2027 අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 නොවැම්බර් 12 දින පාර්මේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
" 1. පූර්විකාව
ගරු කථානායකතුමනි,
පරම්පරා ගණනාවක් පුරා අත්විඳි දිදුලන රටක් බිහි කිරීමේ කතාව යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අවංක සහ නිර්ව්‍යාජ අධිෂ්ඨානය ඇතිව අපේ රජය තුන්වන අයවැය ඉදිරිපත් කරනවා. අප ඉදිරිපත් කරන ලද සෑම අයවැයක් තුළින්ම අපගේ සාමූහික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂිය හඬගා කියාපාන අතර, රටක් ලෙස අපි දරුණුතම අවපාතයෙන් ගොඩ එමින් සිටින බවටත්, නිවැරදි සහ සැලසුම් සහගත ගමනක යෙදෙන බවටත් ස්ථීර විශ්වාසයක් තහවුරු කොට තිබෙනවා.
අපගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළ බලාපොරොත්තුවේ නොනිමෙන අරුණාලෝකය දල්වන්නට අප සමත් වුණා. මීට දෙවසරකට පෙර මේ රටේ සමස්ත ජනතාව අප වෙත තැබූ උදාර විශ්වාසයේ අපේක්ෂාවන් කොන්දේසි විරහිතව අප සඵල කරමින් සිටින බව සිහිපත් කරනවා.
දුප්පත්කම තුරන් කිරීම, සාධාරණ සමාජයක් ගොඩනැඟීම, අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම, ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම සහ සෑම පුරවැසියෙකුටම යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසීම අපගේ මූලික අරමුණු අතර වෙනවා. එහෙත් ඒ සියල්ලටම පදනම විය යුත්තේ අධ්‍යාපනය තුළින් දැනුමෙන් සන්නද්ධ වූ, ගුණධර්මවලින් පිරිපුන්, විචාරශීලීව සිතන, නිර්මාණශීලීව කටයුතු කරන පුරවැසියන් සහ දූරදර්ශී නායකයන් බිහිකිරීමයි. අපට අවශ්‍ය වන්නේ දැනුමෙන් සහ බුද්ධියෙන් පොහොසත් වූ, නව අදහස් සහ නව නිර්මාණ තුළින් ලෝකයට දායක වන, ජාත්‍යන්තර තලයේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ප්රබුද්ධ ශ්‍රී ලාංකික පරම්පරාවක් ගොඩනැඟීමයි. ලෝකයේ කොතැනකදී හෝ ශ්‍රී ලාංකිකයෙකු හඳුනාගන්නා විට, ඔහු හෝ ඇය දැනුමෙන්, බුද්ධියෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ යහපත් ගුණධර්මවලින් හෙබි පුද්ගලයෙකු ලෙස පිළිගැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීමයි.
ශ්‍රී ලාංකික අනන්‍යතාව යනු බුද්ධිමත්භාවයේත්, ගුණවත්භාවයේත්, විශිෂ්ටත්වයේත් සංකේතයක් බවට පත් කිරීමයි. ඒ සියල්ල තුළින් සැබෑ පුනරුදයක් නිර්මාණය කිරීම අපගේ අයවැයේ මූලික අරමුණයි. මන්ද, පුනරුද යුගයක් ඇති කිරීම යනු හුදු ආර්ථික දර්ශකවල හෝ සංඛ්‍යාලේඛනවල වෙනසක් පමණක් නොවෙයි. එය මිනිසාගේ චින්තනයේ, දැනුමේ, ආකල්පවල සහ හැසිරීමේ වෙනසක් ඇති කරන, රටේ සංස්කෘතික, බුද්ධිමය සහ කලාත්මක ජීවිතයට නව පණක් ලබාදෙන පුළුල් සමාජ පරිවර්තනයක්.
21 වන සියවසේ ශ්‍රී ලංකාව ලෙස අප අත්පත් කරගත යුතුව තිබූ සංවර්ධනය කරා, අප සැම එකතු වී සාමූහික ජනතා මැදිහත්වීමකින් මේ රට ඉදිරියට රැගෙන යා යුතුව තිබෙනවා.
මෙම ගමනේ දී අපට පළමුවෙන්ම කරන්නට සිදු වූයේ දේශපාලන සංස්කෘතියේ මූලික පරිවර්තනයක් ඇති කිරීමයි. නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට, දූෂිත ප්‍රභූ පවුල් කීපයක් අත තිබූ රාජ්‍ය පාලනය වෙනුවට සැබෑ ජනතා පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාව අපට බලය ලබා දුන්නා.
අපට අවශ්‍ය වන්නේ හුදෙක් ආදායම් රැස්කරන රාජ්‍යයක්ම නොවෙයි. එකතු කරන සෑම බදු රුපියලකටම ජනතාවට වටිනාකමක් ලබාදෙන රාජ්‍යයක්. අපට අවශ්‍ය වන්නේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නොවෙයි; කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත්, ජනතාවට වගකියන රාජ්‍ය යාන්ත්‍රණයක්.
ජනතාවගේ මුදල්වල සැබෑ අයිතිකරුවන් මේ රටේ පුරවැසියන් බව රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම පිළිගැනීම අපේ ප්රතිපත්තියයි.
ගරු කථානායකතුමනි,
අපේ රටේ ආර්ථිකය පරිවර්තනීය යුගයකට ගෙන යාමට අවශ්‍ය විශ්වාසය, අත්දැකීම්, ආර්ථික පදනම සහ ස්ථාවරත්වය අද අපට තිබෙනවා. 2027 වර්ෂය සඳහා අප ඉදිරිපත් කරන අයවැය එම පදනම් මත ගොඩනැඟෙන ඉදිරි පියවරයි. ඒ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කරන, ආයෝජන සඳහා ඉඩ සලසන, ඩිජිටල් ආර්ථික කටයුතු මඟින් දැනුම හා තාක්ෂණය ආර්ථිකයට සම්බන්ධ කරන, පරිසරය ආරක්ෂා කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කරන අයවැයක් බවට පත් කිරීම අපේ අපේක්ෂාවයි.
අප ඉදිරිපත් කරන සෑම අයවැය යෝජනාවක්ම එකිනෙකට සම්බන්ධ වූ පොදු අරමුණක් කරා ගමන් කරන අඛණ්ඩ වැඩපිළිවෙළක කොටස්. එමෙන්ම මේ අයවැය එක් පුද්ගලයෙකුගේ හෝ එක් පාර්ශ්වයක අදහස් මත පමණක් සකස් වූවක් නොවෙයි. එය විවිධ පාර්ශ්වයන්ගේ අදහස්, යෝජනා සහ අත්දැකීම් එක් කර ගනිමින්, සාමූහිකව සකස් කළ වැඩපිළිවෙළක්. අප වෙත ඉදිරිපත් වූ සෑම යෝජනාවක් කෙරෙහිම නිසි අවධානය යොමු කර තිබෙනවා. අපගේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, පවතින සම්පත්, මූල්‍ය අවකාශය හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව මත පදනම්ව සකස් කර තිබෙනවා.
ගරු කථානායකතුමනි,
අප රටේ මේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගනු ලැබුවේ වඩාත් අසීරුතම අවධියක දී බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මැදපෙරදිග ඇවිළෙමින් පවතින යුද්ධය වෙන කවරදාකටත් වඩා දිග්ගැස්සෙමින් ලෝකයේ විශාල අවිනිශ්චිතතාවයක් නිර්මාණය කරමින් පවතිනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම නිසා ලෝකය පුරා සිදුවන ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුව තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල, ප්‍රිමියම් අගය සහ නැව් හා රක්ෂණ ගාස්තු ඉහළ යාම, අපගේ බලශක්ති වෙළෙඳපොළට ඉතාමත් අහිතකර බලපෑමක් ඇති කළා. එමඟින් අපේ ආර්ථිකයටත්, ජන ජීවිතයටත් ඇති වූ පීඩනයෙන් තවමත් අපට මිදීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාවට හා ආර්ථික ස්ථාවරභාවයට සිදුවන බලපෑම අවම කිරීමට රු. බිලියන 147 කට වැඩි මුදලක් වැය කළා.
එමෙන්ම, පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු (PDNA) වාර්තාවට අනුව, දිට්වා සුළි කුණාටුවෙන් නිවාස, කර්මාන්ත, දුම්රිය මාර්ග පද්ධති, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පද්ධතියට වූ හානිය, ඩොලර් බිලියන 2 ක් සහ ආර්ථික අලාභය ඩොලර් බිලියන 1.4 ක් සමඟ එකතුව ඩොලර් බිලියන 3.4 ක් (රු. ට්‍රිලියන 1.022) පමණ බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ සියලු අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
ගරු කථානායකතුමනි,
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති පරිදි මේ වන විට ඇතිවී තිබෙන එල්නිනෝ කාලගුණික තත්ත්වය 2027 පෙබරවාරි මාසයේ දී උච්චතම තත්ත්වය දක්වා ළඟා වීමේ සම්භාවිතාව 100% ක් බව තහවුරු කොට තිබෙනවා. මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය කෘෂිකර්මාන්තයට, ආහාර මිල ගණන්වලට, ජල සම්පත්වලට සහ ජල විදුලියට අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් පවතිනවා. මෙවැනි, ගෝලීය මට්ටමින් මෙන්ම දේශීයව ඇති විය හැකි අවදානම් කල්තියා හඳුනාගෙන, ඒවාට මුහුණ දීමට සමත් ලෙස ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීම අපගේ ප්‍රමුඛතම වගකීමක් ලෙස සලකනවා.
අපගේ ඉලක්කය වන්නේ අද තිබෙන ආර්ථික අභියෝග කළමනාකරණය කිරීම මෙන්ම අනාගත පරම්පරාවට නැවතත් පෙර පැවැති ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන රටක් බවට පරිවර්තනය කිරීමයි. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය වන්නේ ආර්ථික දර්ශකයන් හි කාර්යසාධනය ඉහළ නැංවිම පමණක් නොව ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්වීමට හැකි සමාජයක් හා අනාගතය පිළිබඳව විශ්වාසයකින් යුතු රටක් නිර්මාණය කිරීමයි.
මෙවර අයවැයේ මූලික අරමුණ වන්නේ ආර්ථික ස්ථාවරත්වයේ සිට පරිවර්තනය කරා යොමු කිරීමයි. ආයෝජන, අපනයන, ඵලදායී රැකියා, සමාජ සුභසාධනය සහ තිරසරත්වය යනාදී සෑම ක්ෂේත්රයකම ප්රගතිගාමී පරිවර්තනයක් අත්පත් කර ගැනීමයි.
ගරු කථානායකතුමනි,
පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකයේ කැපී පෙනෙන ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමට අපගේ රජය සමත්ව තිබෙනවා. ඒ අනුව;
- 2025 වසරේ දී ලබාගත් 5% ක ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින් දිට්වා සුළි කුණාටුවේ බලපෑම මධ්‍යයේ වුවත් 2026 පළමු කාර්තුවේ දී 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්තා. දෙවන කාර්තුවේ දී, මැද පෙරදිග කලාපයේ යුද්ධමය තත්ත්වයේ වුවද 4.2% ක වර්ධනයක් ළඟා කරගත්තා.
- දීර්ඝ කාලයක් පුරා වාර්තා කළ ඍණ ප්‍රාථමික ශේෂය, 2025 වසරේ දී 5.4% ක ඉතිහාසයේ ඉහළතම ධන ශේෂය වාර්තා කළා. 2026 අයවැයට අනුව වසර අවසානයේ දී රු. බිලියන 360 ක් ලෙස අපේක්ෂිත ධන ප්‍රාථමික ශේෂය, සැප්තැම්බර් මස අවසන් වන විට, රු. බිලියන 1,844 ක ධන ශේෂයක් වාර්තා කළා.
- 2025 වසරේ දී අයවැය හිඟය, 2.3% ක් ලෙස, වසර 68 කට පසු අඩුම අගය වාර්තා කළා.
- ඉතිහාසයේ අවම අගය වූ 2022 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.2% ක් වූ රජයේ ආදායම, 2025 වසරේ දී 16.6% ක් වූ අතර, එය වසර 23 කට පසු වාර්තා වූ ඉහළම රාජ්‍ය ආදායම වූවා. එය අපේක්ෂිත රාජ්‍ය ආදායම මෙන් 110% ක් පමණ වුණා.
- 2025 වසරේ දී ජංගම ගිණුම, ඩොලර් මිලියන 1,719 ක ඉතිහාසයේ ඉහළතම අතිරික්තයක් වාර්තා කිරීමට අපට හැකි වුණා.
- 2025 වසරේ දී විදෙස් ප්‍රේෂණ ලැබීම් ඩොලර් බිලියන 8.1 ක් වූ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළා. එමෙන්ම, මෙම වසරේ ඔක්තෝබර් වන විට එය ඩොලර් බිලියන 7.6 ක් වුණා. ඒ අනුව මෙවර ඩොලර් බිලියන 9 ඉක්මවා යන විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
- 2022 වසර අවසානයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 114% ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය, 2025 වසර අවසානය වන විට රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු වාර්තා අනුව 95% ක් දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.
- 2022 වසරේ දී රජයේ ආදායමෙන් 79.1% ක් පොලී ගෙවීම සඳහා වැය වූ අතර 2025 වසර වන විට 45.9% ක් දක්වාත්, 2026 සැප්තැම්බර් වන විට 39.6% ක් දක්වාත්, තවදුරටත් අඩු වුණා.
- 2022 දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 ක් වාර්තා කළ රු. බිලියන 774.6 ක සමස්ත බද්දට පෙර ශුද්ධ අලාභය, 2025 දී රු. බිලියන 444.4 ක ලාභයක් බවට පත් කළා. එයින් භාණ්ඩාගාරයට තිබූ පීඩනය අඩු කළා. අප අලාභ ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරා. 2026 අගෝස්තු මස අවසන් වන විට රු. බිලියන 367 ක බදු පෙර ලාභයක් වාර්තා කළා. ශ්‍රීලංකන් ගුවන් සමාගම 2008 වසරේ ආපසු පවරාගත් දින සිට 2025 දක්වා සමුච්චිත අලාභය රු. බිලියන 528 කි. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මහා භාණ්ඩාගාරයට බරක් වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විසඳුම් සෙවීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුකොටගෙන 2025 වසරේ සමස්ත ඉන්ධන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,042 වූ අගය 2026 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 4,487 ක් වැය වීම, වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම මධ්‍යයේ වුවද විදෙස් සංචිත 2026 ඔක්තෝබර් මස වන විට ඩොලර් බිලියන 7 ඉක්මවා වාර්තා කළා.
- එසේ වුව ද, 2025 දෙසැම්බර් මාසය වන විට 2.1% ක් වාර්තා කළ වාර්ෂික උද්ධමනය, මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ ගිය ඉන්ධන මිල මෙන්ම ඒ හා බැඳුනු අනෙකුත් සාධක හේතුවෙන් 2026 ඔක්තෝබර් මාසය වන විට 8.3% කට වැඩි වුණා.
- පෞද්ගලික අංශයට වාණිජ බැංකු විසින් ලබාදුන් ණය 2024 වසරේ දී රු. බිලියන 8,156 ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී රු. බිලියන 10,212 දක්වා 25.2% කින් ඉහළ ගියා.
ගරු කථානායකතුමනි,
පසුගිය වසර දෙක තුළ, ආර්ථික, සමාජයීය ආදී ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවුණා.
- 2026 ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, ‘CCC+’ ශ්‍රේණිගත කිරීමේ සිට ‘B-’ ශ්‍රේණිගත කිරීම දක්වා ඉහළ නංවා තිබෙනවා.
- ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය විසින් නිකුත් කරන ලද දූෂණ සංජානන දර්ශකය (Corruption perception Index 2025/2026) අනුව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ස්ථාන 14 කින් ඉදිරියට එමින් 107 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
- ගෝලීය සාම දර්ශකය (2026) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානයට පත් වුණා.
- ග්ලෝබ් ට්‍රොටර් ඇන්ඩ් ෆ්ලෑෂ් පැක් (GlobeTrotter & Flash Pack) ආයතනයට අනුව 2025 වසරේ දී, තනිව සංචාර කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමුවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.
- ලෝක ආර්ථික සංසදය විසින් සංචාරක ආර්ථිකයන්ගෙන් වේගවත්ම දියුණුවක් පෙන්නුම් කළ රටවල් අතර ලෝකයේ 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
- Conde’Nast ජාත්‍යන්තර සඟරාව විසින් පවුලේ සැමට එකට සංචාරය කළ හැකි ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවා.
- ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) විසින් සිදු කරන ලද ඇගයීමට අනුව, නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57 ක් අතරින්, ශ්‍රී ලංකාව ආයෝජක සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය සිව්වන ස්ථානයත්, රාජ්‍ය ණය පිළිබඳ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය පස්වන ස්ථානයත් හිමිකර ගත්තා.
- ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව, 2020 වසරේ දී ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයේ සිට පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම පිළිබිඹු කරමින්, 2026 වසරේ දී යළි ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය ඉහළ දැමුවා.
ගරු කථානායකතුමනි,
අපගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ථකත්වය මනින නිර්ණායකයන් ඉහත කරුණු පමණක් නොවේ. පීඩාවට පත් වූ දරුවන්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන්, දිගු කාලීන රෝගාබාධයන්ට ගොදුරු වූ පිරිස්, අඩු ආදායම්ලාභී කුටුම්භ සහ ආපදාවලින් ජීවනෝපාය අහිමි වූ පවුල් වෙත රජය සහය දැක්වීම හා රැකබලා ගැනීම ඒ තරමටම වැදගත් වෙනවා.
2025 අයවැයෙන් අප ආර්ථික ස්ථාවරත්වය හා සමාජ සාධාරණත්වය සඳහා අඩිතාලමක් දමනු ලැබුවා. 2026 අයවැයෙන් නිෂ්පාදනය, ආයෝජනය, ඩිජිටල්කරණය හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වැඩි අවධානයක් යොමු කළා. 2027 අයවැයෙන් අප යෝජනා කරන්නේ මෙතෙක් අප අත්පත් කරගෙන ඇති ආර්ථික ස්ථාවරභාවය මත පදනම්ව නිෂ්පාදනය ඉහළ නැංවීම, ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ජනතාව සහභාගී කරවා ගැනීම, ආර්ථිකයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ ජනතාවට සාධාරණ ලෙස බෙදී යාම හා ජාතික ආර්ථිකයේ ස්වෛරීත්වය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ, ප්‍රතිසංස්කරණ හා යෝජනා ක්‍රියාවට නැංවීමයි.
ආර්ථික පරිවර්තනය යනු තවත් වියදම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම නොවේ. රජය විසින් සිදුකරනු ලබන සියලු ආයෝජනයක්ම, ලබා දෙනු ලබන සෑම බදු සහනයක්ම, ලබා ගනු ලබන සෑම ණය ගැනීමක්ම සහ යෝජනා කරනු ලබන සියලු සමාජ ආරක්ෂණ වැඩසටහනක්ම, ඒ තුළින් ඇතිවන ආර්ථික හා සමාජ ප්රතිලාභ මත තක්සේරු කරනු ලැබීමයි.
ජනතාව ආර්ථික අර්බුද සමයේ දරාගත්, මේ මොහොතේ දී ත් දරාගනු ලබන සියලු කැපවීම්, සදාකාලික කැපවීම් බවට පත් කිරීම අපගේ අරමුණ නොවේ. ආර්ථික ස්ථාවරත්වය, වඩා හොඳ රැකියා, සාධාරණ ආදායම්, ගුණාත්මක රාජ්‍ය සේවාවක්, ආරක්ෂිත සමාජ පරිසරයක් සහ අනාගත පරම්පරාවට තිරසර අනාගතයක් ගොඩනැංවීම අපගේ යුතුකම වෙනවා.
2. 2027 අයවැයෙහි උපායමාර්ගික අරමුණු 7 ක්.
ගරු කථානායකතුමනි,
2026 වසර සඳහා වූ අයවැය මෙම ගරු සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, අභ්‍යන්තර හා බාහිර අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යා හැකි ආර්ථිකයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය අප අවධාරණය කළා. 2025 වසර අවසානයේ දිට්වා සුළි කුණාටුව අපගේ ජන ජීවිතයට, නිෂ්පාදන කටයුතුවලට සහ යටිතල පහසුකම්වලට දැඩි බලපෑමක් එල්ල කළා. 2026 වසරේ මුල් භාගයේ උත්සන්න වූ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති මිල, ආනයන වියදම් සහ සැපයුම් දාම මත නව පීඩනයක් ඇති වුණා.
