් ¾ ක ප්‍රමාණයට දමන්න. තාච්චිය දරළිපේ හදනවා නම් තෙල් ටික එකම ප්‍රමාණයට රත්වෙන්න ගින්දර පාලනය කරගන්න ඕනෑ. ගෑස් ළිපක නම් අපට එකම ප්‍රමාණයට උෂ්ණත්වය ලබා දෙන්න පුළුවන්. ආස්මි හදන්නම හදපු පොල් කටු හැඳි තිබෙනවා. මේවා ලොකු පොල්කටුවක මැදින් තරමක ප්‍රමාණයේ සිදුරු 20 - 25 ප්‍රමාණයක් විදලා හදලා තියෙන්නේ. මේ පොල් කටු හැන්දට පිටි මිශ්‍රණය දමා රත්වූ තෙලට පිටි මිශ්‍රණය වැටෙන අයුරින් ඉක්මනින් හැන්ද රවුමට ගෙනයන්න. ආස්මියට ප්‍රමාණවත් තරමට පිටි වත්කර එහි මැදට තෙල් හැන්ද තබා තදකර ලී කුරකින් දෙකට නමන්න. ආස්මියේ එක් පැත්තක් බැදුනාට පසුව අනෙක් පැත්ත හරවා බැදගෙන වට්ටියකට දමන්න.

මේ අයුරින් සාදාගත් ආස්මී තෙල් බේරුණු පසු මුට්ටියක තබා දින කිහිපයක් ගිය පසු නැවත රත්වූ තෙල්වලින් බැද රටාවකට පැණි වත්කර කෑමට ගන්න පුළුවනි.

පැණි මිශ්‍රණය සාදා ගන්නේ කොහොමද?

සීනි ග්‍රෑම් 100 ක් පමණ ගෙන එයට වතුර ටිකක් දමා ළිප තබා උකුවනතුරු උණු කරගන්න. මේ පැණි මිශ්‍රණයට ඔබට කැමැති පාටකින් ආහාර වර්ණක බිංදු කිහිපයක් එකතු කරගන්නට පුළුවනි.

සීනි ටිකක් බඳුනකට දමා කර කරගෙන පැණි පාට වූ පසු වතුර දමා ඉතිරි සීනි එක්කර පැණිපාටට සීනි උණුකර රටාවකට වත්කර ගන්නට පුළුවනි.

ආස්මි දෙවැනි වර බදින්නට පෙර මාස 2 - 3 ක් මැටි බඳුනක දමා කඩවැස්මක් බැඳ තබාගන්නට පුළුවනි. දෙවැනි වර බදින දිනයට පෙර දිනයේ තෙත රෙදි කඩකින් ඔතා පොඟවා දෙවැනි වර බදින්න පුළුවනි. ඉන්පසු පොලිතින් ඇසුරුමක ආරක්ෂිත ලෙස අසුරා තැබිය යුතුයි.

(Tharunie)