Tuesday, November 10, 2026
Follow Us
1990 සුව සැරිය සේවාව සඳහා නව ගිලන් රථ 100ක්
1990 සුව සැරිය සේවාව සඳහා සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට අදාළ මූල්‍ය ප්‍රදානය ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යොදා ගනිමින් 2016 වර්ෂයේදී 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලැබ ඇති අතර, 2018 වර්ෂයේදී එය දිවයින පුරා ව්‍යාප්ත කරනු ලැබ තිබේ.
එමඟින්, සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ සේවාව සපයන අතර, දිනකට රෝගී ප්‍රවාහන අවස්ථාවන් 1,000 - 1,200 ක ප්‍රමාණයක් හැසිරවීම සිදු වේ.
 
මෙම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9 ක පමණ දුරක් ධාවනයේ යෙදෙන අතර එම තත්ත්වය මත වර්තමාන ගිලන් රථ සමූහයට අයත් ගිලන් රථ 322 හි කාර්මික දෝෂ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ.
 
ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබ ඇති විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, 1990 සුව සැරිය සේවාව සඳහා භාවිත කිරීම පිණිස සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100 ක් සපයා ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත.