2027 අයවැයෙන්අ ධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධනය කටයුතු කඩිනම් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.
"අප මෙම අයවැය ලේඛණය තුළින් මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා විශාලතම ආයෝජනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් රු. බිලියන 251 ක් වෙන් කර තිබෙනවා. තවද, නව යෝජනා ලෙස රු. බිලියන 146 ක් ද, දිට්වා සුළිකුණාටුව හේතුකොටගෙන දුම්රිය, මාහාමාර්ග හා පාලම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්, දිට්වා පරිපූරක ඇස්තමේන්තුවෙන් රු. බිලියන 90 ක් ද ඇතුළත්ව රු. බිලියන 487 ක් වැය කිරීමට අපේක්ෂා කරනවා. එහිදී ප්‍රධාන වශයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර වන කුරුණෑගල- දඹුල්ල අධිවේගී මාර්ග කොටසේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම සඳහා රු. මිලියන 30,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා සංවර්ධනය කිරීම සඳහා 2026 වසරේ ආරම්භක කටයුතු සඳහා රු. මිලියන 18,680 ක මුදලක් වෙන් කරනු ලැබුවා. 2027 වසරේ රු. මිලියන 27,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ආර්ථිකය කඩාවැටීම හේතුකොටගෙන අඩාල වී තිබූ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස 2028 සැප්තැම්බර් වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 53,450 ක් වෙන් කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන කොටස 2027 මැයි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින්, 2027 වසර සඳහා රු. මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා.
2026 වසරේ වැඩ ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටස 2029 ජූලි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 23,050 ක් වෙන් කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට, ඒ හා ආශ්රිත හඳුනාගත් සම්බන්ධක මාර්ග (Connecting roads) කොටස් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 500 ක් ද, පොතුහැර - ගලගෙදර අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 5,000 ක් ද හා කඩවත - මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගයන් ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 3,000 ක් ද වෙන් කිරීමට යෝජනා කරනවා.
රථවාහන තදබදය අවම කිරීම සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නව ගුවන් පාලම් කිහිපයක් ඉදිකිරීමට ද යෝජනා කරනවා. ඒ අනුව, අලව්ව සහ කුරුණෑගල - මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගයන්හි ගුවන් පාලම් 2 ක් ඉදිකිරීමටත්, අලුතින් ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත නුවර-මාතලේ දුම්රිය මාර්ගය මඟ හැර ප්‍රවේශ වීම සඳහා මහනුවර තැපැල් කාර්යාලය අසල නව ගුවන් පාලමක් ඉදිකිරීමටත් මෙවර අයවැයෙන් රු. මිලියන 1,900 වෙන් කර තිබෙනවා.
කෝකිලායි පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 600 ක් ද, කිරාන් පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 400 ක් ද, පොන්දුකාල්චේනයි පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 200 ක් ද සහ වෙරුගල් ගඟ හරහා පුණ්නයඩි ප්‍රදේශයේ නව පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 340 ක් ද, වඩ්ඩුවාක්කල් පාලම ඉදිකිරීම සඳහා රු. මිලියන 500 ක් ද 2027 වසරේ දී වෙන් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සඳහා සමස්ත ඇස්තමේන්තුව රු. මිලියන 10,630 ක් වනවා.
මාර්ග ජාලයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව සහතික කිරීම උදෙසා තෝරා ගත් මාර්ග කොටස් පුඵල් කොට සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 22,000 ක් වෙන් කර තිබෙනවා.
රත්නපුර විකල්ප මාර්ගය, කහවත්ත විකල්ප මාර්ගය, කිරිබත්ගොඩ විකල්ප මාර්ගය, කටුනායක - හලාවත අධිවේගී මාර්ගය ඇතුළුව කාලීනව හඳුනාගන්නා මාර්ග සංවර්ධනයන්හි ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකිරීම උදෙසා රු. මිලියන 680 ක් වෙන් කර තිබෙනවා."