දිට්වා සුළි කුණාටුව වැනි ආපදාවකට මුහුණ දීමේ දී රජයකට වැදගත් වූයේ රාජ්‍ය මූල්‍ය අවකාශය අප කල්තියා ගොඩනඟා තිබීමයි. එමඟින්, ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමටත්, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රමුඛතා අනුව සම්පත් යෙදවීමටත් අවශ්‍ය මූල්‍ය හැකියාව ශක්තිමත් කර ගැනීමට අපට හැකි වුණා.
ශ්‍රී ලංකාව දිගුකාලයක් තිස්සේ මුහුණ දුන් මූලික ව්‍යුහාත්මක සාර්ව ආර්ථික ගැටලුව වුයේ අයවැය හිඟය, ගෙවුම් ශේෂය හා ජංගම ගිණුම තුළ පැවැති හිඟයයි. නිවැරදි ආදායම් හා වියදම් ප්‍රතිපත්ති මඟින් අයවැය හිඟය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට අපට හැකි වුණත්, විදේශීය අංශය තවමත්, අවශ්‍ය පරිදි ශක්තිමත් වී නැහැ. 2025 වසරේ පළමු මාස නවය තුළ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,853 ක අතිරික්තයක් වාර්තා වූ නමුත්, 2026 වසරේ අදාළ කාලයේ දී ඩොලර් මිලියන 420 ක හිඟයක් වාර්තා වුණා. රාජ්‍ය මූල්‍ය අංශයේ අත් කරගත් ප්‍රගතිය, විදේශ අංශය ශක්තිමත් කරන ව්‍යුහාත්මක පරිවර්තනයකට පදනම කරගත යුතුයි.
වර්තමානයේ දී ලෝක ආර්ථිකය පවතින තත්ත්වය දෙස බැලීමේදී ද මේ අවශ්‍යතාවය තවදුරටත් පැහැදිලි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් 2026 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් කළ ලෝක ආර්ථික ඉදිරි දැක්ම අනුව ගෝලීය ආර්ථික වර්ධනය 2026 වසරේ දී 3.1% ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරනවා. යුධ ගැටුම් උත්සන්න වීම, බලශක්ති හා ආහාර මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ අවිනිශ්චිතතාව වැනි අවදානම් තවමත් පවතිනවා.
මෙම තත්ත්වයන්ට ඔරොත්තු දීමට සමත් දිගුකාලීන සැලැස්මක් අපට අවශ්‍යව තිබෙනවා.
2.1 සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම
සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, ණය තිරසරභාවය තහවුරු කිරීම සහ අනාගත අභ්‍යන්තර හා බාහිර කම්පනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම අපගේ ප්‍රධාන අරමුණක්. ඒ සඳහා තිරසර රාජ්‍ය ආදායමක්, විචක්ෂණශීලී වියදම් කළමනාකරණයක්, සැලසුම් සහගත ණය ගෙවීම්, ප්‍රමාණවත් රාජ්‍ය මූල්‍ය අවකාශයක් සහ ශක්තිමත් විදේශ සංචිත අත්‍යවශ්‍ය වෙනවා. මිල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිමය වගකීම්වලට ගරු කරමින්, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම ද වැදගත් වෙනවා.
මධ්‍යම රජයේ ණය, ආර්ථිකය අර්බුදයට ඇද දැමු 2022 වසරේ දී 114% ක් විය. ණය තිරසරභාවයේ දී සැලකිල්ලට භාජනය වනුයේ දළ දේශීය නිෂ්පාදිතයේ හා රජයේ ආදායම් ප්‍රමාණයට සාපේක්ෂව ණය ආපසු ගෙවීමට ඇති හැකියාව හා ආසන්නයේම ඇති ණය සේවා පියවීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් තිබේද යන්නයි.
රාජ්‍ය ණය 2032 වන විට 95% දක්වා මට්ටමට ළඟාකර ගැනීම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ඉලක්කයයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රගතියට අනුව මෙය 87% දක්වා අඩුවේ යැයි IMF 6 වන සමාලෝචනයෙන් පුරෝකථනය කර තිබෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ මූලිකත්වයෙන් ණය තිරසරභාවය පවත්වා ගැනීම සඳහා වාර්ෂික ණය ගැනීමේ සැලසුම් හා උපායමාර්ග ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 2025 වසරේ දී මධ්‍යම රජයේ ණය ප්‍රතිශතය 95% ට ළඟා වී තිබුණා. සමස්ත විදේශීය ණය සේවාකරණය 2025 වසරේ දී ඩොලර් මිලියන 3,707 ක් වූ අතර 2026 වසරේ දී ඩොලර් මිලියන 3,591 ක අගයක් විය. ඉදිරියේ දී 2027 වසරේ දී හා 2028 වසරේ දී පිළිවෙළින් ඩොලර් මිලියන 2,986 ක් සහ 3,574 ක් වේ. මෙම ණය සේවාකරණය සඳහා අවශ්‍ය ස්ථාවරත්වයක් අප සතුව පවතිනවා.
2.2 ආයෝජන, නිෂ්පාදනය සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනය වේගවත් කිරීම
අපගේ ඉලක්කය වන්නේ ඉහළ ඵලදායීතාවකින් යුතු, අපනයන තරගකාරීත්වය සහිත නිෂ්පාදන ආර්ථිකයක් කරා ව්‍යුහාත්මක පරිවර්තනය වේගවත් කිරීමයි. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන පුළුල් කිරීම, අපනයන භාණ්ඩ සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, ජාත්‍යන්තර වශයෙන් අගය දාම සමඟ සම්බන්ධ වීම සහ වැඩි අගය එකතු කිරීමක් සහිත කර්මාන්ත හා සේවා ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අංශ වෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම, ආයෝජකයන්ට පැහැදිලි, විනිවිදභාවයෙන් යුතු ආයෝජන පරිසරයක් සැකසීම සඳහා අපි කටයුතු කරනවා.
2.3 තාක්ෂණය, නවෝත්පාදනය සහ මානව ප්රාග්ධනය තුළින් ඵලදායීතාව ඉහළ නැංවීම
අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, පර්යේෂණ, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කරමින් ජාතික ඵලදායීතාව ඉහළ නැංවීම, රාජ්‍ය සේවා නවීකරණය, ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම, නව තාක්ෂණ භාවිතය දිරිගැන්වීම සහ අධ්‍යාපන ආයතන, පර්යේෂණ ආයතන සහ කර්මාන්ත අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අප ප්‍රමුඛතාවය ලබා දෙනවා.
විශේෂයෙන් අපේ තරුණ පරපුරට වෙනස් වන දේශීය හා ගෝලීය රැකියා වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතා ලබාදීමත්, දැනුම හා නවෝත්පාදන, ආදායම් ජනිත කරන නව ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. තාක්ෂණික හැකියාවෙන් යුතු ශ්‍රම බලකායක් සහ වැඩි ඵලදායීතාවකින් යුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත්, අපනයන තරගකාරීත්වය සහ විදේශ විනිමය ඉපැයීමේ ධාරිතාව ඉහළ නංවනවා.
2.4 ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සහ සැමට ප්රතිලාභ ලැබෙන වර්ධනයක් තහවුරු කිරීම
අපනයන හා ග්‍රාමීය ආදායම් වර්ධනය සඳහා කෘෂි ආහාර ක්ෂේත්රය සතු හැකියාව ඉතා ඉහළයි. ඵලදායීතාව ඉහළ නැංවීමට දායකත්වයක් නොදක්වන පුළුල් සහ ඉලක්කගත නොවූ සහනාධාර මත අධික ලෙස රඳාපැවතීම වෙනුවට, ඵලදායී නොවන ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොමු කිරීම, කෘෂිකාර්මික පර්යේෂණ, දේශගුණයට ගැළපෙන තාක්ෂණය, ජල කළමනාකරණය, ගබඩා හා ශීතාගාර පහසුකම්, නිෂ්පාදන තත්ත්ව සහතික සහ ඩිජිටල් පද්ධති සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු වෙනවා. ඉඩම් භාවිතය, ග්‍රාමීය මූල්‍ය ප්‍රවේශය සහ නිෂ්පාදකයන් වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා පවතින බාධා නිසි අධ්‍යයනයකින් අනතුරුව විසදීමත් අත්‍යවශ්‍ය වෙනවා. එවිට ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සවිබලගැන්වීම, ආහාර සුරක්ෂිතතාව සහ විදේශ විනිමය ඉපැයීම එකම සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵල බවට පත් කිරීමට හැකි වෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම, ග්‍රාමීය ජනතාව වෙත නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම, නූතන රැකියා වෙළෙඳපොළට අවශ්‍ය තාක්ෂණික, වෘත්තීය හා භාෂා කුසලතා වර්ධනය කිරීම තුළින් ග්‍රාමීය මට්ටමින් නව ආර්ථික පරිවර්තනය ඇති කළ හැකිවෙනවා.
2.5 බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරත්වය හා අඛණ්ඩතාව
ජාත්‍යන්තර වශයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යාම, සැපයුම් දාම බිඳ වැටීම, කාලගුණික විපර්යාසයන් අප රට තුළ බලශක්ති ක්ෂේත්රයේ අස්ථාවරත්වයේ පදනම වෙනවා. අපගේ අරමුණ බලශක්තිය කෙරෙහි අප මුහුණ දෙන මෙම පදනම් වෙනස් කිරීමයි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීම, විදුලි සම්ප්‍රේෂණ ජාල, බලශක්ති ගබඩාකරණය සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ද අවශ්‍ය වෙනවා. විවිධ සැපයුම් මාර්ග හා බලශක්ති ප්‍රභව භාවිතයෙන් අත්‍යවශ්‍ය බලශක්ති සැපයුමේ අඛණ්ඩතාව ආරක්ෂා කරන අතරම, ආනයනික ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය මත පවතින දිගුකාලීන පීඩනය අවම කිරීම අපගේ ඉලක්කයයි.
2.6 දේශගුණික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම
ඉදිරි ආපදාවලට ඔරොත්තු දිය හැකි ප්රමිතීන්, පූර්ව අනතුරු ඇඟවීම් සහ නිසි නඩත්තු සැලසුම් අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒ සමඟ ආහාර සැපයුම් දාම, ගබඩාකරණය, පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කළ යුතුයි. අත්‍යවශ්‍ය වූ සන්නිවේදන පහසුකම්, විදුලිය වැනි සේවාවන්හි අඛණ්ඩතාව තහවුරු කළ යුතුයි. අනාගතයේ දී ඇතිවිය හැකි ස්වභාවික විපත්වලින් සිදුවන අවදානම් සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි වුවත්, ඒවා හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමත් ජන ජීවිතයට එල්ල වන පීඩනයත් සැලකිය යුතු ලෙස අවම කිරීම අපගේ අරමුණයි.
2.7 රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කිරීම
ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදෙන, ආයෝජන සහ නිෂ්පාදන කටයුතු පහසු කරන, නීතියට වගකියන සහ විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය හා වත්කම් කළමනාකරණය, බදු පරිපාලනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවීකරණය කිරීම මෙහි අත්‍යවශ්‍ය අංග වෙනවා. දූෂණය සහ අනවශ්‍ය පරිපාලන ප්‍රමාද අවම කරමින්, නීතියේ ආධිපත්‍ය හා වගවීම ශක්තිමත් කිරීම ජනතා විශ්වාසය ඉහළ නැංවීමටත්, රාජ්‍ය සම්පත් රැක ගැනීමටත් එක සේ වැදගත් වෙනවා.
3. මධ්‍යකාලීන සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඉදිරි ගමන් මඟ
ගරු කථානායකතුමනි,
අපගේ මධ්‍යකාලීන ආර්ථික ඉලක්කය වන්නේ 7% ක් හෝ ඊට ඉහළ තිරසර ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමයි. අපේක්ෂා කරන ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශක්තිමත් සහ විශ්වාසනීය රාජ්‍ය මූල්‍ය පදනමක් අත්‍යවශ්‍යයි. ඒ අනුව, “2027–2031 මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුව” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත” මඟින් ස්ථාපිත කර ඇති වගකීම් රාමුවට අනුකූලව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීමත්, අයවැය හිඟය 5% ට අඩු මට්ටමක පවත්වා ගැනීමත්, රාජ්‍ය ණය තිරසර මාවතකට යොමු කිරීමත් අපගේ මූලික රාජ්‍ය මූල්‍ය ඉලක්ක වෙනවා.
මධ්‍යකාලීනව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% කට නොඅඩු මට්ටමක පවත්වා ගනිමින්, දිගුකාලීනව 20% ක් පමණ දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීම අපගේ අරමුණයි. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් තාර්කික කිරීම, බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීම සහ බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව, ප්‍රාථමික වියදම් සීමාවට අනුකූලව මධ්‍යකාලීන වියදම් පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් 2027 වසරේ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.6% ක් දක්වා තාවකාලිකව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම විශේෂ වියදම් අවශ්‍යතා නීතිමය රාජ්‍ය මූල්‍ය රාමුව තුළ කළමනාකරණය කරමින්, 2028 වසරේ සිට ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක් දක්වා නැවත ගෙන ඒමටත් අපේක්ෂා කරනවා.
ගරු කථානායකතුමනි,
2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ඉක්මවූ මට්ටමක පවත්වා ගැනීමට අප අපේක්ෂා කරනවා. 2027 වසරේ දී ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, අයවැය ලේඛණය තුළින් 4.48% ක් ද, දිට්වා සඳහා පරිපූරක ඇස්තමේන්තුවෙන් 0.64% ක් ද ලෙස සමස්ත රාජ්‍ය ආයෝජනය 5.12% ලෙස රු. බිලියන 2,000 ක්, වෙන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එළඹුණු විස්තීරණ ණය පහසුකම් වැඩසටහන ලබන වසරේ මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතයි. 17 වන IMF වැඩසටහන සාර්ථකව නිම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු වෙමින් පවතින අතරම වර්ධනය සඳහා ආර්ථික පරිවර්තනයකට සූදානම් වන අවස්ථාවේදී ගෝලීය සහ ස්වභාවික ආපදාවන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳ පුරෝකථනය කිරීම අපහසුයි. එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට අපගේ සංචිත තවත් ශක්තිමත් විය යුතු යැයි අප විශ්වාස කරනවා.
එබැවින්, වත්මන් IMF වැඩසටහන සාර්ථකව අවසන් කළ පසු නැවත වැඩසටහනකට එළඹීමේ යෝග්‍යතාවයන් හා කුමන ආකාරයේ වැඩසටහනකට ද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.
සමාජ සාධාරණත්වය සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආර්ථික හා ස්වාභාවික ආපදා හමුවේ වැඩිම අවදානමකට මුහුණ දෙන අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරනවා
ගරු කථානායකතුමනි,
අපගේ ජනතාව, මෙම ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් සුවිශේෂී දරාගැනීම් සහ කැපකිරීම් සිදුකරනු ලැබූවා. අප සියලුදෙනාම ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුදකළ යුතුයි. මෙම දරාගැනීම්වලට සාධාරණත්වය ඉටු කිරීම යනු ආර්ථික ස්ථායීකරණයේ සිට පරිවර්තනය කරා වේගවත් හැරවුමක් ලබාගැනීමයි. ඒ වෙනුවෙන් 2027 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරනවා.
ආර්ථික පරිවර්තනය සඳහා වූ අත්‍යවශ්‍ය පදනම් ගොඩනැංවීම
4. නීතිමය රාමුව ශක්තිමත් කිරීම
අපේක්ෂා කරනු ලබන ආර්ථික පරිවර්තනය ළඟාකර ගැනීම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා නව ශක්තිමත් නීති රාමුවක් හා ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. අපේ සමහර නීති අවුරුදු 100 කට වඩා පැරැණියි. අපේ සමහර ආයතනවල කාර්යභාරය අවසන් වී තිබෙනවා. එම නීති හා ආයතන අපේක්ෂා කරන ආර්ථික පරිවර්තනයන් කරා ළඟාවීමට දෙපා බැඳ තබන විලංගු බවට පත්ව තිබෙනවා. එබැවින් නව ආර්ථික පරිවර්තනය ළඟාකර ගැනීම සඳහා පැරැණි, යල්පිනූ නීති හා ආයතනයන් වර්තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යළි සකස් කිරීමත්, ඇති වී තිබෙන නව තත්ත්වයන්ට අනුරූප වන පරිදි නව නීති හා ආයතන ගොඩ නැංවීමත් අවශ්‍ය වෙනවා. මෙම විලංගු ඉවත් කිරීමකින් තොරව අපට ඉදිරියට යා නොහැකි වේ. ඒ වෙනුවෙන්;
- වසංගත, ස්වභාවික ආපදා, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැනි විවිධ අර්බුදයන් හේතුකොටගෙන කඩා වැටුණු ව්‍යාපාර නැවතත් ගොඩ නැංවීමට, ආර්ථිකයට දායකවීමට සහ ණය හිමියන්ගේ මුදල් ගෙවීමට අවස්ථාවක් උදා කර දීම සඳහා “2026 අංක 12 දරන බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තු භංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත” සම්මත කර තිබෙනවා.
- “2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත” තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍යවන නීති සම්මත කර තිබෙනවා.
- “2026 අංක 17 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත” මඟින් මූල්‍ය පද්ධතියට වාර්තා නොවීම නිසා තිබූ අවදානම අවම කිරීමට හා අනුගත නොවෙන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා දී තිබෙනවා.
- “2026 අංක 18 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනතින්” මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හා ශ්‍රී ලංකාව භාවිත කරමින් ගෝලීය ත්රස්තවාදයට මූල්‍යනය කිරීම වළක්වා තිබෙනවා.
- ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විටත් විශාල ණය උගුලක හිරවී ඇත. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් “2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත” සම්මත කර තිබෙනවා. ඒ අනුව ‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය’ 2027 වසරේ පිහිටුවා, ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති ආරම්භ කිරීම, සංවර්ධනය, කළමනාකරණය හා අධීක්ෂණය සඳහා මේ වන විටත් “රාජ්‍ය පෞද්ගලිකත්ව හවුල් ව්‍යාපාර (PPP) පනත” ගැසට් පත්‍රයේ පලකර තිබෙනවා. එය 2027 වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
- රජයට කොටස් හිමි සමාගම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා පරිපාලක සමාගමක් (holding company) සංස්ථාපනය කිරීමට “රජය සතු වාණිජ ව්‍යාපාර කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත” මේ වන විට නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා. මේවන විටත් ඒ සඳහා රජය සතු සමාගම් 34 ක් හඳුනාගෙන තිබෙනවා.
- ආයෝජකයින්ට අයත් ආයෝජන, වත්කම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමත්, සාධාරණ හා සමාන සැලකීමක් ලැබීම සහතික කිරීමටත්, වන්දි ගෙවීම, ආරවුල් විසඳීම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීමත් සඳහා “ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත” මේ වන විටත් නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා.
- කොළඹ වරාය නගරයට විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම හා ආයෝජකයින් හා එහි සේවයේ නියුතු වන්නන් සඳහා වැඩි පහසුකම් සැලසීම වෙනුවෙන් “කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත්” කෙටුම්පත නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා.
- වෘත්තීය රක්ෂණවේදීන්ගේ ගුණාත්මකභාවය ඇති කිරීම හා වෘත්තීය පුහුණුව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය “ශ්‍රී ලංකා වෘත්තීය රක්ෂණවේදීන්ගේ ආයතන පනත” කෙටුම්පත් කරමින් පවතිනවා.
- මෙම යුගයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ දත්ත හා තොරතුරුයි. ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා “ජාතික සංඛ්‍යාලේඛණ පනත” කෙටුම්පත් කරමින් තිබෙනවා.
- රේගු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්තව, ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් “රේගු ආඥා (සංශෝධන) පනත”, 2027 වසරේ මුල්භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කරනවා. මේ වසරේ ඔක්තෝබර් මස සිට රේගුව කඩදාසි රහිත (Paperless) වැඩසටහන ක්‍රියාත්මක කර, සියවසක් පමණ භාවිත කරන ලද, එහි එක් අංශයක් වන ‘රේගු දිගු කාමරය (Custom Long Room)’ ඩිජිටල් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්රමිතීන්, ශ්‍රී ලංකා විගණන ප්රමිතීන් සහ තත්ත්ව පාලනය පිළිබඳ නියාමන ප්රමිතීන් විධිමත් කිරීම සඳහා “මූල්‍ය වාර්තාකරණ නියාමන (සංශෝධන) පනත” සංශෝධනය කරනවා.
- “නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත” ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවී තිබෙන දීර්ඝකාලීන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට සංශෝධනය කරනවා.
- මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මූල්‍ය ව්‍යාපාර විමර්ශනය කිරීම හා නඩු පැවරීම, ශක්‍යතාවය නොමැති මූල්‍ය ව්‍යාපාර වසා දැමීමේ අවශ්‍යතා බලගැන්වීමට, “මුදල් ව්‍යාපාර පනත” සංශෝධනය කරනවා.
- රාජ්‍ය වත්කම් කළමනාකරණයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “රාජ්‍ය දේපල කළමනාකරණ පනත” ගෙන එනවා.
- ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආයෝජන හා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම, වෘත්තීයමය වගකීම හා වගවීම නිශ්චිතව හඳුනා ගැනෙන සේව්‍ය-සේවක සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන දශක ගණනක් පුරා පැවති කම්කරු නීති වර්තමාන සමාජ හා ආර්ථික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව ජාතික කම්කරු උපදේශන සභාව ද ඇතුලත්ව අදාළ පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
සිදුකළ යුතු අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්
- ආයෝජකයන් වෙත, රජයේ ඉඩම් ලබාදීමේ දී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට හා ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම, උත්පාදනය වන රැකියා ප්‍රමාණය හා ආයෝජනය සිදුකරනු ලබන ප්‍රදේශය අනුව ලබා දිය යුතු සහන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත්කර තිබෙනවා.
- ආයෝජන ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති වෘත්තිකයින්ගෙන් සමන්විත, 100% ක් භාණ්ඩාගාරය හිමිකම් දරන සමාගමක් පිහිටුවීමට අපේක්ෂා කරනවා. මෙම සමාගමට ද, Gov Tech ආයතන පිහිටුවීමේ දී සැලකිල්ලට භාජනය කරන ලද වෙළෙඳපොළට සරිලන වැටුප් හා දීමනා ලබාදීමට අපේක්ෂා කරනවා.
- වර්තමානය වන විට කැසිනෝ, ඔන්ලයින් සූදු ඇතුළු අනෙකුත් සූදු ගණයට ගැනෙන ක්‍රීඩා නියාමනය කිරීම සඳහා සූදු නියාමන අධිකාරිය මේ වන විටත් පිහිටුවා තිබෙනවා. විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි මේ වන විටත් සකස් කර අවසන් කර තිබෙනවා.
- තෝරාගත් භාණ්ඩ අපනයන කිහිපයක් වෙනුවෙන් මේ මස පස්වෙනිදා සිට, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබෙන ජාතික තනි වෙළෙඳ කවුළුව (National Single Window for Trade) පළමු අදියර ලෙස අපනයන ව්‍යාපාරිකයන් 2027 මුල භාගයේ දී ත්, ආනයන ව්‍යාපාරිකයින් හා ප්‍රති-නැව්ගතකිරීම් 2027 අග භාගයේ දී ත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රු. මිලියන 1,990 ක් වෙන් කර තිබෙනවා.
- ජාතික තනි ආයෝජන කවුළුව (National Single Window for Investment) නිර්මාණය කිරීම සඳහා උපදේශක සමාගමක් ලබා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවා, මේ වන විට එම ලංසු ඇගයීමට භාජනය කරමින් තිබෙනවා. එය ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා රේගුවේ දේශසීමා ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ස්කෑනර් පද්ධතිය පුළුල් කිරීම සඳහා ශරීර ස්කෑන් කරන යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබා ගැනීම සඳහා රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- “වරායන් අතර වෙළෙඳ ගනුදෙනු” ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපනයනට යොමුකිරීම සඳහා දැනට පවතින "අපනයන සඳහා ආනයන කරනු ලබන භාණ්ඩ බදු සහන සහිතව නිශ්කාෂණය" ක්‍රියාවලිය (TIEP) නවීකරණය කිරීමට යෝජනා කරනවා.
5. නිදහස් වෙළෙඳ ගිවිසුම්
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අප අපේක්ෂා කරනවා.
- ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා මේ වන විටත්, අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත්කර තිබෙනවා.
- චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා
- කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සමඟ විස්තීර්ණ ආර්ථික හවුල්කාරී ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වෙනවා.
- අපනයන තරගකාරිත්වය, අපනයන විවිධාංගීකරණය සහ තිරසර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා, 2027-2030 කාලය තුළ රු. මිලියන 3,430 ක යුරෝපා සංගම් ප්‍රදාන යටතේ “ශ්‍රී ලංකා-යුරෝපා සංගම් තිරසර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම, ශක්‍යතා අධ්‍යයනයකින් පසු වෙනත් රටවල් සමඟ නව නිදහස් වෙළෙද ගිවිසුම්වලට එළඹීමට අප කටයුතු කරනවා.
6. බලශක්තිය
අනාගත ආර්ථික පරිවර්තනය, ජාතික ආරක්ෂාව, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් අවශ්‍යයි. ස්ථාවර, අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම ඉලක්ක කරගත් බලශක්ති ක්ෂේත්රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් මෙම අයවැයට ඇතුළත් කර තිබෙනවා.
6.1 විදුලිය
අද වන විට අපේ ස්ථාපිත ධාරිතාවයෙන් 62% ක් පමණ පුනර්ජනනීය බලය වනවා. 2029 වන විට මෙය 69% දක්වා වැඩි කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා.
සූර්ය සහ සුළං බලශක්ති වැනි කාළගුණික හා ඍතුමය තත්ත්වය මත වෙනස් වන බලශක්ති ප්‍රභවයන් වැඩි වශයෙන් එකතු වන විට පද්ධතියේ ස්ථායිතා පාලනය පිළිබඳව අප වඩාත් අවධානය යොමු කළ යුතු වෙනවා. 2025 පෙබරවාරි මාසයේ සහ 2026 ඔක්තෝබර් මාසයේ ඇති වූ ජාතික විදුලි පද්ධතිය බිඳ වැටීම පද්ධති ආරක්ෂණ සංඛ්‍යාත පාලනය, විදුලි ප්‍රවාහ කළමනාකරණය සහ ජාලයේ ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ සිතා බැලීමට වැදගත් පාඩමක් වූවා. එවැනි සිදුවීම් නැවත වරක් ඇති නොවීමට අපගේ ජාල පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට රු. බිලියන 26.5 ක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරනවා.
- පුනර්ජනනීය බලශක්තිය ඉහළ ප්‍රතිශතයකින් ජාතික පද්ධතියට එකතු වී ඇති අවස්ථාවල දී ජාල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට උපකාරී වන නව හබරණ සහ මන්නාරම යන ස්ථානවල 75MVA (මෙගාවෝල්ට් ඇම්පියර්) බැගින් වූ සමමුහුර්ත ධාරිත්‍රක දෙක බැගින් ස්ථාපනය කිරීම, පාදුක්ක 220KV ජාල උප පොළෙහි 300MVAr ධාරිතාවයෙන් යුත් STATCOM පහසුකම් ස්ථාපනය කිරීම, ලෝක බැංකු මූල්‍ය සහාය මත 2027 වසරේ ආරම්භ කොට 2029 වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- පද්ධතියේ ඇති වන අස්ථාවර තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම හා හදිසි අවස්ථාවල දී කඩිනම් හා ඵලදායි තීරණ ගැනීම වෙනුවෙන් පුළුල් ප්‍රාදේශිය නිරීක්ෂණ පද්ධතියක් (Wide Area Monitoring System) ඇති කිරීම “ලෝක බැංකු තාක්ෂණික සහය ව්‍යාපෘතිය” යටතේ ක්‍රියාත්මක කරනවා.
- දහවල් කාලයේ අපට ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරීම සඳහා අප මේ වෙනකොටත් බැටරි ගබඩා (BESS) හඳුන්වා දී තියෙනවා. 2026 වසරේ දී BESS හරහා පද්ධතියට 160MW ක් ලැබෙනවා. 2027 දී මේ ප්‍රමාණය 560MW ක්, 2029 වන විට සමස්ත ප්‍රමාණය 1,245MW ක් වන පරිදි සැලසුම් කරල තියෙනවා.
- 2026 වසරේ BESS පද්ධතිය සඳහා ලංසු කැඳවීමේ 160MWක පළමු අදියරට තෝරාගත් මිල මසකට මෙගාවොට් එකකට රු. මිලියන 2.033 ක් වුණා. 2026 වසරේ දෙවැනි අදියරයේ මෙගාවොට් 250 කට ලංසු කැඳවීමේ දී ලැබුණු ලංසුව මසකට මෙගාවොට් එකකට රු. මිලියන 1.808 ක් දක්වා අඩු වී තිබුණා. ඒ අනුව තරගකාරී ලංසු කැඳවීම තුළින් මෙම වසරේ දීම මිල 11% කින් පමණ අඩු කරගැනීමට හැකිවී තිබෙනවා.
- පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතා අවම කර ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින්, Net Plus ක්‍රමවේදය යටතේ බැටරි ගබඩා පහසුකම් සහිත වහල මත සූර්ය විදුලිබල පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට, බලශක්ති ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි මිලදී ගැනීම වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමට යෝජනා කරනවා.
- වහල මත සූර්ය විදුලිබල පද්ධති අලුතින් ස්ථාපනය කරන ගෘහස්ත පාරිභෝගිකයන්ට බැටරි ගබඩා ධාරිතාවය කිලෝවොට් එකක් සඳහා රු. 25,000 ක සහනාධාරක් ලබා දෙනවා. මෙම සහනාධාරය කිලෝවොට් 10 ක් දක්වා උපරිම රු. 250,000 ක් සඳහා ලබා දීමට යෝජනා කරනවා. මේ වෙනුවෙන් රු. මිලියන 3,500 ක් ලබා දීමට යෝජනා කරනවා. සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා යොදා ගැනෙන බැටරි සඳහා ආනයනයේ දී අය කරන වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට ද යෝජනා කරනවා.
- නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ හදිසි අවස්ථාවක දී අතිරේක බලය සැපයීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කලත් ඒ සඳහා නිසි පියවර ගෙන නැහැ. එම අතිරේක බලය ලබා දීම සඳහා 30MW ක ධාරිතාවයෙන් යුත් BESS ඇති කිරීමට කටයුතු කරනවා.
- 2030 වන විට අවසන් කිරීමේ අරමුණෙන් කිලිනොච්චිය සිට නව හබරණ දක්වා 400KV උතුර ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයේ මූලික වැඩ කටයුතු සඳහා රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා. සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමට AIIB මූල්‍ය සහය ඩොලර් මිලියන 150 ක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
- නොරොච්චෝලේ - වාරියපොල, මොනරාගල - හම්බන්තොට, දක්වා වන 220KV සම්ප්‍රේෂණ මාර්ග 2 හා නව හබරණ - කිරිඳිවැල 400KV සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අපේක්ෂා කරනවා.
- 2027 වසරේ, ආසියානු සංවර්ධන බැංකුවේ, ඩොලර් මිලියන 12 ක මූල්‍ය ප්‍රදානයක් මත විදුලි ඒකක 180 ට වඩා වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3 කට නොමිලේ සුහුරු මීටර් ලබා දෙනවා. LECO මඟින් සේවා සපයන ප්‍රදේශවල ඒකක 120 ට වඩා වැඩියෙන් භාවිත කරන සියලු විදුලි පාරිභෝගිකයන්ට සුහුරු මීටර් ලබා දෙනවා.
- 2029 වන විට සුළං බලයෙන් ජනනය වන නව ධාරිතාව 370MW ක් පද්ධතියට එකතු කරනවා. ඉන් 2027 වසරේ 50MW ක් එක් කිරීමට කටයුතු කරනවා. 2029 වසර අවසන් වන විට සුළං බලයෙන් ජනනය වන ස්ථාපිත ධාරිතාවය 674MW දක්වා වැඩි වනවා.
- ජලාශ මත පාවෙන සූර්ය පැනල ස්ථාපිත කිරීම වෙනුවෙන් රන්දෙණිගල, දැඳුරු ඔය, රිදියගම, අම්බලන් ඔය, කාසල්රී, චන්ද්‍රිකා වැව, කිරි ඉබ්බන් ආර ආදී ජලාශ 10 ක් තෝරාගෙන තියෙනවා. මේවායේ ජල පෘෂ්ඨක 10% ක් හෝ ඊට අඩුවෙන් භාවිතා කර සූර්ය පැනල සවිකිරීමෙන් 500MW ක පමණ විදුලි ප්‍රමාණයක් ජනනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති රජය හා පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබනවා. පෞද්ගලික අංශයේ ආයෝජන යෝජනා කැදවීමට 2027 ජනවාරි මාසයේ දී කටයුතු කරනවා.
- විදුලිය බිඳවැටීම් කළමනාකරණය කිරීමට, විදුලිබල ජාලය ප්‍රශස්තකරණයට, විදුලි ඉල්ලුම කළමනාකරණයට, සුර්ය බලශක්ති සම්පත් හා වෙනත් විසිරි බලශක්ති සම්පත් විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට හා කළමනාකරණය කිරීමට සහ දත්ත පාදක විදුලිය බෙදාහැරීමේ පද්ධති සැලසුම්කරණය බලගැන්වීම සඳහා බෙදාහැරීම් පාලන මධ්‍යස්ථාන (Distribution Control Center) 4 ක්, කුලියාපිටිය, පේරාදෙණිය, බත්තරමුල්ල සහ දෙහිවල ස්ථාපනය කරනවා.
6.2 ඛණිජ තෙල්
- ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින්, බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මන්නාරම් ද්‍රෝණියේ, කොටස් 4 ක් සඳහා, තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනයට (Sri Lanka Licencing Round 2026) ලංසු කැඳවා තිබෙනවා. 2027 පෙබරවාරි 2 වන දින ලංසු විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.
- ඉන්ධන ගබඩා ධාරිතාව වර්ධනය කිරීම සඳහා කොළොන්නාව ඛණිජ තෙල් සංකීර්ණයේ, 2025 වසරේ දී රු. මිලියන 3,746 ක ආයෝජනයෙන් ධාරිතාව 64,000m3 වන ටැංකි 6ක්, මෙම වසර අවසානයේ දී, රු. මිලියන 1,446 ක ආයෝජනයෙන් 22,000m3 ක් වන ටැංකි දෙකක්, මුතුරාජවෙල ගබඩා පර්යන්තයේ 2026 සැප්තැම්බර් මාසයේ දී රු. මිලියන 3,786 ක ආයෝජනයෙන් 40,000m3 ක ටැංකි 3 ක් ඉදිකරනවා. මේ අනුව, අපගේ ගබඩා ධාරිතාව 126,000m3 කින්, දින 45 ක අවශ්‍යතාව දක්වා වැඩි වෙනවා.
- තෙල් නැවෙන් ගොඩබෑමට යන කාලය පැය 96 සිට පැය 48 දක්වා අඩු කරගැනීමේ අරමුණෙන්, රු. මිලියන 16,332 ක ආයෝජනයෙන් කොලොන්නාව සිට වරාය දක්වා නල පද්ධතියක් ඉදිකිරීමට ලංසු කැඳවා තිබෙනවා. මෙය මාස 18 කින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොළ ජාත්‍යයන්තර ගුවන් සේවා ක්ෂේත්රයට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට අනුකූලව මිලියන 22,340 ක ආයෝජනයෙන්, මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ Jet A1 ඉන්ධන සඳහා 92,000 m3 ක ධාරිතාවයෙන් යුත් ටැංකි සංකීර්ණයක් හා මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර තොටුපොළ වෙත ගුවන්යානා ඉන්ධන රැගෙන යන නල මාර්ගයක් ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
- සපුගස්කන්ද තෙල් පිරිපහදුව දැනට පවතින දිනකට බැරල් 50,000 සීමාවේ සිට, බැරල් 100,000 ක ධාරිතාව දක්වා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉහළ නංවනවා. ඒ වෙනුවෙන්, මේ වන විටත් කැඳවා ඇති අභිලාෂයන් (EOI) පදනම් කරගෙන 2027 වසරේ දී යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවනවා.
7. ඩිජිටල් යුගයක් කරා වූ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධනය
ගරු කථානායකතුමනි,
ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත් හුදෙක් තාක්ෂණික මුලාරම්භයක් පමණක් නොව, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, පාලනය ශක්තිමත් කිරීම, ආර්ථික වර්ධනය සඳහා පහසුකම් සැලසීම, සහ සෑම පුරවැසියෙකුටම රජයේ සේවා වෙත ප්‍රවේශ විය හැකි බව තහවුරු කිරීම සඳහා වන මූලික අවශ්‍යතාවයකි. රාජ්‍ය පරිපාලනයේ නව්‍යකරණය, රජයේ කටයුතුවල කාර්යක්ෂමතාවය හා පාරදාශ්යභාවය වැඩිදියුණු කිරීම හා ආයතනික ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා වන මූලික මෙවලමක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන ඇත.
මෙම ක්ෂේත්රය වර්තමාන ලෝකයේ වර්ධනය වී ඇති තත්ත්වයට ළඟා වීම අභියෝගාත්මක මෙන්ම බහුවිධ ක්‍රියාවලියකි. එමෙන්ම මෙම ක්ෂේත්රය නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් පවතින බැවින්, මෙහි සැබෑ ප්රතිලාභ අත්පත් කර ගැනීමට නම් ප්‍රථමයෙන්ම ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික ව්‍යුහය ගොඩනැඟිය යුතු වේ.
- රාජ්‍ය භාණ්ඩාගාරයේ 100% ක හිමිකාරීත්වය යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශනය හා ක්‍රියාවට නැංවීම සඳහා GovTech ආයතනය ස්ථාපිත කර දැනටමත් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
- පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) සංශෝධන කොට, දත්ත ආරක්ෂණ අධිකාරිය මේ වෙන විට පිහිටුවා සක්‍රීය කර තිබෙනවා.
- ඩිජිටල් ආර්ථික අධිකාරිය හා ජාතික ඩිජිටල් ආර්ථික කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත (Digital Economy Bill) 2027 වසරේ මුල් කාර්තුවේ දී සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා.
- ඩිජිටල් ක්ෂේත්රයේ වර්ධනයත් සමග අත්‍යවශ්‍ය වන සයිබර් ආරක්ෂණය සඳහා වූ සයිබර් ආරක්ෂණ පනත (Cyber Security Bill) නීතිපති වෙත නිෂ්කාශනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ඒ යටතේ, 2027 වසරේ දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.
- රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් මිලදී ගැනීමේ දී ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. එහෙයින්, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් සඳහා විශේෂිත වූ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කොට මේ වන විටත් ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, 2027 මුල් භාගයේ දී මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට හැකිවෙනවා.
ඩිජිටල් ආර්ථික ක්ෂේත්රයේ නව පරිවර්තනයක් වෙනුවෙන්;
- ජාතික AI ධාරිතාවන් ගොඩනැඟීම සහ වගකීම් සහගත ලෙස AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය, විද්වත් ප්‍රජාව සහ කර්මාන්ත ක්ෂේත්රයන් එකම වහලක් යටට ගෙන එමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රය (National Artificial Intelligence Centre of Excellence) විජේරාම මාවතේ පිහිටුවීම;
- ඩිජිටල් පොදු යටිතල පහසුකම් හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රමිතියට සමාන්තරව, මෘදුකාංග ප්‍රසම්පාදනයේ දී අලුතින් නිපදවීමට පෙර ප්‍රමිතිගත විසඳුම් මිලදී ගැනීම සහ පොදු භාවිතයට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තිය (Shared Platform First and Buy Before Build Policy) ස්ථාපිත කිරීම;
- Lanka Government Cloud (LGC) පද්ධතිය LGC 2.0 සිට LGC 3.0 දක්වා පුළුල් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සඳහා වූ ස්වෛරී යටිතල පහසුකම්වල මූලික පදනම ස්ථාපිත කිරීම;
- පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් විසින් සපයනු ලබන සේවාවන් ඩිජිටල්කරණය කිරීම;
- ඩිජිටල්කරණය වේගවත්ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන රාජ්‍ය ආයතන ඇගයීම සඳහා “ජනාධිපති ඩිජිටල් විශිෂ්ටතා සම්මාන” වැඩසටහන ආරම්භ කිරීම;
- ඩිජිටල් ආදායම් ආර්ථිකයක් කරා මෙහෙයවීම සඳහා GovPay, QR වැනි භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් තොර ගෙවීම් ක්‍රමවේද සඳහා අනුගතවීම හා ව්‍යාප්ත කරවීම;
- තවද, විධිමත් නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම තුළින් ඩිජිටල් අතත්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Asset Service Providers – VASP) සඳහා අවශ්‍ය නියාමන පදනම සකස් කිරීම.
- ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්රවල ඩිජිටල්කරණය ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම සමඟ අනුගත කිරීම සඳහා ආංශික ඩිජිටල් සැලසුම් සකස් කිරීම සහ ආයතනික ඩිජිටල් පරිවර්තන ඒකක (DTU) මාර්ගයෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීම;
- දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ආයෝජන දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් විධිමත් නිර්ණායක යටතේ තෝරාගත් ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා බලශක්ති ගාස්තු සහන හා අනෙකුත් දිරිගැන්වීම් ලබාදීම;
- පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තෝරාගනු ලැබූ පාසැල් සිසුන් 750,000 ක් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්පත් ලබාදීම;
- ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, ඩිජිටල් නව ව්‍යවසායන් අරමුදල් වල අරමුදල (Digital Startup Fund of Funds) ශක්තිමත් කිරීම;
වූ යෝජනාවන් වෙනුවෙන් රු. මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
1) ආයතනික සවිමත් කිරීම්, ප්‍රතිපත්ති හා නියාමන, 2) ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය, 3) ඩිජිටල් කර්මාන්ත සංවර්ධනය සහ වර්ධනය, 4) ඩිජිටල් ආදායම් ආර්ථිකය සවිබල ගැන්වීම, 5) උපායමාර්ගික කර්මාන්තවල ඩිජිටල් කටයුතු සවිබල ගැන්වීම, 6) සමස්තය-ඇතුළත් ප්‍රවේශය, භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ධාරිතා සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර 6 යටතේ මෙරට ඩිජිටල් පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය සඳහා රුකුලක් වශයෙන් 2027 වර්ෂය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත දැනටමත් රු. මිලියන 18,500 ක් වෙන් කර ඇති අතර එය රු. මිලියන 28,500 ක් දක්වා ඉහළ නැංවෙනවා.
- 2026 අයවැයට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවන් අතර වූ නව සන්නිවේදන කුළුණු සඳහා වන බද්ද වසර 5 ක කාලයකට ඉවත් කිරීමට රෙගුලාසි සම්පාදනය කළා. එම වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක කරවීම තුළින් අධිවේගී අන්තර්ජාල පහසුකම් රට තුළ ව්‍යාප්ත කරවමින්, 2030 වන විට ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ දිවයින පුරා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීම සඳහා සන්නිවේදන කුළුණු 700 - 800 ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාවය තියෙනවා. එයින් සන්නිවේදන කුළුණු 573 ක්, 2028 වන විට අවසන් කරනවා. ඉදිකරන නව කුළුණක් වෙනුවෙන් වැය වන මුදලින් 75% ක් හෝ රු. මිලියන 35 ක් යන අගයන්ගෙන් අඩු මුදල ප්‍රදානයක් ලෙස ලබා දෙනවා. ඊට අමතරව විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා රු. මිලියන 5 ක් ලබා දෙනවා. මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් “ගමට සන්නිවේදනය” වැඩසටහන හරහා රු. මිලියන 9,000 ක් වෙන් කර තිබෙනවා.
- මේ වන විටත් රටේ පවතින ජංගම දුරකථන (බ්‍රෝඩ්බෑන්ඩ්) සම්බන්ධතාව ජාලවල පවතින සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම් ගුණාත්මකභාවය (Quality of service and Quality of Experience) ගැටලුකාර තත්ත්ව පවතින අතර, විශේෂයෙන්ම ගම්බද ජනතාව විශාල දුෂ්කරතාවකට පත්ව තිබෙනවා. එවා නිවැරදිව සොයාබැලීම සහ නිවැරදි කිරීම සඳහා ලංකාවේ ප්‍රථම වතාවට ඒ සඳහා ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වාදීම 2027 වසරේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අරම්භ කරන අතර, ඒ තුළින් රටේ ජංගම දුරකථන (බ්‍රෝඩ්බෑන්ඩ්) සම්බන්ධතා සපයන්නන්ගේ ජාලවල සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම් ගුණාත්මකභාවය (Quality of service and Quality of Experience) ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට අයිතිව තිබෙන සංඛ්‍යාත වර්ණාවලිය (frequency spectrum) මේ වනවිට ඵලදායී හා කාර්යක්ෂම කළමනාකරණයකින් තොරව ලබා දීම හේතු කොට ගෙන, රටට සිදුවන මූල්‍ය අවාසිය නිවැරදි කිරීමේ අරමුණෙන් ස්වයංක්‍රීය සංඛ්‍යාත වර්ණාවලි කළමනාකරණ පද්ධතියක් (Automated Spectrum Management systems) සහ ස්වයංක්‍රීය සංඛ්‍යාත වර්ණාවලි නිරීක්ෂණ පද්ධතියක් (Automated Spectrum Monitoring system) ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කරන අතර, මේ සියලුම පද්ධති මිලදී ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රු. මිලියන 3,100 ක් වෙන් කර තිබෙනවා.
- පුරවැසියන්ට රාජ්‍ය ආයතන වෙත භෞතිකව පැමිණීමකින් තොරව (presence-less) සේවා ලබාගැනීමේ අවස්ථාව කඩිනමින් පුළුල් කිරීමට පියවර ගන්නවා. ඒ අනුව, ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයේ මට්ටම දක්වා මහජනතාව බහුලව ලබාගන්නා බලපත්‍ර, අයදුම්පත්, අනුමැතීන් සහ ගෙවීම් ආශ්රිත ප්රමුඛ පෙළේ රාජ්‍ය සේවාවන් ඩිජිටල් මාර්ගයෙන් ඉටුකර ගැනීමේ පරාසය 2027 වසරේ සිට ක්‍රමිකව පුළුල් කරනු ඇත. ඉදිරියේදී ජාතික ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) හඳුන්වා දීම සහ එහි භාවිතය ව්‍යාප්ත වීමත් සමඟ, මෙම සේවාවන් වේගවත්ව හා තිරසරව ඉහළ නංවමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.
අපගේ අරමුණ වන්නේ ඩිජිටල් තාක්ෂණය තුළින් ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කරමින්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සහ තරගකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමයි.
8. අධ්‍යාපනය
නූතන ලෝකයට අවශ්‍ය වන මානව සම්පත ගොඩනැංවීමේ දී විශාලතම කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපනයටයි. එහෙයින් ඒ සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය ගුණාත්මක පරිවර්තනයක් මෙන්ම අධ්‍යාපනය ලබා දීමේ නව තාක්ෂණික පරිවර්තනයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් හා මානව සම්පත සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේවන විටත් පළමු ශ්‍රේණියට ආරම්භ කර ඇති අතර එළඹෙන වසරේ දී 2 හා 6 ශ්‍රේණි සඳහා ආරම්භ කරනවා.
- අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු පුහුණුව ලබන ශික්ෂණලාභීන් දරන මූල්‍යමය බර ලිහිල් කිරීම සඳහා, ඔවුන් වෙත ගෙවනු ලබන මාසික දීමනාව 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,500 සිට රු. 20,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙය ඔවුන්ගේ ගුරු පුහුණු කාලය තුළ ලබාදෙන මූල්‍ය සහයෝගයක් මෙන්ම, අපගේ අධ්‍යාපන ක්රමයේ අනාගත වගකීම් භාරගැනීම සඳහා ඔවුන් සූදානම් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
- පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසුන්ට සහාය වීම සඳහා, ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් භික්ෂු සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 15 සිට රු. 50 දක්වා ද, ගිහි සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රු. 5 සිට රු. 25 දක්වා ද වැඩි කිරීමට අප කටයුතු කරනවා.
- සාරධර්ම සපිරි සදාචාරාත්මක ගුණ ගරුක ළමා පරපුරක් බිහිකර ගැනීම උදෙසා දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වන දහම් පාසල් ගුරුවරුන් සඳහා 2027 වසරේ සිට දැනට ගෙවනු ලබන වාර්ෂික දීමනාව රු. 7,500 සිට රු. 12,500 දක්වා රු. 5,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
- චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙනු ලබන පාසල් නිල ඇඳුම් ලබන වසරේ දී ඒ ආකාරයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. ඉදිරි වසර කිහිපයක් සඳහා ද එම පරිත්‍යාගය ලබා දීමට චීන රජය සිය එකඟතාව පල කොට තිබෙනවා.
8.1 පාසල් අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන
- ද්විතීයික පාසල් සියල්ලටම විශ්වාසදායක අන්තර්ජාල සබඳතා ලබා දීම අපගේ ඉලක්කයයි. මේ වන විට මේ වසරේ ලබා දුන් සබඳතා 3,009 ක් ද ඇතුළත්ව පාසල් 6,225 කට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබෙනවා. ඉතිරි පාසල් 750 ට කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ප්‍රාථමික පාසල් සඳහා ද මෙම වැඩසටහන ආරම්භ කරනවා.
- ඩිජිටල් ඉගැන්වීම් සඳහා අවශ්‍ය පරිගණක සහ ස්මාර්ට් පුවරු ඇතුළු උපකරණ ලබාදීම, තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) වැඩිදියුණු කිරීම, ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රවේශ විය හැකි අන්තර්කරණ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සැපයීම හා ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව හා තාක්ෂණික නිපුණතා ඉහළ නැංවීම ඇතුළත් වසර 5 ක් සඳහා වූ මෙම වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 96,500 ක ඇස්තමේන්තුවක් කර තිබෙන අතර එහි මූලාරම්භය වෙනුවෙන් මෙම වසරේ වෙන් කර තිබෙන රු. මිලියන 4,000 ට අමතරව තවත් රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- මේ අනුව 2027 වර්ෂයේ ඩිජිටල්කරණය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, පාසල් ගොඩනැඟිලි, පාසල් විද්‍යාගාර හා ගුරු නේවාසිකාගාර සංවර්ධනය හා නවීකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 35,000 ක් වෙන් කොට තිබෙනවා.
8.2 උසස් අධ්‍යාපන
- රු. මිලියන 8,000 ක ආයෝජනයක් සහිතව පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල අංගසම්පූර්ණ වෛද්‍ය පීඨය හා සායනික ගොඩනැඟිලි ඉදිකිරීමට 2027 වසර සඳහා රු. මිලියන 450 ක් වෙන් කර තිබෙනවා.
- නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා අංගසම්පූර්ණ ගොඩනැඟිල්ල, රුහුණ සහ සබරගමුව විශ්වවිද්‍යාල සඳහා පරිගණක හා පර්යේෂණ පහසුකම් සහිත විද්‍යාගාර සංකීර්ණ, යාපනය විශ්වවිද්‍යාලයේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිලි, රජරට විශ්වවිද්‍යාලය සඳහා විද්‍යාගාර සංකීර්ණය සහ ඌව වෙල්ලස්ස, කොළඹ විශ්වවිද්‍යාලයන්හි කළමනාකරණ පීඨ සඳහා බහුකාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළුව, අධ්‍යයන හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. මිලියන 2,250 ක් වෙන් කර තිබෙනවා.
- හාඩි උසස් තාක්ෂණ ආයතනය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි පරිශ්‍රය සඳහා පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ශ්‍රී ජයවර්ධනපුර, නැගෙනහිර සහ යාපනය විශ්වවිද්‍යාලයන්හි අපජල පිරිපහදු පද්ධති සංවර්ධනය කිරීම යන සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 717ක් ඇතුළුව දැනට කෙරීගෙන යන ශිෂ්‍ය සුබසාධක වැඩ සඳහා රු. මිලියන 6,250 ක් වෙන් කර තිබෙනවා.
- වව්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2,050 ක නිල නිවාස ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට යෝජනා කරනවා.
- “දිට්වා” සුළි කුණාටුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 6,150 ක් ඇස්තමේන්තු කොට තිබෙනවා. 2027 වසරේ දී මෙය ඇතුළු දිට්වාවලින් හානි වූ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. මිලියන 700ක් වෙන් කර තිබෙනවා.
- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව සිසුන් 42,000 ක් පමණ ඇතුළත් කර ගනු ලැබූවද, පවතින සම්පත් සීමිත බැවින්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන බොහෝ සිසුන්ට එම අවස්ථාව අහිමි වනවා. එම සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින්, රජය විසින් පොලී රහිතව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට සුදුසුකම්ලත් සිසුන් වෙත රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම සිසුන්ට දැනට ලබා ගත හැකි මාසික යැපීම් දීමනාව රු. 6,250 සිට රු. 10,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන අතර 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කරනවා.
8.3 වෘත්තීය අධ්‍යාපනය
වෘත්තීය අධ්‍යාපනය විවිධ දෙපාර්තමේන්තු, ආයතන තුළින් විවිධ මට්ටමින් රට පුරා විසිරුණු, මධ්‍යස්ථාන 550 කට අධික ප්‍රමාණයක් තුළින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවායේ ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙනුත්, අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙනුත්, රටට අවශ්‍ය ඉලක්ක සහගත ශ්‍රම සම්පත බිහිකිරීම වෙනුවෙන් හා සම්පත් ඵලදායීව යොදා ගැනීමේ අරමුණෙන් යුතුව, මෙහෙයවීම හා නියාමනය සඳහා එක් ආයතනයක් තුළ මධ්‍යගත කිරීමට අධ්‍යනයක් කිරීම වෙනුවෙන් රු. මිලියන 50 ක් වෙන් කර තිබෙනවා.
- රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර, ආපනශාලා, විද්‍යාගාර සහ වැඩහල් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 3,380 ක ව්‍යාපෘතිය වෙනුවෙන් 2027 වසරේ දී රු. මිලියන 800 ක් වෙන් කර තිබෙනවා.
- ජර්මන් කාර්මික පුහුණු ආයතනය සහ මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය ඇතුළු කාර්මික අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්රයට අයත් ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා 2027 දී රු. මිලියන 200 ක වෙන් කර තිබෙනවා.
- දිස්ත්‍රික්ක 25 ක තෝරාගත් තාක්ෂණික විද්‍යාල 25 ක් නවීකරණය කිරීම සඳහා රු. මිලියන 6,000 ක් පිරිවැය දරන ව්‍යාපෘතිය වෙනුවෙන් 2027 වසර සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
යටිතල පහසුකම් නවීකරණය කිරීම, විෂයමාලා යාවත්කාලීන කිරීම, නව තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් රු. බිලියන 11 ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරනවා.
9. පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් කරා
ගරු කථානායකතුමනි,
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම, පර්යේෂණ කටයුතු මෙහෙයවීම සම්බන්ධීකරණය සඳහා ජාතික පර්යේෂණ හා සංවර්ධනය කවුන්සිලය පිහිටුවා තිබෙනවා. එමඟින්, සියලුම ජාතික පර්යේෂණ හඳුනාගෙන (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කෘෂිකර්ම, වෛද්‍ය) නිෂ්පාදන ආර්ථිකයට දායක වන පර්යේෂණ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කිරීම ප්‍රධානතම කාර්යය වෙනවා. මෙය විද්‍යා හා තාක්ෂණ කටයුතුවලට පමණක් සීමා නොවී ආරක්ෂක හා සමාජ සුභසාධන කටයුතුවලට අදාළ පර්යේෂණ කිරීම සඳහා කටයුතු කරනවා.
මෙමඟින්
- රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මඟින් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
- ජාතික සංවර්ධන ඉලක්ක සහ ආර්ථික වර්ධනයට දායක වන අයුරින් පර්යේෂණ මෙහෙයවීම.
- දේශීය පර්යේෂකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ උසස් පර්යේෂණ සඳහා අනුග්‍රහය දැක්වීම.
- රසායනාගාර හා විශ්වවිද්‍යාල තුළ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්රයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදන හෝ සේවාවන් බවට පත් කිරීම.
- රටේ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීම.
- පර්යේෂණ මඟින් සොයාගන්න නව තාක්ෂණයන් වාණිජකරණය දක්වා ගෙනයමින් රටේ ආර්ථිකයට බද්ධ කිරීම.
මෙම ජාතික පර්යේෂණ හා සංවර්ධන කවුන්සිලයට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික නවෝත්පාදන ආයතනය, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම හා ජාතික පර්යේෂණ සභාව, ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති පර්යේෂණ සභාව එක් කිරීමට නියමිතයි.
විවිධ අමාත්‍යාංශ යටතේ පවතින පර්යේෂණ ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතන හරහා විවිධ විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පර්යේෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය ආයතනික, තාක්ෂණික හා යටිතල පහසුකම් ද සැපයීමට කටයුතු කරනවා. රජයේ ආයෝජන හරහා 2027 වසරේ දී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන්වලට රු. මිලියන 23,800 ක් වෙන් කර තිබෙනවා.
එම සියලු පර්යේෂණ කටයුතු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ සම්බන්ධීකරණය කිරීමට මෙහෙයුම් වියදම් ද ඇතුළුව රු. මිලියන 7,600 ක් වෙන් කර තිබෙනවා.
ජාතික පර්යේෂණ හා සංවර්ධන පනත් කෙටුම්පත සකස්කර තිබෙනවා. එය 2027 මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
10. අධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධනය
අප මෙම අයවැය ලේඛණය තුළින් මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා විශාලතම ආයෝජනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් රු. බිලියන 251 ක් වෙන් කර තිබෙනවා. තවද, නව යෝජනා ලෙස රු. බිලියන 146 ක් ද, දිට්වා සුළිකුණාටුව හේතුකොටගෙන දුම්රිය, මාහාමාර්ග හා පාලම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්, දිට්වා පරිපූරක ඇස්තමේන්තුවෙන් රු. බිලියන 90 ක් ද ඇතුළත්ව රු. බිලියන 487 ක් වැය කිරීමට අපේක්ෂා කරනවා. එහිදී ප්‍රධාන වශයෙන්;
- මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර වන කුරුණෑගල- දඹුල්ල අධිවේගී මාර්ග කොටසේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම සඳහා රු. මිලියන 30,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා සංවර්ධනය කිරීම සඳහා 2026 වසරේ ආරම්භක කටයුතු සඳහා රු. මිලියන 18,680 ක මුදලක් වෙන් කරනු ලැබුවා. 2027 වසරේ රු. මිලියන 27,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ආර්ථිකය කඩාවැටීම හේතුකොටගෙන අඩාල වී තිබූ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස 2028 සැප්තැම්බර් වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 53,450 ක් වෙන් කර තිබෙනවා.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන කොටස 2027 මැයි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින්, 2027 වසර සඳහා රු. මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා.
- 2026 වසරේ වැඩ ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටස 2029 ජූලි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 23,050 ක් වෙන් කර තිබෙනවා.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට, ඒ හා ආශ්රිත හඳුනාගත් සම්බන්ධක මාර්ග (Connecting roads) කොටස් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 500 ක් ද, පොතුහැර - ගලගෙදර අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 5,000 ක් ද හා කඩවත - මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගයන් ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 3,000 ක් ද වෙන් කිරීමට යෝජනා කරනවා.
- රථවාහන තදබදය අවම කිරීම සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නව ගුවන් පාලම් කිහිපයක් ඉදිකිරීමට ද යෝජනා කරනවා. ඒ අනුව, අලව්ව සහ කුරුණෑගල - මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගයන්හි ගුවන් පාලම් 2 ක් ඉදිකිරීමටත්, අලුතින් ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත නුවර-මාතලේ දුම්රිය මාර්ගය මඟ හැර ප්‍රවේශ වීම සඳහා මහනුවර තැපැල් කාර්යාලය අසල නව ගුවන් පාලමක් ඉදිකිරීමටත් මෙවර අයවැයෙන් රු. මිලියන 1,900 වෙන් කර තිබෙනවා.
- කෝකිලායි පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 600 ක් ද, කිරාන් පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 400 ක් ද, පොන්දුකාල්චේනයි පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 200 ක් ද සහ වෙරුගල් ගඟ හරහා පුණ්නයඩි ප්‍රදේශයේ නව පාලම ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 340 ක් ද, වඩ්ඩුවාක්කල් පාලම ඉදිකිරීම සඳහා රු. මිලියන 500 ක් ද 2027 වසරේ දී වෙන් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සඳහා සමස්ත ඇස්තමේන්තුව රු. මිලියන 10,630 ක් වනවා.
- මාර්ග ජාලයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව සහතික කිරීම උදෙසා තෝරා ගත් මාර්ග කොටස් පුඵල් කොට සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 22,000 ක් වෙන් කර තිබෙනවා.
- රත්නපුර විකල්ප මාර්ගය, කහවත්ත විකල්ප මාර්ගය, කිරිබත්ගොඩ විකල්ප මාර්ගය, කටුනායක - හලාවත අධිවේගී මාර්ගය ඇතුළුව කාලීනව හඳුනාගන්නා මාර්ග සංවර්ධනයන්හි ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකිරීම උදෙසා රු. මිලියන 680 ක් වෙන් කර තිබෙනවා.
