Tuesday, May 21, 2024
Follow Us
යෝගට් පෑන් කේක්

මොන තරම් රසවත් වුවත් එකම කෑම බීම ආහාර රුචිය අඩු කිරීමට හේතුවක්. ඒ නිසා වෙනස් රසයන්ට වෙනස් වර්ගයේ කෑම බීම සැකසීමෙන් පවුලේ සාමාජිකයන්ගේ ආහාර රුචිය වැඩි කරන්නට ඔබට පුළුවන්. මේ එලෙසින් වෙනස් රසයන්ගෙන් රස විඳිය හැකි කෑම වට්ටෝරු දෙකකි.

රසවත් බව නිසාම බොහෝ දෙනෙක් කැමැති පෑන් කේක් තරමක වෙනසක් සිදුකර සකසා ඇත.

මේ යෝගට් පෑන් කේක් ඔබේ දිවගට වෙනස් රසයක් ගෙන දීමට සමත් වේවි.

මේ සඳහා

අවශ්‍ය වන්නේ:

පිටි ග්‍රෑම් 150 ක්

යෝගට් ග්‍රෑම් 100 ක්

බිත්තරයක්

කිරි ටිකක්

බේකිං පවුඩර් ස්වල්පයක්

ලුණු රස අනුව

මේපල් සිරප්

(තිබෙනවා නම්)

දැන් අපි පෑන් කේක් හදමු:

මෙය සෑදීම සඳහා පාන් පිටි මෙන්ම ආටා පිටි ද යොදා ගත හැකියි. ආටා පිටි යොදා ගැනීමෙන් වැඩි පෝෂණීය බවක් ඇතිකර ගත හැකියි.

පිටිවලට යෝගට්, බිත්තරය, ලුණු ස්වල්පයක්, මේපල් සිරප්, බේකිං පවුඩර් ස්වල්පයක් යන සියල්ල දමා මිශ්‍ර කරන්න. මෙයට කිරි ස්වල්පය බැගින් එකතු කරමින් කැටි නොගැසෙන සේ මිශ්‍ර කරන්න. සාමාන්‍ය උකු මිශ්‍රණයක් එන සේ මෙය සකසා ගත යුතුයි. දැන් විනාඩි දහයක පමණ කාලයක් මෙය වසා පැත්තකින් තබන්න.

ඉන් පසුව පෑන් එකක් ළිප තබා මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමමින් පෑන් කේක් සාදා ගන්න. පැණි සමඟ හෝ ඔබ කැමැති ලෙසින් මෙය ආහාරයට ගත හැකියි. රසය වගේම ගුණයෙන් ද ඉහළ මේ ආහාරය පවුලේ පෝෂණීය වෙනසකට හොඳින් ම ගැළපෙයි.

 

ඉදිරිපත් කිරීම:

නදී ධම්මිකා ගුණවර්ධන

**********************

 

 

බීට්රූට් කිරිටොෆී

 

බීට්රූට් රතු පැහැයෙන් බබළන බත් පතේ වර්ණවත් බව වැඩි කිරීමට සමත් එළවළුවක්. කුඩා දරුවන් වැඩි වශයෙන් බීට්රූට් කෑමට කැමැත්තක් දක්වන්නේ ද මේ වර්ණවත් බව නිසයි.

මේ බීට්රූට් කිරිටොෆීවලට දැකුම්කළු වර්ණයක් එක් වී ඇත්තේ ද එහි ඇති ස්වභාවික වර්ණකාරකය නිසයි. දිව මෙන්ම ඇස ද පිනවීමට සමත් මේ බීට්රූට් කිරිටොෆී සාදන්නේ කෙසේදැයි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

බීට්රූට් ග්‍රෑම් 300 ක් පමණ

ටින්කිරි ටින් 1ක්

වතුර මිලි ලීටර් 100 ක්

සීනි ග්‍රෑම් 100 ක්

කජු ග්‍රෑම් 60 ක්

වියළි පොල් ග්‍රෑම් 50 ක්

බටර් ග්‍රෑම් 30 ක්

එනසාල්, කරුඳු කුඩු

අවශ්‍ය පමණට

එය සාදන්නේ මෙලෙසයි:

පළමුවෙන් ම බීට්රූට් පවිත්‍රකර පොතු ඉවත්කර අමුවෙන් ම ග්‍රේට් කරගන්න. ඉන්පසුව බීට් ළිප තබා එයට බටර් ද දමා බීට්වල වතුර ඉවත්වන තෙක් මලවා ගන්න.

ටින්කිරි, එකට සීනි දමා ටින්කිරි ටින් එකෙන් ම වතුර මැන එයට මිශ්‍රණයට එකතුකර මෙය ළිප තබා හැඳිගාන්න. මෙයට එනසාල් හා කුරුඳු කුඩු ස්වල්පයක් ද එකතුකර කිරිටොෆි හැඳිගාන ආකාරයට හැඳිගාන්න. මෙය මඳ ගින්නේ පිස ගැනීමට මතක තබා ගන්න.

මිශ්‍රණය ඝන වන විට පොල් සහ කජු දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය බටර් ආලේප කළ තැටියකට දමා තුනී කරන්න. මෙය මඳක් නිවීගෙන එන විට කැබැලිවලට කපා ගන්න. මෙය තරමක් අඩු ඝනත්වයක් ඇති සේ ළිපෙන් බාගත් විට අග්ගලා ලෙස බෝල ද සැකසිය හැකියි.

බලන්න මේ රසවත් බීට්රූට් කිරිටොෆි ඔබේ තේ මේසයටත් කදිමට ගැළපේවි.

ඉදිරිපත් කිරීම: ඩුබායි හි වෙසෙන සූපවේදී ධනුෂ්ක රත්නායක

(Tharuni)