Tuesday, November 10, 2026
Follow Us
මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් 
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය සහාය ලබා ගනිමින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීමට හැකි වන පරිදි සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
මහනුවර මහ නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් පවතී.
 
එකී ව්‍යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සහ පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම ඇතුළත් වේ.
 
සැලසුම් කර ඇති ද්විත්ව දුම්රිය මාර්ගය සම්පූර්ණ කිරීම, දැනට පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා අවහිරතාව ඉවත් කිරීම සහ දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා එකී ව්‍යාපෘතිය යටතේ පියවර ගත යුතු බව හඳුනාගනු ලැබ ඇත.