11. දුම්රිය විද්‍යුත්කරණය
- මගී ප්‍රවාහනයේ කොඳු නාරටිය ලෙස සැලකෙන දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය රජයේ ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ අනුව, ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රු. බිලියන 1,200 කට අධික ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි. මෙම වැඩසටහනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වසර වෙනුවෙන්;
- කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා විද්‍යුත්කරණය කිරීම සඳහා රු. මිලියන 45,000 ක්;
- ප්‍රධාන දුම්රිය මාර්ගයේ (Main line) මරදාන සිට රාගම දක්වා විද්‍යුත්කරණය කිරීම සඳහා රු. මිලියන 16,400 ක්;
- වෙරළබඩ දුම්රිය මාර්ගයේ (Coastal line) මරදාන සිට පානදුර දක්වා විද්‍යුත්කරණය කිරීම සඳහා රු. මිලියන 17,700 ක්
- ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් රු. මිලියන 900 ක්
ද ඇතුළුව රු. මිලියන 80,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
12. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය
ආර්ථිකයේ වේගවත් පරිවර්තනයක් වෙනුවෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ සංවර්ධනය අත්‍යවශ්‍යම බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අප විසින් ඇප රහිත ණය, පොලී රහිත ණය, අඩු පොලී ණය වැනි යෝජනා ක්‍රම ගණනාවක් වෙනුවෙන් පොලී සහනාධාරය වෙනුවෙන් හා බැංකු වෙත ප්‍රති මූල්‍යනය වෙනුවෙන් 2026 වසරේ දී රු. මිලියන 54,136 ක් වෙන් කරනු ලැබුවා. ඒ හරහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතිය විසින් එම ක්ෂේත්රයේ ඇති වූ පිබිදීම හේතුකොට ගෙන රු. මිලියන 97,100 ක ණය ලබා දීමට සමත්ව තිබෙනවා. එම ක්ෂේත්රයේ ඇතිවූ පිබිදීම හේතුකොට ගෙන මෙම සමස්ත ප්රතිපාදනයම මෙම වසරේ ලබා දීමට අපට හැකිව තිබෙනවා.
2027 වසරේ දී ද පොලී සහනාධාරය වෙනුවෙන් හා බැංකු වෙත ප්‍රති මූල්‍යනය වෙනුවෙන් රු. මිලියන 67,687 ක් වෙන් කර තිබෙනවා. මෙමඟින්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු තුළින් රු. බිලියන 174 ක් ව්‍යවසායකයින් වෙත සහනදායී ණය ලෙස ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ තුළ, පහත සඳහන් ණය යෝජනාක්‍රම අන්තර්ගත වනවා.
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය යළි පණ ගැන්වීම සඳහා වන ප්රතිමූල්ය සහ පොලී සහන ණය යෝජනා ක්‍රමය (Re-MSME Plus)
- ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමය යටතේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ප්‍රාග්ධන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 5% ක පොලී අනුපාතයක් යටතේ සහනදායී ණය ලබා දීම සඳහා දැනට වෙන් කර ඇති රු. මිලියන 30,000 ට අමතරව, තවත් රු. මිලියන 20,000 ක ණය ලබාදීම වෙනුවෙන් රජය විසින් පොලී සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන අතර, ඒ සඳහා පළමු අදියර ලෙස රු. මිලියන 200 ක් වෙන් කිරීමට ද යෝජනා කරනවා. ඊට අමතරව අවශ්‍ය වන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා.
- මෙම සහනදායි ණය යෝජනා ක්‍රමය සඳහා ධීවර ක්ෂේත්රය අදාළ කර ගැනීම වෙනුවෙන්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිර්වචනයේ ව්‍යපාරයේ පිරිවැටුම පමණක් සලකමින් ධීවර කර්මාන්තයේ නියැලි ව්‍යවසායන්ට ණය ලබා දීමට යෝජනා කරනවා.
- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය මත ක්‍රියාත්මක වන යෝජනාක්‍රම
- සහන පොලී ණය වැඩසටහන් සඳහා පවතින ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව තවත් රු. මිලියන 30,000 ක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ප්‍රාග්ධන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදීමට වෙන් කර තිබෙනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා වන ඔඩපන ණය (Pledge Loan) යෝජනාක්‍රමය
- රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා වන ඔඩපන ණය යෝජනා ක්‍රමය, පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ලෙස 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. එම වැඩසටහන හරහා රු. මිලියන 20,000 ක මූල්‍ය පහසුකම් ලබාදීමට අපේක්ෂා කරනවා. මෙම ණය යෝජනා ක්රමයේ අතිරේක පොලී සහනය දැරීම සඳහා දැනට වෙන් කර ඇති රු. මිලියන 350 ට අමතරව අවශ්‍යවන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා.
- කාන්තා මූලික පවුල් (Women-headed Families) නඟා සිටුවීමේ ණය යෝජනා ක්‍රමය
- කාන්තා මූලික පවුල් ඒකක නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන එවැනි පවුල්වල ජීවන තත්ත්වය සාපේක්ෂව පහළ මට්ටමක පවතිනවා. එම පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි බැංකුව හරහා 3% සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ, රු. මිලියන 1 ක් දක්වා කණ්ඩායම් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මේ සඳහා, පළමු අදියර ලෙස පොලී සහනාධාර ගෙවීම වෙනුවෙන් රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඊට අමතරව අවශ්‍ය වන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. එමඟින් රු. මිලියන 12,500 ක ණය ලබා දීමට අපේක්ෂා කරනවා.
- ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමේ වැඩසටහන
- ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායන් ශක්තිමත් කිරීමට හා අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ අරමුණින්, ව්‍යවසායකයින්ට සමෘද්ධි බැංකුව හරහා රු. මිලියන 5 ක උපරිමයක් දක්වා 4% ක වාර්ෂික සහන පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට අපේක්ෂා කරනවා. මෙම ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලැබීම සඳහා එම ව්‍යවසායකයින් අවම වශයෙන් අස්වැසුමලාභීන් පස් දෙනෙකුටවත් රැකියා අවස්ථා උදාකර දීම අනිවාර්යය වෙනවා. මේ සඳහා පොලී සහනාධාර වෙනුවෙන් රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙමඟින් රු. මිලියන 5,000 ක ණය ලබා දීමට අපේක්ෂා කරනවා.
- ධීවර කර්මාන්තය ආශ්රිත මහා පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන සහනදායී ණය
- අපනයන ශක්‍යතාවන් සහිත මහා පරිමාණ ධීවර කර්මාන්තකරුවන්, මත්ස්‍ය නිෂ්පාදන සැපයුම්කරුවන්, බෝට්ටු නිෂ්පාදකයන් හා ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදකයන්ට අවශ්‍ය නවීන තාක්ෂණය හා අනෙකුත් යෙදවුම් ලබා ගැනීමට රු. මිලියන 500 ක් දක්වා උපරිම ණය මුදලක් බැංකු හරහා 5% වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාදීමට යෝජනා කරනවා. ඒ සඳහා පොළී සහනාධාර ලෙස රු. මිලියන 1,000 ක් ලබාදීමට යෝජනා කරනවා. මෙමඟින්, රු. මිලියන 15,000 ක ණය ලබාදීමට අපේක්ෂා කරනවා.
- Home- Stay (ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පහසුකම්) ණය යෝජනාක්‍රමය
- ගෘහාශ්‍රිත සංචාරක නැවතුම්පලවල් පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා එම පහසුකම් වැඩිදියුණු කිරීමට හා අලුතින් ගෘහාශ්‍රිත සංචාරක නැවතුම්පලවල් ආරම්භ කිරීම සඳහා, ව්‍යවසායකයින්ට 3% ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ උපරිම රු. මිලියන 2 ක් දක්වා සහනදායී ණය ලබාදීමට යෝජනා කරන අතර, ඒ සඳහා අවශ්‍ය පොළී සහනාධාර ගෙවීම සඳහා පළමු අදියර ලෙස රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඊට අමතරව අවශ්‍ය වන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 7,500 ක සහනදායී ණය ලබාදීමට අපේක්ෂා කරනවා.
මෙම සමස්ත ණය යෝජනාවලට ඇතුළු වීමට අවශ්‍ය දත්ත හා තොරතුරු මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන අතර 1819 ක්ෂණික ඇමතුම් අංකයක් (hotline) ද හඳුන්වා දී තිබෙනවා.
13. වරාය සංවර්ධනය
පෙරදිග-අපරදිග ගෝලීය මුහුදු මාර්ගයේ අතිශය උපායමාර්ගික පිහිටීමක පවතින, කොළඹ වරාය ලෝකයේ වරායන් අතර 20 වන ස්ථානය හොබවනවා. වරාය හා ඒ ආශ්රිත සේවාවන් සංවර්ධනය කිරීම රටේ ආර්ථිකයට ඉහළ වැදගත්කමක් ගෙන දෙනවා. 2040 වර්ෂය වන විට එහි නැව්ගත කිරීමේ සමස්ත ධාරිතාවය අඩි 20 බහාලුම් ඒකක (TEUs) මිලියන 30 ඉක්මවා ඉහළ නැංවීම, ප්‍රති-අපනයන නැව්ගත කිරීම හා සේවා සැපැයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි.
- ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකු මූල්යනයෙන්, බටහිර පර්යන්තය II කිලෝ මීටර 3.2 කින් යුත් දියකඩනය ඉදිකර බහාලුම් මිලියන 3.2 ක් මෙහෙයවීම සඳහා අවශ්‍ය සංවර්ධනය සිදුකරනවා.
- කොළඹ උතුර වරාය සංවර්ධනය සඳහා මේ වන විටත් සිදුකරමින් පවතින ශක්‍යතා අධ්‍යනය ලබන වර්ෂයේ මුල් භාගයේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. උතුරු වරාය සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් වන කැලණි ගං මෝය ආශ්රිත අතිරේක අධ්‍යයනය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 300 ක් වරාය අධිකාරී අරමුදල්වලින් වැය කිරීමට අපේක්ෂා කරනවා.
- කොළඹ වරාය තුළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් සේවා සැපැයුම් මධ්‍යස්ථානය (Logistic Centre) ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම (RFP) ඉදිරි මාස 2 තුළ සිදුකරනවා.
- කොළඹ වරායේ නැව් ගමනාගමන කළමනාකරණ පද්ධතිය තාක්ෂණික වශයෙන් සවිමත් කරමින්, විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාවන් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ජපන් රජයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වන, රු. මිලියන 3,578 ක් වන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රු. මිලියන 575 ක් ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා.
- ඉන්ධන පිරවුම් (Bunkering) ධාරිතාවය
ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ, ඉන්ධන පිරවුම් (Bunkering) ධාරිතාවය පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව තරගකාරී කලාපීය ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමටත් විශාල විභවතාවයක් පවතී. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහයෝගය ඇතිව, ඉදිකිරීම්-මෙහෙයුම්-පවරාදීමේ (BOT) පදනම මත කොළඹ වරාය තුළ පුද්ගලික අංශයේ දායකත්වය යටතේ මෙට්‍රික් ටොන් 50,000 ක ධාරිතාවයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.
- ගාල්ල වරාය කේන්ද්‍ර කර ගනිමින් බංකරින් සේවා සඳහා අවශ්‍ය ගබඩා සහ නල පද්ධතීන් සංවර්ධනය කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කරනවා.
- ත්‍රිකුණාමල වරාය ඉන්ධන ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම දකුණු ආසියාතික කලාපයේ බලශක්ති සැපයුම් ජාලයට සම්බන්ධ විය හැකි උපායමාර්ගික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට හැකියාව පවතිනවා. රාජ්‍ය හා ජාත්‍යන්තර හවුල්කාරීත්වය එක්ව මෙය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
- ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ, තෝරාගත් ටැංකි 5 කින් 2 ක අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. ටැංකි අංගනයේ සිට වරාය දක්වා නව නල මාර්ග පද්ධතියක් ඉදිකිරීම් සැලසුම් කරලා තියෙනවා. මේ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රු. මිලියන 7,375 ක් වැය කිරීමට අපේක්ෂා කරනවා.
- ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පිහිටුවා ඇති, ත්‍රිකුණාමල වරායේ ට්‍රින්කෝ පෙට්රෝලිම් ටර්මිනල් පුද්ගලික සමාගම සතු ටැංකි 61 න් 29 ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට ආයෝජන යෝජනා (RFP) 2027 වසරේ කැඳවීමට අපේක්ෂා කරනවා.
මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වූ පසු, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය තරගකාරීත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් වනු ඇති බවත්, ගෝලීය නැව්ගත කිරීමේ සහ සමුද්‍රීය කර්මාන්තය තුළ මෙරට විවෘත මුහුදේ ඉන්ධන පිරවීම් (Offshore Bunkering) ඇතුළු ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත වනු ඇති බවත් අප විශ්වාස කරනවා.
14. ගුවන් සේවා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය
14.1 ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය
වර්තමානය වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පළමු පර්යන්තයේ මගී ධාරිතාව මිලියන 6 ක් පමණ වුවත් ඊට වඩා වැඩි මගීන් ප්‍රමාණයක් හැසිරවීම කරනු ලබනවා. 2032 වන විට මිලියන 16 ක ධාරිතාවක් අවශ්‍ය බවට පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව, ගුවන් තොටුපොළේ මගී ධාරිතාව වැඩි කිරීම දැනටමත් ප්‍රමාද වී තිබෙනවා. එබැවින්, එය සංවර්ධනය කිරීම අප ප්‍රමුඛතාවක් ලෙස සලකනවා. ඒ අනුව;
- ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ රු. මිලියන 15,000 ක ආයෝජනයෙන් පළමු පර්යන්තයේ ධාරිතාව මිලියන 6 සිට 9 දක්වා වර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
- ප්‍රමාදවී තිබෙන දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගය ඇතිව ඉදිකිරීමේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
- ජාත්‍යන්තර ගුවන් මගීන්ට දේශීය ගමනාන්ත වෙත වඩාත් පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම (AASL) විසින්, රු. මිලියන 800 ක ආයෝජනයෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ දේශීය ගුවන් පර්යන්තයක (Domestic Air Terminal) ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කරනවා.
- ගුවන් තොටුපොළ ඉදිරිපිට මාර්ගය පුළුල් කිරීමට සහ ගුවන් තොටුපොළ සහ ඒ අවට පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලමක් (Flyover) ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය සිදුකරනවා. ඒ සඳහා රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ගුවන් තොටුපොළ තුළ සහ අවට වාහන තදබදය අවම කිරීම සඳහා රු. මිලියන 400 ක වියදමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් සිය වියදමින් නව රථ ගාලක් ඉදිකරනු ලබනවා.
- පුද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ හැසිරවීමේ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඉදිකිරීම්-මෙහෙයුම්-පවරාදීමේ (BOT) පදනම මත ගුවන් තොටුපොළ තුළ ප්‍රති අපනයනය කිරීමේ මධ්‍යස්ථානයක් සංවර්ධනය කරනවා.
- ගුවන් නියමු පුහුණුව, දේශීය, ව්‍යාපාරික හා කලාපීය ගුවන් සේවා සඳහා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කරනවා. ගුවන් සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා දැනට පවතින ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීමට හා මීටර 1,400 සිට මීටර 1,771 දක්වා දීර්ඝ කිරීම වෙනුවෙන් රු. මිලියන 6,000 ක ව්‍යාපෘතියක් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ (AASL) අරමුදල්වලින් කිරීමට 2027 වසරේ ආරම්භ කරනවා.
- 2013 වසරේ දී ඩොලර් මිලියන 190 ණය මුදලකින් ඉදිකර, ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද වන විට රු. මිලියන 70,000 කට අධික සමුච්චිත අලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ වගේම, වාර්ෂිකව මෙම අලාභය වර්ධනය වෙනවා. එහෙයින්, ජාත්‍යන්තර සමාගම් සමඟ ඒකාබද්ධව ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු, දත්ත මධ්‍යස්ථාන, ආහාර හා භෝජනාගාර සේවා සහ ගුවන් යානා සේවා හා නඩත්තු යන ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා මේ වන විටත් අභිලාෂයන් කැඳවා (EOI) අවසන්. තෝරාගත් සමාගම් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට (RFP) කටයුතු කරනවා. ලබන වසර තුළ මේ සඳහා අලුත් ආයෝජකයින් තෝරා ගැනීම අපගේ අපේක්ෂා කරනවා.
14.2 දේශීය ගුවන් තොටුපොළ
- සීගිරිය කේන්ද්‍ර කොටගත් සංචාරක ප්‍රවර්ධනය සඳහා, සීගිරිය දේශීය ගුවන් තොටුපොළෙහි මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රු. මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.
- චීන වරාය ගුවන් තොටුපොළ මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම විසින් 2027 වසරේ දී අවශ්‍ය ආයෝජන සිදුකරනු ලබනවා.
15. කර්මාන්ත, වෙළෙඳ හා ආයෝජන
- වාලච්චේන කර්මාන්තපුරය සංවර්ධනය, පුලියන්කුලම් කර්මාන්තපුරය සඳහා ශක්‍යතා අධ්‍යයන හා මූලික සැලසුම් සකස් කිරීම, ඉංගිරිය, දඹුල්ල, රයිගම –මිල්ලනිය සහ කටුනායක ඇතුළු නව කර්මාන්තපුරවල ඉදිරි සංවර්ධන කටයුතු අවසන් කිරීම, පවතින කර්මාන්තපුරවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, වෙනුවෙන් රු. මිලියන 4,000 ක් වෙන් කර තිබෙනවා.
- "ශ්‍රී ලංකා එක්ස්පෝ 2027" ජනවාරි මාසයේ පැවැත්වීම, ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යටතේ හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රියාත්මක කරමින් අපනයන විවිධාංගීකරණය, තරගකාරීත්වය සහ ඉහළ වටිනාකම් සහිත අපනයන ප්‍රවර්ධනය කිරීම ඇතුළු කාර්යයන් සඳහා රු. මිලියන 750 ක් වෙන් කර තිබෙනවා.
- කර්මාන්ත හා විශ්වවිද්‍යාල අතර සබඳතා පුළුල් කර, පර්යේෂණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් සහ නව නිෂ්පාදන හා ක්‍රියාවලීන් වාණිජකරණයට සහාය වන දැනුම හා අත්දැකීම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනවා.
- උතුරු ප්‍රදේශයේ රැකියා අවස්ථා උදා කිරීම අරමුණින් මේ දක්වා නිෂ්පාදන කටයුතු නවතා දමා තිබූ කුරන්චන්තිව් ලුණු ලේවාය, සීමාසහිත ලුණු සමාගමේ අරමුදල් යොදා නැවත ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය වන පිවිසුම් මාර්ග ඉදිකිරීම හා සේවා සැපැයුම් වෙනුවෙන් 2026 වසර සඳහා මහා භාණ්ඩාගාරය විසින් රු. මිලියන 236 ක මුදලක් ලබා දී තිබෙනවා.
- ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරමින් 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත සංශෝධනය කරනවා.
- මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම, අපනයන පහසුකම්, රසායනාගාර සේවා සහ බලපත්‍ර සේවා එක් ස්ථානයකින් ලබාගත හැකි ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය (International Gem and Jewellery Trade Hub) පිහිටුවීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරමින් ඇති අතර, මූලික ශක්‍යතා අධ්‍යයනයක් මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සිදුකිරීමට අපේක්ෂා කරනවා.
- දැනට කොල්ලුපිටියේ පිහිටා තිබෙන කර්මාන්ත අමාත්‍යාංශය, අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන එකම ස්ථානයකට ගෙන යමින් නාරාහේන්පිට ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රු. මිලියන 1,860 ක් වෙන් කර තිබෙනවා.
ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා ආයෝජන දිරිගැන්වීම.
- කොළඹ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වී සක්‍රීය ලෙස ගණුදෙනු කරන සංඛ්‍යාව අවුරුදු 18 ට වැඩි ජනගහනයෙන් 0.7% ක් පමණ වේ. එබැවින් "දැනගමු ඉගෙන ගමු ආයෝජනය කරමු" යන දැක්ම යටතේ “සැමට කොටසක්” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පාසැල් තුළ, උසස් පෙළ හදාරන, 13 ශ්‍රේණියේ, වයස 18 ට වඩා වැඩි දරුවන් සක්‍රීයව කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ කර ගැනීමේ අරමුණෙන් විධිමත් තෝරා ගැනීමේ පටිපාටියකට අනුව, රු. 10,000/- උපරිමයකට යටත්ව කොටස් කළඹක් ලබා දීමේ ව්‍යාපෘතිය හඳුන්වාදීමට යෝජනා කරනවා.
- ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට ඉහළ දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම දිරි ගැන්වීමට ක්‍රමවේදයක් (SME Listing Support Mechanism) හඳුන්වාදීමට යෝජනා කරනවා.
