Saturday, April 27, 2024
Follow Us
හැඩට වැඩට යන්න හෝල්ටර් නෙක් ගවුමක්

අඩුපාඩුවකින් තොරව ඇඳුමක් මසන්නට ඉගෙන ගැනීම කොතරම් වටිනවාද? ලොකු ආර්ථික සටනක යෙදෙන අද කාලේ එහි අගය නිමක් නැහැ. මේ අත්වැල ආදරණීය ඔබටම ඔබේ ඇඳුම මසා ගැනීම උදෙසායි.

කාර්යාලයට යන, පුංචි සාදයකට සහභාගී වෙන්න වගේම ළඟදී මනාලියක වන්නට සිටින ඔබට ප්‍රී ෂූට් විලාසිතාවක් ලෙසින් මේ ගවුමෙන් හැඩ විය හැකියි.

මේ හෝල්ටර් නෙක් ගවුමකි. කැමැති රෙදි වර්ගයකින් ඔබත් මසාගෙන හැඩට අඳින්න.

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 15 1/2

* කරවට = අඟල් 13

* පපුව දක්වා උස = අඟල් 10

* ඉණ දක්වා උස = අඟල් 16

* පපුව වට = අඟල් 34

* ඉණ වට = අඟල් 28

* ඔපනැලි අතර පළල = අඟල් 7

මිමි ගැනීම

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කරේ සිට අත් කටට අත් කට හැඩය අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම් වාසි තබාගන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න.

පසුපස

පසුපස සඳහා බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව පසුපස උරහිස අඟල් 1ක් වැඩිකර ගන්න. කර ගැඹුර අඟල් 1 1/2ක් පමණ පහත්කර කපාගන්න.

ෆ්ලෙයාඩ් සාය

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණ වට ප්‍රමාණය 3න් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න.

මැසීම

ඩාට් මසන්න.

උරහිස මසන්න.

කරට බයස්පටියක් අල්ලා ගන්න.

අත්කට පයිපින් හෝ පේෂීන් කරන්න.

අංශය මසන්න.

ඉණට සාය අල්ලාගන්න.