ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් Agripreneur Boost Camp – 2026 පුහුණු කඳවුර සාර්ථකව අවසන් විය.
ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවට සමගාමීව මෙම පුහුණු කඳවුර සංවිධානය කර තිබිණි.
දින තුනක් පුරා (නොවැම්බර් 06, 07 සහ 08) ඇතුන්ගම ජාතික තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේදී එය පැවැත්විණි.
කෘෂිකර්මාන්තය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාවේ කෘෂි පුහුණු මධ්‍යස්ථාන 14ක් නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.
ඒ අනුව ඇතුන්ගම, ලෙව්වේගොඩ, ඇතිමලේ, බටංගල, එරමිණියාය, දොස්තරවත්ත, පොළොන්නරුව, පන්නල, දඹුල්ල, ඔරුබැඳිවැව, මොනරාගල, දොළුව, කන්තලේ සහ පුදුකුඩුඉරිප්පු පුහුණු මධ්‍යස්ථානවල අභ්‍යාසලාභීහු ඊට එක්වූහ.
නවීන තාක්ෂණය, කෘෂිකාර්මික දැනුම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම සඳහා විශේෂ පුහුණු ක්‍රියාකාරකම් රැසක් මෙහිදී පැවැත්විණි. එමෙන්ම ව්‍යවසායකත්ව හැකියාවන් සහ යහපත් ආකල්ප වර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.
ඇතුන්ගම ගොවිපළ ඵලදායී හා තිරසාර ආදර්ශ කෘෂි පුහුණු ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් විය.
ඒ අනුව පුහුණු මධ්‍යස්ථාන 14 නියෝජනය කළ කණ්ඩායම් විසින් අක්කර 28ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කරන ලදී. වගා සැලැස්මට අනුව බිම් සැකසීම, පැළ සිටුවීම සහ නඩත්තු කටයුතු ද සිදු කෙරිණි.
පුහුණු වැඩසටහනට සමගාමීව රසවින්දනාත්මක වැඩසටහන්, රාත්‍රී දීපාවලි සැමරුම සහ ගිනිමැල සංදර්ශන ඇතුළු විනෝදාත්මක හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ද සංවිධානය කර තිබිණි.
කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සහ දක්ෂතා ඇගයීම සඳහා විශේෂ තරගයක් ද පැවැත්විණි. එහිදී ලකුණු ලබාදීම මත දක්ෂතම කෘෂි ව්‍යවසායකත්ව කණ්ඩායම් තෝරා ත්‍යාග පිරිනමන ලදී.
ඒ අනුව පළමු ස්ථානය එරමිණියාය පුහුණු මධ්‍යස්ථානයට හිමි විය. දෙවන ස්ථානය බටංගල පුහුණු මධ්‍යස්ථානයටත්, තෙවන ස්ථානය මොනරාගල පුහුණු මධ්‍යස්ථානයටත් හිමි විය.
මෙම පුහුණු කඳවුරේ ඉදිරි පියවරක් ලෙස කෘෂි ව්‍යවසායකත්ව ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය. නව ආහාර නිෂ්පාදන සහ අස්වැන්න ආශ්රිත නිෂ්පාදන ඇතුළත් එම ප්‍රදර්ශනය මෙම වසර අවසානයේදී ඇතුන්ගම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
පුහුණු කඳවුරේ සමාප්ති උත්සවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සභා අධ්යක්ෂ මණ්ඩල සාමාජික රුවන් හේවාසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද ඊට සහභාගී වූහ.