- ඉහත යෝජනාවන් වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව රු. මිලියන 250 ක් යොදවන අතර, ඒ සඳහා අමතර රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ඛණිජ සම්පත්
රට තුළ පවතින ඛණිජ සම්පත් තවමත් නියමාකාරයෙන් අප ආර්ථිකයට එක් කරගැනීමට අසමත්ව තිබෙනවා. ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල ශක්‍යතාවක් අප රට තුළ පවතිනවා. එම ඛනිජ සම්පත්වල ශක්‍යතාව අධ්‍යයනය හා ඛනිජ සම්පත් මඟින් ලැබෙන ප්රතිලාභ දේශිය ආර්ථිකයට එක් කිරීම සඳහා අවශ්‍ය පියවර ඛණිජ සම්පත් ජාතික ප්‍රතිපත්තිය තුළ ඉදිරිපත් කර තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ඛනිජ සම්පත්වල මුලික ශක්‍යතාව අධ්‍යනයන් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර ඛනිජ නිධි ගවේෂණය සඳහා ජාත්‍යන්තර වශයෙන් විශේෂඥ තාක්ෂණික දැනුම ලබා ගැනීමට කටයුතු කරනවා.
- අක්කර 102 ක වපසරියක පවතින කහටගහ මිනිරන් පතලේ පවතින මිනිරන් සංචිතයේ ප්‍රමාණය පිළිබඳව ගවේෂණය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා එක්ව සිදු කිරීමට නියමිතය. එම සංචිත ප්‍රමාණය හඳුනා ගත් පසු මිනිරන් කැණිම් හා සැකසුම් කටයුතු ද ඇතුළුව මිනිරන් අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
- ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සඳහා නැගෙනහිර වෙරළ තීරයේ ඛනිජ වැලි සහිත ග්‍රිඩ් 58 ක් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් මඟින් කැණිම් කරන ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමේ කර්මාන්තයකට ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත්කර තිබෙනවා.
- නාත්තණ්ඩිය ප්‍රදේශයේ පිහිටි අක්කර 40 ක ප්‍රමාණයක පවතින සිලිකා වැලි නිධිය ආශ්‍රිතව ගවේශණ මේ වන විටත් සිදුකරනවා. අදාළ ඛනිජ සම්පත් විභවතාවය හඳුනා ගැනීමෙන් අනතුරුව 2027 වසරේ දී සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට කටයුතු කරනවා.
- වැල්ලවාය ප්‍රදේශයෙහි පිහිටි කොටිගම්බොක්ක තිරුවානා නිධිය ආශ්‍රිතව මෙට්‍රික් ග්‍රිඩ් ඒකක 28 ක ප්‍රදේශයක් හඳුනාගෙන තිබෙනවා. එම තිරුවානා නිධිය කැණිම් කිරීම සහ අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයෙකු 2027 වසරේ දී හඳුනා ගැනීමට අදාළව කටයුතු කරනවා.
16. ධීවර කර්මාන්තය
ධීවර කර්මාන්තය රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන, දේශීය ප්‍රෝටීන අවශ්‍යතාවෙන් වැඩි ප්‍රතිශතයක් සපුරාලන සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලන ප්‍රධානතම කර්මාන්තයක්. නූතන තාක්ෂණය, විද්‍යාත්මක කළමනාකරණය සහ ධීවර ජනතාවගේ සුභසාධනය මුල් කරගත් නවීන ප්‍රවේශයක් හරහා ධීවර ක්ෂේත්රය වඩාත් ඵලදායී සහ තිරසර ක්ෂේත්රයක් බවට පත් කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව, ඩොලර් මිලියන 300 ක් වන අපගේ අපනයන ආදායම 2030 වන විට ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ධීවර වරායන් සංවර්ධනය, නාරා ආයතනයේ ධීවර කර්මාන්තයට අදාල නව පර්යේෂණ සිදු කිරීම ශක්තිමත් කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ධීවර කර්මාන්තය නඟා සිටුවීම සදහා රු. මිලියන 6,200 ක් වෙන්කොට තිබෙනවා.
- උතුරු පළාතේ ධීවර කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම්, නැංගුරම් පොළ හා පේසාලේ ධීවර වරාය සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- හලාවත, වෙල්ලමංකර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
- ගන්දර ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
- පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ මේ වන විට විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම, ප්‍රමාණවත් පරිදි ශීතාගාර පහසුකම් නොතිබීම, සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටළු රාශියකට මුහුණ දී ඇත. එම ගැටළු විසඳීම සඳහා රු. මිලියන 1,000 ක් හිමිකම් ප්‍රාග්ධනයක් ලෙස ලබා දීමට යෝජනා කරනවා. මෙම මධ්‍යස්ථානය නව ව්‍යාපාරික ව්‍යුහයක් යටතේ කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
- දැල් ආම්පන්න නිෂ්පාදනය හා අළුත්වැඩියාව සිදු කරනු ලබන නෝර්ත් සී ආයතනය සදහා නව තාක්ෂණික පහසුකම් ශක්තිමත් කිරීමට අවශ්‍ය යන්ත්රසූත්ර මිලදී ගැනීමට හා නව දැල් නිෂ්පාදන හා අළුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සදහා රු. මිලියන 500 ක ප්‍රතිපාදන හිමිකම් ප්‍රාග්ධනයක් ලෙස ලබා දීමට යෝජනා කරනවා.
- මිරිදිය ධීවර කර්මාන්තයට අදාලව සංවර්ධන කටයුතු සිදුකරනු ලබන පොලොන්තලාවේ ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය, සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ලංකා ධීවර සංස්ථාව සතු අලෙවිසැල් සංවර්ධනය කිරීම සදහා රු. මිලියන 200 ක් හිමිකම් ප්‍රාග්ධනයක් ලෙස ලංකා ධීවර සංස්ථාව වෙත ලබා දීමට යෝජනා කරනවා.
- මිරිදිය ජලාශයන්හි කූඩු තුල මත්ස්‍ය වගාව වැඩි අස්වැන්නක් ලබා දෙන බව නියමු ව්‍යාපෘති මඟින් තහවුරු වී තිබෙනවා. තවදුරටත් කූඩු තුළ මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධීවර ජනතාවට සහන සැලසීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ධීවර ක්ෂේත්රයේ තෝරා ගත් මහා පරිමාණ ව්‍යාපෘති ඉලක්ක කොට සංවර්ධන අවශ්‍යතා ඇගයීම හා ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීම සඳහා රු. මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
- සාගර සමීක්ෂණ, වාසස්ථාන සිතියම්ගත කිරීම, මත්ස්‍ය සම්පත් තක්සේරු කිරීම, නිරීක්ෂණ දත්ත රැස් කිරීම, රසායනාගාර විශ්ලේෂණ සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන කටයුතු තුළින් ධීවර සම්පත් කළමනාකරණය සඳහා වන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රු. මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා.
- ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෙක් කර්මාන්තයේ නියුතුව සිටිය දී ආපදාවක් හේතුවෙන් සිදුවන හදිසි මරණයක දී ලබාදෙන වන්දි මුදල රු. මිලියන 1 සිට රු. මිලියන 2 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
17. කෘෂිකර්මාන්තය
ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායයන් ගොවිතැන හා බැඳී පවතිනවා. කෘෂිකර්මාන්තයේ ශ්‍රම බලකායෙන් 23.9% ක් ද භූමි පරිහරණයෙන් 39% ක් පමණ ද, රාජ්‍ය ආයෝජන සහ සහනාධාර සඳහා පසුගිය වසර කිහිපයේ දී වාර්ෂිකව රු. බිලියන 200 කට අධික ප්‍රමාණයක් යොදා තිබුණ ද, ජාතික ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය 8.4% කට ආසන්න අගයක් ගන්නවා. මෙම දත්තවලින්ම පෙන්නුම් කරනු ලබන්නේ ගොවිජන ජීවිතයේ ගැටලුවයි. මෙම ක්ෂේත්රය, රැඩිකල් නව පරිවර්තනයකට ලක් නොකර මෙම අර්බුදයෙන් මිදීමට නොහැකි වෙනවා.
- මහා පරිමාණ කෘෂි නිෂ්පාදනය සහ ඒවායේ ගුණාත්මක බව ඉහළ නැංවීම, කෘෂි අගයදාමයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනවා.
- වගා නොකරන හෝ ඵලදායීතාවය අඩු කුඹුරු ඉඩම් නිවැරදි සමීක්ෂණයකින් හඳුනාගත් පසු ක්ෂේත්‍ර භෝග හෝ ස්ථාවර වගාවන් සඳහා යෙදවීමට කූඹුරු ඉඩම් අයිතිකරුවන්ට නිදහස ලබා දීමට යෝජනා කරනවා. එම තෝරාගත් භූමිවල, වගාවන් දිරි ගැන්වීමට රු. මිලියන 1,550 ක් වෙන් කර තිබෙනවා.
- කෘෂිකාර්මික යෙදවුම් තොග වශයෙන් මිලදී ගැනීම, පළිබෝධ සහ රෝග පාලනය ඒකාබද්ධව සිදු කිරීම, ජල සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව භාවිත කිරීම, වෙළෙඳපොළෙහි සිදුවන මිල ඒකාධිකාරයන්ට මුහුණ දීම, ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා තනි තනිව වගාවන් සිදු කිරීම වෙනුවට, සාමූහික "යාය" නිෂ්පාදන ප්‍රවේශයක් හඳුන්වා දෙනවා. එහි ආරම්භ පියවර වශයෙන් රු. මිලියන 400 ක් වෙන් කර තිබෙනවා.
- ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ගොවිජන සේවා මධ්‍යස්ථාන, ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම, යන්ත්‍රෝපකරණ සංචිත ඇති කිරීම, ගොවි ජනතාව සවිබල ගැන්වීම, තථ්‍ය කාලීන (real-time) තොරතුරු හුවමාරු කර ගත හැකි ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීම ආදී 'සියලු සේවා සපයන එක මධ්‍යස්ථානයක්' (One-Stop Shops) බවට පරිවර්තනය කරනවා. මෙය, ප්‍රධාන කෘෂි දිස්ත්‍රික්ක 5ක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.
- 2026 වසරේ දී වී වියලන යන්ත්‍ර ලබා ගැනීමට දැනටමත් තෝරාගෙන ඇති හා දැනටමත් යන්ත්‍ර ධාරිතාවය ඇති සමූපාකාර සමිතිවලට කඩිනමින් ක්‍රියාත්මකව වී අලෙවි මණ්ඩලය සතු වී මිලදී ගෙන වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කිරීම පහසු කරවීම සඳහා අනුමත ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීම සඳහා ප්‍රමුඛතාවය දී සහ සමූපාකාර සමිතිවලට සහල් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා දැනට ආහාර සුරක්ෂිතතාවය සඳහා වෙන් කර ඇති රු. මිලියන 700 ට අමතරව රු. මිලියන 300 ක මුදලක් යෝජනා කරනවා.
- රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම, වගා ඵලදායීතාවය වර්ධනය කිරීම, පසෙහි ගුණාත්මකභාවය පෝෂණ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ පද්ධතියක් (IPNM) අවශ්‍ය වෙනවා. මේ සඳහා වසර 4 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන අතර, 2027 වසර සඳහා ආරම්භයක් වශයෙන් රු. මිලියන 47 ක් වෙන් කර තිබෙනවා.
- පොහොර සහනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රු. 30,000 ක් ලබා දීමට අපේක්ෂිත අතර ඒ සඳහා රු. මිලියන 44,000 ක් වෙන් කර තිබෙනවා. මෙම වී වගාව හෙක්ටයාරයක් සඳහා රු. 30,000 ක් වූ සහනාධාරය, කුඹුරුවල වගා කරන අනෙකුත් භෝග සඳහා ද 2026/27 මහකන්නයේ සිට ලබා දෙනවා.
- කුරුඳු කර්මාන්තයේ ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම ඉලක්ක කර ගත්, සමස්ත අගය දාමයම වර්ධනය කිරීම සඳහා රු. මිලියන 400 ක් වෙන් කර තිබෙනවා.
17.1 පශු සම්පත්
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙහි හඳුනාගත් ගොවිපළවල්, "අභිජනන ගොවිපොළ" ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා. නිකවැරටිය ගොවිපළෙහි “කිරි ගව සහ මී ගවයන්” සඳහා ද, හොරකැලේ ගොවිපළෙහි “ඌරන්” සඳහා ද, සිරින්ගපාත ගොවිපළෙහි “බැටළුවන්” සඳහා ද, විශේෂිත න්‍යෂ්ටික ගහනයන් (Nucleus Herds) ස්ථාපනය කිරීමට අවශ්‍ය වන ඉහළ ජානමය ගුණාත්මයෙන් යුත්, මූලික අභිජනන සත්ත්ව ගහනයන් ආනයනය කිරීම සඳහා රු. මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා.
- බස්නාහිර සහ වයඹ පළාත් කේන්ද්‍ර කර ගනිමින් කුකුළු මස් හා කුකුළු මස් ආශ්රිත අතිරේක නිෂ්පාදන, විදේශ වෙළෙඳපොළ වෙත අපනයනය සඳහා විශේෂිත වූ ආර්ථික කලාපයක් පිහිටුවීමට ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- යුරෝ මිලියන 57 ක මුදලක් වැය කර එහෙත් දීර්ඝ කාලයක් අත්හිටුවා තිබූ මිල්කෝ බඩල්ගම නව කිරි සැකසුම් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රු. මිලියන 3,000 ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ දී ලබා දුන්නා. එහි වැඩ අවසන් කර මිල්කෝ කර්මාන්ත ශාලාව එහි ස්ථාපිත කිරීම වෙනුවෙන් 2027 වසර සඳහා රු. මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
2015 දී ආරම්භ කොට 2019 දී අවසන් කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය, දීර්ඝ කාලයක් අත්හිටුවා තිබීම හේතුවෙන් යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම්වලට හානි සිදුවීම, අතිරේක ප්‍රතිසංස්කරණ වියදම් ඇතිවීම, යන්ත්‍රෝපකරණ කොටස්වල මිල ඉහළ ගොස් තිබීම සහ කොන්ත්‍රාත්කරු විසින් ප්‍රමාද හිමිකම් ඉල්ලීම් ඉදිරිපත් කිරීම වැනි ගැටලු රැසක් මතුව තිබෙනවා. මේ වන විට මිල්කෝ සමාගම විසින් කොන්ත්‍රාත්කරු වන ඩෙන්මාර්කයේ DESMI සමාගම සමඟ ගැටළු විසඳා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා
- පුත්තලම, මන්නාරම හා මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්කවල එළු ගොවිපලවල් ස්ථාපිත කිරීම සඳහා, එම ගොවීන් වෙත සහන සැලසීම වෙනුවෙන් දැනට වෙන් කර ඇති රු. මිලියන 200 ට අමතරව තවත් රු. මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
17.2 වාරි අංශය
කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ දේශගුණික විපර්යාස හමුවේ ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ශක්තිමත් වාරිමාර්ග පද්ධතියක් සංවර්ධනය කර පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මෙම අයවැය තුළින්, වාරිමාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් හා ප්‍රමුඛතාගත මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින්, ක්‍රියාත්මක වෙන වාරි සංවර්ධන කටයුතු වේගවත් කිරීමටත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් රු. මිලියන 77,000 ක් වෙන් කර තිබෙනවා.
- “දිට්වා” හානියට පත් එල්ලංගා වැව් පද්ධති සහ ඒ හා අනුබද්ධ සුළු වාරි යටිතල පහසුකම් සහ කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 21,000 ක් ඇස්තමේන්තුකර තිබෙනවා. එම වැඩසටහන් දිට්වා ප්‍රතිපාදනවලින් 2026 වසරේ ආරම්භ කරන ලද අතර අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන 2027 වසරේ ලබා දෙනවා.
- යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ජල සුරක්ෂිතතාව වැඩිදියුුණු කිරීම සඳහා 2018 වර්ෂයේ දී යාපනය වාරිමාර්ග ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ඇති නමුත් එය මෙතෙක් ක්‍රියාවට නැංවී නැහැ. මෙම ව්‍යාපෘති ඇතුළු තවත් ශක්‍යතා අධ්‍යයනයන් වෙනුවෙන් රු. මිලියන 75 ක් වෙන් කර තිබෙනවා.
- අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික හා සමාජයීය සංවර්ධනය උදෙසා දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ කටයුතු වේගවත් කිරීම සඳහා රු. මිලියන 7,500 ක් වෙන් කර තිබෙනවා.
- මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, ගංවතුර අවදානම අවම කිරීමටත්, මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහාත් රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- හම්බන්තොට කර්මාන්තපුරය හා ඒ ආශ්රිත ප්‍රදේශවල ජල විභවතාවය 2040 වන විට ඝන මීටර් මිලියන 115 ක් පමණ වේ. ගෘහස්ත සහ කාර්මික අවශ්‍යතා සඳහා වසරකට ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 115 ක (MCM) අමතර ජල අවශ්‍යතාවයක් පවතී. මෙම අවශ්‍යතාවට විසඳුම් සෙවීම සඳහා, රක්වාන ගඟ, සමනලවැව ජලාශයේ අමතර ඵලදායී ජල ධාරිතාව සහ කිරිඳි ඔය ද්‍රෝණියට පවතින උමා ඔය ජල හුවමාරුව ඇතුළු ජල මූලාශ්‍ර හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබඳව ඒකාබද්ධ ජල තුලිතතා සහ පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- වෑමැඩිල්ල ජලාශයේ අතිරික්ත ජලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මී ඔය ද්‍රෝණිය වෙත හරවා යැවීම සඳහා වූ වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, වසර 50 කට වැඩි කාලයක් පැරණි රාජාංගණය උස්සාන වාරිමාර්ග ක්‍රමය නවීකරණය කිරීම, නවතා දමා ඇති සියඹලන්ගමුව ඔයේ සිට මහගල්ගමුව ඔය දක්වා පෝෂක ඇළෙහි වැඩ කටයුතු නිම කිරීම, ගම්පහ නගර ගංවතුර අවම කිරීම වැනි වාරි ව්‍යාපෘති සඳහා රු. මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.
- උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය ද ඇතුළත් මහවැලි ජල සුරක්ෂිතතා සහ ආයෝජන වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 19,500 ක් වෙන් කර තිබෙනවා.
- මොනරාගල දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් හැඩඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යනයන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි වාරිමාර්ග ව්‍යාපෘතිවල මූලික කටයුතු සඳහා අමතර රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වැව්, අමුණු, ඇල වේලි ප්‍රතිසංස්කරණය
- සුළු පරිමාණ වාරි ක්‍රම මඟින් වී හා අතිරේක ආහාර බෝග වගාව සඳහා අවශ්‍ය ජල සම්පාදනය, භූගත ජල මට්ටම සංතෘප්තව පවත්වාගෙන යාම, මිරිදිය ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ ජල පරිභෝජන අවශ්‍යතා ද සපයමින් ජන ජීවිතය සමඟ බද්ධව පවතිනවා. සුළු වාරි ක්‍රම සවිමත්ව පවත්වාගෙන යාම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රු. මිලියන 2,000 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. මීට අමතරව පළාත් සභා යටතේ ක්‍රියාත්මක වැව්, අමුණු හා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය හා නඩත්තුව වෙනුවෙන් රු. මිලියන 7,500 ක් වෙන් කර තිබෙනවා.
- වාරි මහිම - අපේ උරුමය වැඩසටහන යටතේ සුළු වාරිමාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 2,500 ක් වෙන් කර ඇති අතර, දිට්වා ආපදාවෙන් හානියට පත් සුළු වාරි ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 1,500 ක් ද වෙන් කර තිබෙනවා.
මේ ඇතුළු සුළු වාරි ක්‍රම පවත්වාගෙන යාම හා සංවර්ධනය සඳහා ඍජුවම රු. මිලියන 15,000 ක් පමණ වෙන් කර තිබෙනවා.
17.3 ඉඩම්
- දැනට ක්‍රියාත්මත වෙමින් පවතින බිම්සවිය වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 800 ක් වෙන් කර තිබෙනවා.
- ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම, ඉඩම් ලේඛන ඩිජිටල්කරණය සහ ඉඩම් තොරතුරු පද්ධති නවීකරණය කිරීම සඳහා වන වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර ඒ සඳහා රු. මිලියන 140 ක් වෙන් කර තිබෙනවා.
- රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව දෘඩ පිටපත් වශයෙන් පවතින ඉඩම් කැබලි මිලියන 3.5කට අදාළ සැලසුම් ඩිජිටල්කරණය කර, ඉඩම් තොරතුරු පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන ද 2027 වර්ෂයේ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. මේ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
18. වැවිලි අංශය
මේ වන විට වැවිලි අංශය මඟින් උත්පාදනය කෙරෙන ඩොලර් බිලියන 3 ක් වූ අපනයන ආදායම, 2030 වන විට ඩොලර් බිලියන 5 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා 2027 වැවිලි අංශයේ සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 13,000 ක් වෙන් කර තිබෙනවා.
