Saturday, April 27, 2024
Follow Us

තෝඩු දෙන්නෙ උරුමක්කාරයොලු. හැමෝම කියන්නෙ එහෙමයි. ඇත්ත, මුලින්ම කන් විද්ද දවසෙ ඉඳන් මේ වෙනකම් මට තෝඩු අරන් දුන්නෙ මේ ලෝකෙ මට ඉන්න සැබෑම උරුමක්කාරයො දෙන්නා.

ඉතින් කොහොමද කියන්නෙ තෝඩු දෙන්නෙ උරුමක්කාරයො නෙවෙයි කියලා. ඒ නිසා මට මෙතෙක් කල් තෝඩු දීපු මගේ උරුමක්කාරිට මං හිතුවා පුංචි තෝඩු දෙකක් තිළිණ කරන්න. මේ ලබන්නේ අම්මගේ 50 වැනි උපන් දිනය. ඒ නිසා මගේ දෑතින්ම මගේ අම්මට රෙසින් තෝඩු දෙකක් නිර්මාණය කරන්නයි මේ සූදානම.

සති කිහිපයක්ම රෙසින් නිර්මාණ ගැන කතා කළ නිසා දැන් බොහෝ දෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත් ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුලු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

තෝඩු නිර්මාණය කිරීමට වෙනම ජුවලරි මෝල්ඩ් තිබෙනවා. ඉතින් ඔබ කැමැති වර්ගයේ මෝල්ඩ් එකක් ඒ සඳහා තෝරා ගන්න පුළුවන්. අපි ඒ සඳහා තෝරගෙන තියෙන්නේ කොටු හැඩයේ මෝල්ඩ් එකක්. මෙය ටසල් එකක ආකාරයෙන් එල්ලෙන තෝඩු දෙකක් ආකාරයටයි නිර්මාණය කරගන්නේ.

රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. මෙය නිර්මාණය කිරීමට අප භාවිත කරන්නේ කලු පැහැ වර්ණයයි. ඉහත සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් කප් එකකට දමා කළු පැහැ මයිකා පවුඩර් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු කලු පැහැ වර්ණකය ජුවලරි මෝල්ඩ් එකට එක් කරන්න. එය වියළී ඇලෙන මට්ටමට එන විට රූපයේ දැක්වෙන පරිදි ගෝල්ඩ් වර්ණ ස්ටෝන් කැබලි අලවා ගන්න. එයත් හොඳින් වියැළුණාට පසු විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් උඩින් දමා ගන්න.

මෙය පැය 12ක් පමණ හොඳින් වියැළෙන්නට තබා මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. ගලවා ගත් තෝඩුවේ සිදුර තුළින් ගෝල්ඩ් පැහැ රින්ග් එකක් යවා කරාඹු නිර්මාණය කිරීමට භාවිත කරන කොක්කක් සම්බන්ධ කරන්න. මේ ආකාරයට අනෙක් තෝඩුවත් නිර්මාණයකර ගන්න. මේ තෝඩු දෙකට අමතරව ඊටම ගැළපෙන පෙන්ඩනයක්ද මේ මෝල්ඩ් එකෙන්ම සැකසිය හැකි නිසා රූපයේ දැක්වෙන පරිදි පෙන්ඩනයක් ද සකසා ගත හැකිය.

කොටු හැඩැති තෝඩු පමණක් නොව මේ විදිහේ රවුම්, ත්‍රිකෝණ, මල්, සමනලුන්, තරු වැනි ඕනෑම හැඩයකින් තෝඩු නිර්මාණයකර ගන්න පුළුවන්.

මෙවැනි තෝඩු සැකසීමේදී තමන්ගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් විවිධ ආකාරයෙන් තව තවත් අලංකාරකර ගන්නත් පුළුවන්.

 

-Tharunie