Wednesday, November 05, 2025
Follow Us
Political

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධුරයෙහි දිවුරුම් දුන්නේය.

Political

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරපාල ද සිල්වා මහතා, සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා යන අමාත්‍යවරු කමිටු සාමාජිකයෝ වෙති.

එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය විය.
එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියළුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාමර අංක 08හි පවත්වන්නට කටයුතු සංවිධානය කෙරුණි.
එම සාකච්ඡාවේ දී අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් ගේ අදහස් හා යෝජනා හුවමාරු කරගන්නා ලදි. එහෙත් එම සාකච්ඡාවේ දී ඔවුන් විසින් ඉල්ලා සිටියේ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත්, කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟ විය. අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසන ලද්දේ පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බවයි.

Political

බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයින් වශයෙන් බඳවා ගත් අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුහුණුව ලැබු සේවකයින් සදහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Political

මුල්ලේරියාව නැගෙනහිර කොලඹ මූලික රෝහලේ සිට පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ යටතේ ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නව බස් රථ ධාවනයට එක් කිරීම සිදුවිය.

Political

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Political

සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Political

රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිඟ ගාස්තුව රු. මිලියන 265.50 ක් බව වාර්තා වී තිබේ.

කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමඟ ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී (කෝපා) අනාවරණය විය.


මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.


මෙහි දී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බව ද අනාවරණය විය.
මෙහි දී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනා ගැණුනි.


මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.
පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබාදී ඇති බවයි.

Political

රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු මහජන සේවාවන් වෙනුවෙන් සිදු වු ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇති බවත් එම ඉතිහාසය ගැන කිසිදු කරුණක් නොදන්නා ඇතැම් පිරිස් නිකරුණේ පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Political

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Political

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Political

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එහි දී, නව අදහස් ලබාගෙන අලුත් කම්කරු නීතියක් ඉදිරිපත් කිරීමට කටයුතු ක‍රන බවත්, සේවා ස්ථානය තුළ වෙනස්කොට සැලකීම වැලැක්වීමට නීති ගෙන ඒමටත් කටයුතු කරන බව හෙතෙම පැවසීය.

එමෙන්ම, පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කර, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන  බවත්, සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරන බවත්, සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සහ කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මෙන්ම පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන ගැනීම සම්බන්ධව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම, අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දීමටත්, නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දීමටත්, විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේ දී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒම සහ නියාමනය කිරීම සදහා නීති සකස් කිරීම කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

පුහුණුවන්නන්ට/ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මෙන්ම ඒ සදහා වන නිවරදි අර්ථනිරූපණ ලබා දීමට ද, ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වාදීමට ද,  ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට ද මෙහි දී යෝජනා විය.

සේවකයින් විසින් සිදුකරන විශමාචාර ක්‍රියාවන්ට අදාල විනය කටයුතු නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම සදහා සේව්‍ය පාර්ශවය වගකියන ක්‍රමවේදයක් හදුන්වා දීමටත්, සේවකයින් සේවා ස්ථානයේ දී සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය.

දුර්වල කාර්යසාධනයන් මත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන විට සේවය අහිමිවන සේවකයින්ට වන්දි ලබාදීම හා එය වේගවත්  සහ සරල කිරීම සදහා වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, අමුද්‍රව්‍ය නොමැතිකම, යන්ත්‍රසූත්‍ර නොමැතිවීම, ඇනවුම් නොමැතිවීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන  නීතිමය ප්‍රතිපාදන හදුන්වාදීමටත් මෙන්ම, සේව්‍යයන් ස්වේච්ඡාවෙන් සේවය හැරයාමේ දී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට වන ප්‍රතිපාදන හදුන්වා දිමටත් මෙහි දී යෝජනා විය.

සේවා යෝජකයා සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති මගින් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් කෙරෙහිද අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත්, වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සදහා සේවායෝජකයාට අනිවාර්ය කිරීම පිළිබඳවත්, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීමටත් කටයුතු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Political

වගාවට හානි කර සතුන් පාලනය කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කෘෂිකර්ම අමාත්‍යංශය සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

'‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’' සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ගෙනා යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට,වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක පමණ හානියක් මෙම වන සතුන් නිසා වගාවට සිදු වෙන බවයි.

මෙරට මිලියන 3කට ආසන්න රිළා ගහනයක් සිටිනවා. මිනිසුන් ගම්බිම් අතහැර දමා යන ත්වවයට පත් වී තිබෙනවා. මෙයින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒ වෙනුවෙන් විශාල හඩක් නගන්න ඔවුන්ට බැහැ.

මෙම සතුන් පාලනය කරන්න ජාත්‍යන්තර ක්‍රමවේදයක් හෝ අනුගමනය කරමින් මෙම සතුන් පාලනය කරන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

2022 වසරේ මුල් මාස හය තුළ පමණක් තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක පොල් මෙට්ට්‍රික් ටෙන් 145,000 එනම්, පොල්ගෙඩි මිලියන 93ක් වන සතුන් නිසා හානි වී තිබෙන බවයි. සමස්ථයක් වශයෙන් ගත් කළ පොල් පමණක් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් රිළවුන් සහ දඩු ලේනුන් නිසා හානි වී තිබේ.

වන සතුන්ගෙන් වන හානිය වළක්වා ගත්තා නම් නැවත වගා නොකළත් මෙම ප්‍රමාණය මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අද වන විට නාගරික ප්‍ර දේශ වලටත් මෙම සතුන් පැමිණෙනවා.නිවෙස් වල සිටින දරුවන් පවා මෙම සතුන් සපා කන අවස්ථා තිබෙනවා.මේ සම්බන්ධයෙන් වාර ගණනක් පාර්ලිමේන්තුව තුළ කතා කර තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් මේ පිළිබඳ වාර්තා සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Political

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ඊයේ (06) පිළිගැන්විණි.

Political

විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්  පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Political

විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.