Tuesday, November 10, 2026
Follow Us
ජාතික විද්‍යා සතිය ඇරඹේ

අද නොවැම්බර් 10 ලෝක විද්‍යා දිනයයි.  ලෝක විද්‍යා දින සැමරුමට සමගාමීව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය - 2026 සමාරම්භය සනිටුහන් කරමින් වැඩසටහන් ද්විත්වයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ දී සහ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

“ජාතික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම” යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික විද්‍යා සතිය නොවැම්බර් 10 – 17 දක්වා ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය විසින් අනුබද්ධ ආයතනවල සහයෝගයෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් මෙම සතිය තුළ සංවිධාන කර තිබේ.

ජාතික විද්‍යා පදනම (NSF)   සංවිධාන කළ පාසල් විද්‍යාත්මක පර්යේෂණ සමුළුව 2026 කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. මෙම සමුළුව තුළ දිවයින පුරා පාසල් අතරින් සිසුන් සහ ගුරුවරුන් විසින් සිදුකරන ලද පර්යේෂණ එළිදැක්වීම, දැනුම හුවමාරු කරගැනීම සිදු කෙරෙන අතර ඒ තුළින් පාසල් පද්ධතිය තුළ පර්යේෂණ සංස්කෘතිය ප්‍රවර්ධනයට වේදිකාවක් නිර්මාණය වේ. මේ සඳහා වාචික පර්යේෂණ ඉදිරිපත් කිරීම් 60 ක් සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් 40 ක් ඇතුළත් වේ.

සමුළුව අතරතුර  “විදුරාව” විද්‍යා සඟරාවේ සිවර්ණ ජයන්තිය නිමිත්තෙන් 50 වන සංවත්සර කලාපය එළිදැක්වීම ද සිදු කෙරිණි.

කාර්මික තාක්ෂණ ආයතනයේ දී (ITI)  එහි විවෘත දින වැඩසටහන සහ ව්‍යාපාරික උපදේශන සායනය ආරම්භ වූ අතර එය දින දෙකක් පුරා පැවැත්වේ. (නොවැම්බර් 10–11) මෙහි දී මහජනතාවට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ට ITI විද්‍යාගාර සහ ව්‍යාපාරික උපදේශන සේවාවන් වෙත සෘජුවම ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවන අතර ITI හි නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමද සිදුකෙරේ. පාසල් සිසුන් වෙනුවෙන් ITI සංවිධාන කළ "Science on the Wall" (බිත්තිය මත විද්‍යාව) චිත්‍ර තරඟයේ සහ  ජයග්‍රාහකයන් ඇගයීම ද සිදු කෙරිණි.

 මෙහි දී අදහස් දැක් වූ  විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය ජාතික ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයන් ලෙස අපි හඳුනා ගෙන සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකීය සමාජය තුළ විද්‍යාත්මක චින්තනය පෝෂණය කිරීම, විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ පර්යේෂණ ප්‍රතිඵල ජාතියට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ  සඳහා ජාතික විද්‍යා සතිය තුළ ක්‍රියාත්මක කරන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් වූ වැඩසටහන් හරහා,  නවෝත්පාදකයන් සවිබල ගැන්වීමටත්, දැනුම ජන ජීවිතය යහපත් කරන විසඳුම් බවට පත් කිරීමටත් අපි කැපවෙනවා. තරුණ පරපුරේ කුතුහලය හා නිර්මාණශීලීත්වය පෝෂණය කිරීමත්, පර්යේෂකයන් සහ නවෝත්පාදකයන්ට සහාය වීම මෙන්ම, පර්යේෂණ ප්‍රතිපල ජාතික සංවර්ධනය ඉදිරියට ගෙන යන නිර්මාණ බවට පරිවර්තනය වෙනුවෙන් අන්න්‍යෝන්‍ය සහයෝගීතාව අත්‍යවශ්‍යයි. ඒ සඳහා පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට එක් කිරීම කාලීන අවශ්‍යතාවක් වෙනවා.”

මෙම අවස්ථාවන්ට විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි,  ආචාර්ය ඒ.එම් මුබාරක්, ITI සභාපති මහාචාර්ය සරත් මලවිපතිරණ, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එස්.ඩී.ඒ. සන්දනායක, ජාතික විද්‍යා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශිරෝමි පෙරේරා, යන මහත්ම මහත්මීන් ඇතුළු අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, විද්වතුන්, ගුරුවරුන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.