- තේ නිෂ්පාදනයට 70%ක පමණ දායත්වයක් සපයන කුඩා තේ වතු අංශයේ සමස්ත ඵලදායීතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් දකුණ, සබරගමුව, වයඹ, බස්නාහිර, ඌව හා මධ්‍යම යන පළාත් ආවරණය වන පරිදි තේ ගම්මාන 500 ක් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 730 ක් වෙන් කර තිබෙනවා.
- කිරි නොකපා අතහැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය සඳහා වෙන් කර ඇති රු. මිලියන 500 ට අමතරව, සුදුසු ජල කළමනාකරණ තාක්ෂණයන් හඳුන්වාදීම මඟින් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් ඵලදායීතාව ඉහළ නැංවීම, රබර් දැවවල වාණිජමය ප්‍රයෝජන හඳුනාගැනීමේ පර්යේෂණ සිදුකිරීම සහ රබර් කර්මාන්තය ආශ්රිත රසායනාගාර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- ඵලදායීතාවය අඩු පොල් වතුවල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පොල් පුරුත්ථාපන ව්‍යාපෘතියට රු. මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
- තල් කර්මාන්තයේ අගය දාම වැඩිදියුණු කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ප්‍රවර්ධනය සහ නවෝත්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ තල් කර්මාන්තයේ තිරසර පරිවර්තනයක් ඇති කිරීමේ වැඩසටහනක් උතුර, නැගෙනහිර, දකුණ (හම්බන්තොට දිස්ත්‍රික්කය) හා වයඹ (පුත්තලම දිස්ත්‍රික්කය) යන පළාත් කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
- වැවිලි ශ්‍රම බලකායේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණෙන් ක්ෂේත්‍ර විවේකාගාර ඉදිකිරීම, වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රජාශක්ති මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
- කුඩා තේ ඉඩම්වල තේ නැවත වගාව සහ පාළු සිටුවීම සඳහා කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලබා දීම වෙනුවෙන් 2027 අයවැය මඟින් රු. මිලියන 820 ක් වෙන් කර තිබෙනවා.
- තේ වගාවේ පොහොර යෙදීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා කුඩා තේ වතු හිමියන් ලබා ගන්නා පොහොර මිටියකට රු. 4,000 ක සහනාධාරයක් ලබා දීම සඳහා රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- රබර් වගාකරුවන් දිරිගැන්වීම, නව වගාව සහ නැවත වගාව සඳහා සහන ලබා දීම සහ සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් වගාව ප්‍රචලිත කිරීම සඳහා රු. මිලියන 650 ක් වෙන් කර තිබෙනවා.
- රබර් වතුවල පොහොර භාවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පොහොර මිටියක් වෙනුවෙන් රු. 4,000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යොජනා කරනවා.
- වතු සේවකයින් සඳහා ගිය වසරේ ලබා දුන් දිනකට රු. 200 ක් වූ දිරි දීමනාව, 2027 වසරේ දීත් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- ප්‍රාදේශීය වැවිලි සමාගම් බදු ගිවිසුම් 2045 වර්ෂයේ අවසන් වීමට නියමිතව තිබෙනවා. එම බදු ගිවිසුම් සමාලෝචනය කොට වතු හිමියන්ගේ, සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි හා එම වතුවලින් එන ඵලදායීතාවය විශ්ලේෂණය කර එම ගිවිසුම් සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත් කර තිබෙනවා.
19. ක්‍රීඩා
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ දිනා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට හා නිරෝගි සම්පන්න ජීවිතයක් වෙනුවෙන් පොදු ජනතාව තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් සහ නිපුණතා සහිත විනිසුරුවන් හා පුහුණුකරුවන්ගෙන් සමන්විත මානව සම්පත ගොඩනැඟීම කෙරෙහි අප අවධානය යොමු කරනවා.
- ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා, ක්‍රීඩා විද්‍යාත්මක ක්‍රමවේද, ශාරීරික යෝග්‍යතා පුහුණුව, පෝෂණ උපදේශන, ක්‍රීඩා වෛද්‍ය සේවා සහ මානසික සූදානම් කිරීමේ පහසුකම් ලබාදීමට ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් (National High Performance Center) පිහිටුවනවා. මෙහි මුල් අදියර ටොරින්ටන් ක්‍රීඩාංගනය ආශ්‍රිතව ආරම්භ කෙරෙන අතර දෙවන අදියර දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
- සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීම, අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම හා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ කෘත්‍රිම ධාවන පථය ඉදිකිරීම සඳහා රු. මිලියන 1,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- පාසල් සිසුන්ගේ සහ තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමටත්, වැඩිහිටි පරපුර ක්‍රීඩා ක්ෂේත්රයන් සඳහා යොමුකිරීමේ අරමුණෙන් ක්‍රීඩා සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
- උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාතට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පහසුකම්වල ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතුළු ඉදිකිරීම් සඳහා දැනට වෙන් කර තිබෙන රු. මිලියන 50, රු. මිලියන 1,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා.
- ජාතික මට්ටමේ ඉහළ ක්‍රීඩා දක්ෂතා දක්වන පාසල් ළමුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පුද්ගලික හා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා වන ප්රවේශයන් ඉහළ නැංවීමට හා රැකියා අවස්ථාවන් ලබාදීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය දිරිගැන්වීම් සිදුකරනවා.
- ජාත්‍යන්තර තරගවල දී රන් පදක්කම්ලාභීන් වෙනුවෙන් ඇගයීම් දීමනා ලෙස ඔලිම්පික් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, ලෝක මළල ක්‍රීඩා උළලේ රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 75 ක් ද, ආසියානු රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 50 ක් සහ සාර්ක් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 15 ක් බැගින් ද ලබා දීමට යෝජනා කරනවා. මීට අනුරූපී වන පරිදි එම තරගවල රිදී හා ලෝකඩ පදක්කම් සහ සෙසු ජාත්‍යන්තර තරග වෙනුවෙන් ද ඇගයීම් දීමනා ලබාදීමට යෝජනා කරනවා.
- තරුණ-තරුණියන් දේශපාලන හා ප්‍රජා නායකත්වය සඳහා පුහුණු කිරීම හා ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරවීම අරමුණු කර ගනිමින් තරුණ දේශපාලන නායකත්ව ඇකඩමියක් රු. මිලියන 208 ක ඇස්තමේන්තුගත වියදමකින් ස්ථාපිත කිරීම සඳහා 2027 වර්ෂයට රු. මිලියන 77.5 ක් වෙන් කර තිබෙනවා. තව ද තරුණ අංශයේ නවෝත්පාදන දිරිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 45 ක් වෙන් කර තිබෙනවා.
මෙම යෝජනා ද ඇතුළත්ව 2027 වසර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අංශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රු. මිලියන 8,500 ක ආයෝජනයක් වෙන් කර තිබෙනවා.
20. සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම
සමාජ සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. එහෙත්, ගෘහස්ථ ජනගහන සංයුතියේ සහ සමාජ ගතිකත්වයේ සිදුවන සැලකිය යුතු වෙනස්කම් හේතුවෙන් රට තුළ නව අභියෝග රැසක් මතුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම, ගෘහස්ථ සාමාජික සංඛ්‍යාව අඩුවීම, වයස්ගත ජනගහනය ඉහළ යාම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය පහළ මට්ටමක පැවතීම මේ අතර ප්‍රධාන වේ.
- ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා, දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්රතිලාභ තවදුරටත් ලබා දෙමින් ඔවුන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීමට 2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230 ක් වෙන් කර තිබෙනවා.
- වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු. 2,500 කින් වැඩි කරනවා.
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500 කින් වැඩි කරනවා.
- දිළිඳුකම තුරන් කිරීම සඳහා ප්රමුඛ අවධානය යොමු කරමින්, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 25,000 ක් වෙන් කර තිබෙනවා.
- ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘතිවල සහය ඇතිව සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, විභවතාවය සහිත, සුදුසුකම්ලත් පවුල් ක්‍රමානුකූලව සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා රු. මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා.
- අවදානමට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් පවුල කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් හරහා දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 182 ක් වෙන් කර තිබෙනවා.
- අවදානමට සහ ආපදාවන්ට ගොදුරු වූ දෙමාපියන් අහිමි දරුවන් කේන්ද්‍ර කරගත් විකල්ප රැකවරණ ව්‍යුහයක් සඳහා රු. මිලියන 102 ක් වෙන් කර තිබෙනවා.
- ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සෑම අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක සහ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ආබාධිතතා අන්තර්කරණ කේන්ද්‍රස්ථානයක් (Disability Inclusion Focal Point) ස්ථාපිත කරනවා.
- ආබාධ සහිත තැනැත්තන්ගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ, වෛද්‍ය හෝ වෙනත් පහසුකම් සපයා ගැනීමට හැකියාවක් නොමැති පිරිසට එම පහසුකම් සලසා දීම සඳහා රු. මිලියන 150 ක මුදලක් ආබාධිත තැනැත්තන් සඳහා වන ලේකම් කාර්යාලය යටතේ වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන ජනාධිපති අරමුදල හා වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
- ප්‍රවේශ විය හැකි ඩිජිටල් රාජ්‍ය සේවා ස්ථාපිත කිරීම එනම් සියලු රාජ්‍ය ඩිජිටල් සේවා W3C ප්‍රවේශ පිරිවිතරවලට අනුව සැකසීමට පියවර ගැනීම අනිවාර්ය කරනවා.
- ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සහ රටේ වයස්ගත සහ අබාධිත සහිත තැනැත්තන්ගේ සංචලන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ආයතන තුළ භෞතික ප්‍රවේශය සහතික කිරීම සඳහා වැඩසටහනක් Clean Sri Lanka මඟින් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවදුටත් අවශ්‍යතාව ඉල්ලුම් කරන සෑම ආයතනයකටම ප්‍රතිපාදන ලබා දීම සහතික කරනවා.
- ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය යටතේ පවතින ‘පන්නල වෙල්කම් විලේජ්’ වැඩිහිටි නිවාසය ආදර්ශමත් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මිලියන 100 ක වෙන් කර තිබෙනවා.
- ‘රිදියගම කලන රැඳවුම්’ නිවාසයේ නිවාස අහිමි, යාචක පුද්ගලයන් සඳහා නව වාට්ටු හතරක් සහ අපජල කළමනාකරණ පද්ධතියක් ඉදිකිරීමට රු. මිලියන 75 ක් වෙන් කර තිබෙනවා.
- ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කරන අතර ආබාධිත සහිත දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට රු. මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
- රාජ්‍ය නොවන ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන ආබාධ සහිත තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානවල මූලික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් දැක්වීම සඳහා රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- අධි ධාරිතාවෙන් යුත් ළමා නිවාස සඳහා පහසුකම් සැලසීම රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්
- විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දුවාදරුවන්ගේ දැනුම හා හැකියාව මෙන්ම මව්බිමට තිබෙන බැඳීම රටේ අනාගත සංවර්ධන ගමනට සම්බන්ධ කරගැනීම සදහා අප නව ප්‍රවේශයක් ගත යුතු වෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් “ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි” වැඩසටහනක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා. ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරන අයදුම්කරුගේ කලත්‍රයාට, දූදරුවන්ට මෙන්ම තුන්වන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප යෝජනා කරනවා.
- විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50 ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30 ක් දක්වා 10% ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5% ක පොළී සහනාධාරයක් ලබා දීමට කටයුතු කරනවා.
පළමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කරනවා.
මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වර්ෂයේ දී රජයේ දායකත්වය ලෙස රු. මිලියන 1,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
21. ආපදා කළමනාකරණය
- JICA ප්‍රදානයක් ලෙස ලැබුණු, නිරවද්‍යතාවයෙන් ඉහළ කාලගුණ පුරෝකථනයන් සඳහා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කරනවා.
- ආපදා අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රු. මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා.
- පූර්ව අනතුරු ඇඟවීම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ලබා දීම සඳහා රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
- දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 670 ක් වෙන් කර තිබෙනවා.
- දැනට පවතින වෙරළ ආශ්රිත පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 ක් ප්‍රතිසංස්කරණය කිරීම හා දිස්ත්‍රික්ක 25 හි ගංවතුර, නායයෑම් සහ සුනාමි අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නව ගොඩබිම් කුළුණු 120 ක් ඉදිකිරීමට සහ බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
ඉහත යෝජනා ද ඇතුළත්ව නව ආපදා කළමනාකරණ ව්‍යාපෘති 13ක් සඳහා රු. මිලියන 2,900 ක් වෙන් කර තිබෙනවා.
- ප්‍රධාන වේලි පද්ධතීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණයන් සඳහා වේලි ආරක්ෂණ පනතක් හඳුන්වා දෙනවා.
22. සෞඛ්‍ය සේවය
මධ්‍යම රජයේ සහ පළාත් සභා මඟින් පාලනය වන සියලු වෛද්‍ය පද්ධති හරහා, සෑම පුරවැසියකුටම අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි මහජන සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් රු. බිලියන 131 ක් වෙන් කර තිබෙනවා.
- සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිගු කාලයක් මුළුල්ලේ බඳවා නොගැනීම හේතුකොට ගෙන විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පැවතුණා. සෞඛ්‍ය සේවය ගුණාත්මකව ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත වන වෛද්‍යවරුන් 1,797 ක්, දේශීය වෛද්‍යවරුන් 303 ක්, දන්ත වෛද්‍යවරුන් 64 ක්, හෙදියන් 3,441 ක්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 952 ක් සහ විවිධ අංශවල සහායක කාර්ය මණ්ඩල සඳහා 3,415 ක් බඳවාගෙන තිබෙනවා.
- ජනගහනයෙන් 5,000 - 10,000 අතර ප්‍රමාණයකට සමීප, රෝගීන් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවන් ලබාදීමේ අරමුණින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 39 නියමු ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වන අතර 2027 – 2029 කාලය තුළ පළාත් සභා සමඟ ඒකාබද්ධව රු. මිලියන 17,440 ක ආයෝජනයෙන්, මධ්‍යස්ථාන 1,000 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් 2027 වසර සඳහා රු. මිලියන 3,600 ක් වෙන් කර තිබෙනවා.
- එම ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලීම් හා ජාතික රෝහල් මට්ටමේ ප්රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික් මහ රෝහල් 20 ක් අතරින් පළාත් සභා මඟින් පාලනය වන මන්නාරම, මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, ගම්පහ සහ අවිස්සාවේල්ල යන දිස්ත්‍රික් මහ රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට යෝජනා කරනවා.
- තඹුත්තේගම මූලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා රු. මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- සියලුම රෝහල්වල රෝග හඳුනා ගැනීමේ සහ ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය MRI, CT, Cath Lab ඇතුළු, විධිමත් අධ්‍යයනයෙන් හඳුනාගත් ඉහළ මට්ටමේ ජෛව වෛද්‍ය උපකරණවල අවශ්‍යතාව වසර 03 ක් තුළ මුළුමනින්ම සම්පූර්ණ කිරීම වෙනුවෙන් රු. මිලියන 65,587 ක ප්රතිපාදනයක් අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් 2027 වසර සඳහා වෙන් කර තිබෙන රු. මිලියන 15,500 ක ප්රතිපාදනයට අමතරව රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- සෞඛ්‍ය සේවා තුළ අවුරුදු 20 කට වඩා පැරැණි ගිලන් රථ 400 ක් වන අතර එයින් 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25 කට වඩා පැරැණි ගිලන් රථ වේ. වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් ජනතාවට සහතික කිරීම සඳහා පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ගිලන් රථ 25 ක් ද ආසියානු සංවර්ධන බැංකුවේ සම්බන්ධීකරණයෙන් ජපානයෙන් ලැබෙන ප්‍රදානයක් ලෙස නව ගිලන් රථ 20 ක් ද ලබන වසර තුල එක් කරනවා.
- ගිලන් රථ 319 කින් සමන්විත 1990 සුවසැරිය සේවය ව්‍යාප්ත කිරීම සඳහා රු. මිලියන 1,725 ක ඉන්දීය ආධාර යටතේ නව ගිලන් රථ 100 ක් 2027 වසරේ එක්කරනවා.
- රු. මිලියන 3,155 ක පිරිවැයකින් යුතු අක්මාව ඇතුළු අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහල තුළ, දේශීය සහ විදේශීය ආයතන සහ සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් පිහිටුවනවා. 2027 වර්ෂයේ දී ආරම්භක කාර්යයන් සඳහා රු. මිලියන 50 ක් වෙන් කර තිබෙනවා.
- ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ලෝක මදුරුමර්දන වැඩසටහනේ (World Mosquito Program (WMP) තාක්ෂණික සහ රජයේ සම මූල්‍ය දායකත්වයෙන් ජෛව විද්‍යාත්මක වොල්බැකියා (Wolbachia) ඩෙංගු වාහක මර්දන ක්‍රමවේදය රට තුල පුළුල්ව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 400 ක් වෙන් කර තිබෙනවා.
- අක්ෂි ආබාධ හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන බාධා අවම කිරීම සඳහා පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ද්විතීයීක සහ තෘතීයීක සත්කාර සේවා සපයන රෝහල් ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව බදුල්ල සහ මඩකලපුව යන ශික්ෂණ රෝහල්, මාතලේ, නාවලපිටිය යන දිස්ත්‍රික් මහ රෝහල්, සහ පුත්තලම මූලික රෝහල තුල නිල නිවාස ඇතුළු නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීම සඳහා රු. මිලියන 1,245 ක් වෙන් කර තිබෙනවා.
- මාතර දිස්ත්‍රික් මහ රෝහල, කඹුරුගමුවේ කොටවිල ප්‍රදේශයේ ප්‍රතිෂ්ඨාපනය, කුරුණෑගල, කළුබෝවිල සහ කුලියාපිටිය ශික්ෂණ රෝහල්, ත්‍රිකුණාමලය සිද්ධ වෛද්‍ය ශික්ෂණ රෝහල, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල්, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ගම්පොළ මූලික රෝහල ඇතුළු රෝහල්වල හඳුනාගෙන ඇති සංවර්ධන ව්‍යාපෘතිවල සහ රෝහල්වල කාර්යය මණ්ඩල සඳහා නවාතැන් පහසුකම් ඇති කිරීමට සහ අවශ්‍යතාවය පරිදි කලාපීය ඖෂධ ගබඩා ඇති කිරීමට අදාල ශක්‍යතා අධ්‍යයන සහ මූලික සැලසුම් 2027 වර්ෂයේ දී සකස් කිරීම සඳහා රු. මිලියන 510 ක් වෙන් කර තිබෙනවා.
- රොබෝ තාක්ෂණය ආශ්‍රිතව ශල්‍යකර්ම (Robotic Surgery) සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීමට රාගම වෛද්‍ය පීඨය තුළ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම මධ්‍යස්ථානයේ වැඩකටයුතු සඳහා විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගීත්වයෙන් පුහුණුව ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා රු. මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- 2030 වන විට මෙරටින් සුනඛ ජලභීතිකාව තුරන් කිරීම සඳහා සුනඛ එන්නත් ලබාදීම, සුනඛ වන්ද්‍යකරණ වැඩසටහන් කාර්යක්ෂම කිරීම තුළින් “2030 වන විට ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්” වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුනඛ ජලභීතිකා මර්ධන වැඩසටහනට, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහාය මෙන්ම පළාත් පාලන ආයතන සතු යටිතල පහසුකම් ලබාගෙන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවලට දැනටමත් ලබාදී තිබෙන ප්‍රතිපාදන නිසි ලෙස සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරවීමට අපේක්ෂා කරනවා.
23. සංචාරක අංශය
ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයෙන් විවිධත්වයකින් සමන්විත වීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇති වැදගත්ම සහ ප්රබලතම විභවතාවයි. සංචාරක ව්‍යාපාර මෙරට ආර්ථිකය සක්‍රීය කරන විදේශ විනිමය උපයන සහ රැකියා උත්පාදනය කරන ප්‍රධානතම ක්ෂේත්රයකි. මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 2,245 කි. එනිසා, සංචාරක ව්‍යාපාරය මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමටත්, රැකියා උත්පාදනය කිරීමටත් අවධානය යොමුකර තිබෙනවා.
- සිංහරාජ සදාහරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කරගනිමින්, දකුණු සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක Southern Mist Triangle ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කර එය තවදුරටත් ශක්තිමත් කිරීමට රු. මිලියන 300 ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදල්වලින් යොදවනවා.
- ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන මධ්‍යගත මාර්ගගත ඊ-ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රු. මිලියන 133 ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රු. මිලියන 35 ක් වෙන් කර තිබෙනවා.
- ලෝක බැංකු මූල්‍ය සහාය ඇතිව ඩොලර් මිලියන 77 ක පිරිවැයකින්, කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඓතිහාසික හා පෞරාණික ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා.
- පොළොන්නරුවේ පිහිටි ඉන්දියානු ආධාර සහිත ත්‍රෛ-භාෂා පාසල් පරිශ්‍රය, ත්‍රෛ-භාෂා ඉගැන්වීම ඇතුළත්ව හෝටල පාසල බවට සංවර්ධනය කිරීමට හා පින්නවල හෝටල් පාසල සංවර්ධනය කිරීමට සඳහා රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- යාපනය, මන්නාරම, කල්පිටිය සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටු, සංචාරක සංවර්ධන කේන්ද්‍රස්ථාන බවට ඓතිහාසික උරුමයන්හි පෞරාණික වටිනාකම සහ සංරක්ෂණය තහවුරු කරමින් රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) යටතේ ප්‍රවර්ධනය කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතු ඌන උපයෝජිත අරමුදල්වලින් රු. මිලියන 240 ක් යෙදවීමට අපේක්ෂා කරනවා.
- සාගර සංචාරක කර්මාන්තය (Marine Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක සේවා සපයන්නන්ට බෝට්ටු ඇතුළු අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා සහනශීලී ණය යෝජනා ක්‍රමයක් සඳහා ණය යෝජනා ක්‍රමයකට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සතු අරමුදල්වලින් රු. මිලියන 500 ක් යෙදවීමට අපේක්ෂා කරනවා.
- කොළඹ වරායේ, සංචාරක නෞකා සංචාර (Cruise Tourism) මගී පර්යන්තයක් ස්ථාපිත කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතු අරමුදල්වලින් ගාල්ල, තංගල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මගී පර්යන්ත සේවා පහසුකම් නවීකරණය කිරීම සහ සංචාරකයන්ට සපයන සේවා පුළුල් කිරීමට රු. මිලියන 240 ක මූල්යනයක් කරනවා.
- ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා. විශේෂිත පුහුණුවක් ලබාදීම, බහුභාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව විශේෂ මුර සංචාර ඒකක පිහිටුවීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් හා ජංගම යෙදුමක් හඳුන්වාදීම මඟින් සංචාරකයන්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසීමට යෝජනා කරනවා.
24. පරිසර කළමනාකරණය
තිරසර ආර්ථික සංවර්ධනයක් උදෙසා පාරිසරික සමතුලිතතාව රැකගැනීම අපගේ යුතුකමක් වෙනවා. දේශගුණික විපර්යාසයන්ගේ අභියෝගයන්ට මුහුණ දෙමින්, ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් සහ හරිත ආර්ථික ප්‍රවේශයක් කෙරෙහි යොමු වෙමින් රටේ ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අපගේ මූලික වගකීමක් වෙනවා.
- වනජීවී ක්ෂේත්රයේ තිබෙන වැදගත්භාවය තේරුම්ගෙන තිබෙන අපගේ රජය එහි ආරක්ෂාවට හා කළමනාකරණය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා ශක්තිමත් කිරීම සඳහා වන සත්ත්ව නියාමකයින් 313 දෙනෙකු සහ විදුලි වැට නඩත්තු සහායකයින් 3,451 ක් බඳවාගෙන තිබෙනවා. අඩවි ආරක්ෂකයින් 114 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. වනජීවී සේවාවන් කාර්යක්ෂමව ලබා දීම වෙනුවෙන් 2026 වසරේ දී ඩබල් කැබ්රථ 16 ක්, සිංගල් කැබ් රථ 84 ක්, යතුරු පැදි 181 ක් සහ ට්‍රැක්ටර් 09 ක් ඇතුළු වාහන හා උපකරණ ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා එක්කර තිබෙනවා.
- අලි-මිනිස් ගැටුම අවම කරමින් මිනිස් ජීවිත සහ වන අලින් ආරක්ෂා කිරීමේ අරමුණින් 2026 ජූනි මාසයේ දී හඳපානාගල, කොහොලංකල, වැටහිර කන්ද අලි මංකඩ නිදහස් කර ඇති අතර නාච්චාදූව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරනවා.
- නව විදුලි වැට ඉදි කිරීමටත්, පවතින විදුලි වැට ප්‍රතිසංස්කරණය කිරීමටත්, රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා. මීට අමතරව වනජීවී අරමුදලෙන් ද රු. මිලියන 200 ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරනවා.
- වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ තාප සංවේදී කැමරා භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ දී එම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත්ව තිබෙනවා. එහි ප්‍රතිඵල අනුව මෙම ව්‍යාපෘතිය ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
- සත්ත්ව සුබසාධනය වෙනුවෙන් වන සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලක් ඉදිකිරීමට අනුරාධපුර දිස්ත්‍රිකයේ, නුවරගම් රක්ෂිත වනාන්තරය තුළ අක්කර 03 ක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන තිබෙනවා. මෙම රෝහල ස්ථාපනය කිරීම වෙනුවෙන් වනජීවී අරමුදලෙන් රු. මිලියන 700 ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා.
- සෑම ප්‍රදේශයකම අතරමං වන අලි පැටව් මේ වන විට පුනරුත්ථාපනය කරනු ලබනුයේ උඩවලවේ ඇත් අතුරු සෙවණේ වන අතර ඉතා විශාල දූරක් අලි පැටව් ප්‍රවාහනය කිරීමට සිදුවීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානමක පවතිනවා. ඒ නිසා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 15 ක භූමි ප්‍රමාණයක නව ඇත් අතුරු සෙවනක් ඉදිකිරීම වෙනුවෙන් ඇස්තමේන්තුගත රු. මිලියන 5,000 ක ප්‍රතිපාදන අදියර කිහිපයකින් වනජීවී අරමුදලෙන් ලබාදීමට අපේක්ෂා කරනවා.
- අනතුරට ලක්වන කැස්බෑවුන්, ඩොල්ෆින් ආදී සමුද්‍ර ජීවීන්ට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් දොඩන්දූව ප්‍රදේශයේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමේ ආරම්භක කටයුතු වෙනුවෙන් රු. මිලියන 50 ක් වනජීවී අරමුදලෙන් වෙන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජීව උරුමයක් වන වන අලි සම්පත ආරක්ෂා කරගැනීම, සිදුවන හිංසනයන් වැළැක්වීම උදෙසා නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
- අලි-මිනිස් ගැටුම හේතුවෙන් නිවාසයකට වන හානි සදහා ගෙවන වන්දි මුදල රු. ලක්ෂ 2 සිට රු. මිලියනය දක්වාත්, වන අලි ඇතුළු ආරක්ෂිත සතුන් පහර දිම හේතුවෙන්, මියයන හෝ පූර්ණ බෙලහීනතාවයකට පත්වන අයකුට ගෙවන වන්දි මුදල රු. මිලියන 1 සිට රු. මිලියන 2 දක්වා ත්, අර්ධ බෙලහීනතාවයකදී ගෙවනු ලබන වන්දි මුදල රු. 150,000 සිට රු. ලක්ෂ 5 දක්වාත්, නිවාස නොවන අනෙකුත් දේපල සඳහා ගෙවනු ලබන වන්දි මුදල රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 5 දක්වා වැඩි කිරිමටත් යෝජනා කරනවා.
- වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කරමින් දැනට පවතින සිර දඬුවමට අමතරව වන අලියෙකු මැරීම, දඩයම් කිරීම, වෙඩි තැබීම, තුවාල කිරීම හෝ අල්ලා ගැනීම සඳහා දැනට පවතින දඩය වන රු. 150,000 සිට රු. ලක්ෂ 5 දක්වා වූ දඩ මුදල, “රු. ලක්ෂ 5 සිට රු. ලක්ෂ 10 දක්වා” ඉහළ නැංවීමට යෝජනා කරනවා. අලියෙකු නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීම සඳහා දැනට පවතින රු. 150,000 සිට රු. 250,000 දක්වා වන දඩ මුදල, රු. ලක්ෂ 5 සිට රු. ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීම සඳහා, 2005 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
- වනජීවී රක්ෂිත තුල පවතින වැව් හිඳීයාමෙන් සතුන්ට ජලය හිඟවීමක් සිදුවිය හැක. මෙම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දැනට ප්‍රතිසංස්කරණය කළ යුතු බවට වනජීවි දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති වැව්, 2027 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණය කිරීම වනසත්ත්ව සංරක්ෂණ අරමුදල හරහා මුදල් වෙන් කරනවා. එමෙන්ම ඒ සඳහා අමතර රු. මිලියන 90 ක් 2027 අයවැයෙන් වෙන් කර තිබෙනවා.
- ඉහත ප්‍රතිපාදනවලට අමතරව, ඉදිරියේ දී ඇතිවේ යැයි අපේක්ෂිත එල්නිනෝ අවදානමෙන් මතුවිය හැකි අවශ්‍යතාවයන්ට මුහුණදීමේ පෙර සුදානමක් ලෙස රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- වෙරළ තීරයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තෙල් කාන්දුවීම්වලින් සිදුවන සමූද්‍ර සහ වෙරළ දූෂණයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට ජපාන සහයෝගීතාව යටතේ රු. මිලියන 3,380 ක යාත්‍රා සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා.
- නැගෙනහිර වෙරළ තීරයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුකපනේ ප්‍රදේශයේ වෙරළ ආරක්ෂාව, පරිසර වායු තත්ත්ව නිරීක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම, ඇතුළුව නව තිරසර පාරිසරික කළමනාකරණ ව්‍යාපෘති 10 ක් සඳහා රු. මිලියන 800 ක් වෙන් කර තිබෙනවා.
- දැඩි තර්ජනයකට ලක්ව තිබෙන මධ්‍ය කඳුකරයේ ආරක්ෂාව යනු අප ජාතියේ අනාගතයේ ආරක්ෂාවයි. ඒ වෙනුවෙන්, ඒකාබද්ධ ජල පෝෂක කළමනාකරණ ප්‍රවේශයක් ස්ථාපිත කිරීම සහ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා “ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරියක්” පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා වූ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම අධිකාරියට පැවරෙන කාර්යයන් වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක ණය ආධාරයක් ලබාගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
25. ප්‍රවාහනය
කාර්යක්ෂම, සුවපහසු, පොදු ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා, ප්‍රවාහන ක්ෂේත්රයේ නව යුගයක් ආරම්භ කිරීම අපගේ රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය කිරීම, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000 ක් යොදවනවා.
- මෙම වසරේ දී හඳුන්වා දුන් කොළඹ ආශ්රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.
- මෙට්‍රෝ බස් සඳහා මේ දක්වාම රජය ආයෝජනය කර තිබෙනවා. මේ වන විටත් බස්රථ 120 කට අධික සංඛ්‍යාවක් ධාවනය කරනවා. තවත් බස් රථ 50 ක් 2027 වර්ෂයේ දී එම සමාගමට එකතුවීමට නියමිතය. එයට අමතරව විදුලි බස් රථ හඳුන්වා දීමටත් අපි සැලසුම්කරලා තියෙනවා. ඒ සඳහා බස් රථ 100 ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතයි. එම බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම, ආරෝපණය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, පුහුණුව ලබා දීම ආදී කටයුතු ලබන වර්ෂයේ ආරම්භ කරනවා. ඒ සඳහා රු. මිලියන 4,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- පෞද්ගලික අංශය ද මෙට්‍රෝ බස් යෙදවීම දිරිමත් කිරීමට දැනට මාර්ග බලපත්‍ර හිමියන්ට තමන්ගේ දැනට පවතින බස් රථ වෙනුවට පත්ල පහත් නවීන බස්රථයක් ධාවනයට එක්කිරීම දිරිමත් කරනවා.
- දුර ගමන් සේවා මගීන් හට සුව පහසු සහ ආරක්ෂිත සේවාවක් සැපයීම උදෙසා වායු සමනය කරන ලද බස් රථ 600 ක් ආනයනය කිරීම සදහා දැනටමත් කටයුතු කර තිබෙනවා.
- කඳුකර පටු මාර්ග සහිත ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50 ක් මිලදී ගැනීමට රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ග්‍රාමීය ප්‍රදේශවල මගී සේවා සඳහා අවශ්‍ය ආසන 33 ප්‍රමාණයේ කුඩා බස් රථ 200 ක් ලබා ගැනීමට රු. මිලියන 4,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් පරිවර්තන සහ ඒකාබද්ධ කළමනාකරණ පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
- වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 600 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 700 ක් වෙන් කර තිබෙනවා.
- රථවාහන අනතුරු අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධ කරමින් නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
- දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5 ක් මිල දී ගැනීමට රු. මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.
- දිගු කාලයක සිට නිසි පරිදි නඩත්තුවට ලක් නොවූ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ වැඩසටහන වෙනුවෙන් 2027 වර්ෂයේ රු. මිලියන 2,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- මේ වන විට දිට්වා ආපදාවෙන් හානියට ලක් වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවා, කොළඹ හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කළා.
- ඉන්දීය රජයේ ණය ආධාර වැඩසටහන යටතේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වූ දුම්රිය මාර්ග කොටස, පේරාදෙණිය සිට ගම්පොළ දක්වා වූ උඩරට දුම්රිය මාර්ගය සහ මාතලේ දුම්රිය මාර්ගය නවීන ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව, වඩාත් සුරක්ෂිත හා ස්ථාවර ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමුවැනි කාර්තුව ඇතුළත ධාවනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර 2027 වසරේ මැද භාගය වන විට බදුල්ල දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- ඉන්දියානු රජය විසින් දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, නිවාස හා ජල සම්පාදන ව්‍යාපෘති සැකසීම, මොරගහකන්ද පාලම ඇතුළු පාලම් 13 ක් ප්‍රතිසංස්කරණය කිරීම, බේලි පාලම් ඉදිකිරීම සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු අංශවලට ආධාර ලබා දුන්නා.
- චීන රජයෙන් දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ විනාශ වූ පාලම් 14 ක් නැවත ඉදිකිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇති අතර ඒ මඟින් ගම්පහ, කෑගල්ල, අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි පාලම් නවයක් ප්‍රතිසංස්කරණ වැඩකටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
26. පානීය ජල සම්පාදනය
ජනතාවට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සහ කර්මාන්ත ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණාත්මකව ජලය සැපයීම වෙනුවෙන් රු. මිලියන 77,000 ක් වෙන් කර තිබෙනවා. තවද, පෞද්ගලික ආයෝජන කැඳවීම සලකා බලනවා.
- පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියා, නාගදීපය, වාලච්චේන, කෝට්ටේ, ඇතුළු නව ව්‍යාපෘති 13 ක් ආරම්භ කිරීම සඳහා රු. මිලියන 5,190 ක් වෙන් කර තිබෙනවා.
- කුණ්ඩසාලේ - හාරගම රු. මිලියන 34,368 ක පිරිවැයක් සහිත, ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භයට 2027 වසර සඳහා රු. මිලියන 1,800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ඇහැලියගොඩ රු. මිලියන 4,775 ක පිරිවැයක් සහිත, ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භයට රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කරච්චි, කන්දවාලෙයි, පූනකරි සහ පච්චිලයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින්, රු. මිලියන 41,140 ක පිරිවැයක් සහිත, විසල් කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භයට රු. මිලියන 1,800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- විසල් ගාල්ල නගර ජල සම්පාදන රු. මිලියන 37,501 ක පිරිවැයක් සහිත, ව්‍යාපෘතිය ආරම්භයට රු. මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
- හල්දුම්මුල්ල - බෙරගල ජල සම්පාදන ව්‍යාපෘතිය රු. මිලියන 3,262 ක පිරිවැයක් සහිත, ව්‍යාපෘතිය ආරම්භයට රු. මිලියන 700 ක් වෙන් කර තිබෙනවා.
- යටිමහන - මා ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය රු. මිලියන 22,158 ක පිරිවැයක් සහිත ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 2027 වසරේ දී ආරම්භ කිරීම සඳහා රු. මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.
- යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල පානීය ජලය සම්බන්ධයෙන් පවතින කරදිය කාන්දුවීම, අධික කඨිනත්වය (Hardness), අධික ඛනිජ ලවණ සහ බැක්ටීරියා අපවිත්‍රතා වැනි ගැටළු, පියවරෙන් පියවර විසඳීමට අඛණ්ඩවම ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ සඳහා මෙවර රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- පවතින පානීය ජල ව්‍යාපෘතිවල ධාරිතාව වැඩිදියුණු කිරීම හා බෙදාහැරීම පුළුල් කිරීම, සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 12,000 ක් වෙන් කර තියෙනවා.
- කුලියාපිටිය, පන්නල, බිංගිරිය, උඩුබද්දාව, ත්‍රිකුණාමලය සහ ගම්පොළ-ජයමාලපුර ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත හා වාණිජ කටයුතු සඳහා ජල අවශ්‍යතාව සපුරාලීමට ශක්‍යතා අධ්‍යයනයන්ට රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.
- දිවයින පුරා පවතින ප්‍රජා ජල සැපයුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා.
- සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ අපජලය විධිමත්ව කළමනාකරණය කිරීමේ අරමුණින් ඇල්ල, මොරටුව හා ඒකල අපජල කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 1,740 ක් වෙන් කර තිබෙනවා.
27. නිවාස සහ නාගරික සංවර්ධනය
ජාතියක ප්‍රගතිය සහ මානව සම්පතේ මූලිකම පදනම වන්නේ සුරක්ෂිත නිවසක් සහ සෞඛ්‍ය සම්පන්න නාගරික වටපිටාවක්. ඒ සඳහා ආර්ථික, සමාජ, හා භෞතික සංවර්ධනය ඒකාබද්ධව සැලසුම් කරමින්, ස්වභාවික හා ගොඩනඟන ලද පරිසරය ආරක්ෂා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම අපගේ අපේක්ෂාව වෙනවා.
- අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා "තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ නිවාස 70,000 ක් ඉදිකිරීම බලාපොරොත්තු වෙනවා. දැනට ආරම්භකර ඇති මෙම වැඩසටහන තුළ 2027 වසරේ නව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන යටතේ එක් නිවසක් වෙනුවෙන් ලබා දුන් ආධාරය රු. ලක්ෂ 10 සිට රු. ලක්ෂ 15 දක්වා වැඩි කරනවා. ඒ වෙනුවෙන් දැනට වෙන් කර තිබෙන ප්රතිපාදනය රු. මිලියන 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
- උතුරු-නැගෙනහිර පැවති යුධමය ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000 ක් තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකර නෑ. එම පවුල් වසර 2 ක් තුළ නැවත පදිංචි කර අවසන් කිරීම අප රජයේ ඉලක්කයයි. ඒ සඳහා රු. මිලියන 6,000 ක් වෙන් කර ඇති අතර තවත් රු. මිලියන 4,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- වතු ප්‍රජාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලබාදීම වෙනුවෙන් ඉන්දියානු රජයේ සහයෝගීත්වය ඇතිව ආරම්භ කළ නිවාස 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන තවදුරටත් වේගවත් කරනවා.
- අබරන්චිමුල්ල, සේරක්කුලිය, මංගලපුර, වවුනියාවේ කන්දසාමි හා නිත්‍ය නගර්, පීඩියාෆාම්, පොලොන්නරුව, මුලතිවු, තිස්සමහාරාමය, දිවුලපිටිය, දිඹුලාගල හා හෙන්නානිගල-දකුණ වැනි ප්‍රදේශවල දිට්වා ආපදාවට ලක් වූ එහෙත් පවතින නිර්ණායක හේතුවෙන් නිවසක් හිමි නොවූ පිරිසට නිවාස ලබා දීම සඳහා ප්‍රතිපාදන රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- 2015 - 19 වසරවල දී ආරම්භ කරන ලද රු. 20,000, රු. 40,000 වැනි කුඩා මූල්‍ය ආධාර මත ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අතරමඟ අඩාලවීම හේතුකොටගෙන එම නිවාසවල හිමිකරුවන් විශාල දුෂ්කරතාවන්ට පත්ව තිබේ. අඩක් නිම කර ඇති නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් සපුරාලන ප්‍රතිලාභීන් වෙත රු. ලක්ෂ 5 දක්වා මූල්‍ය ආධාර සඳහා රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- දිට්වා නිවාස ව්‍යපෘතිය යටතේ නිවාස ඉදිකිරීම සඳහා රු. මිලියන 90,000 ක් පරිපූරක ඇස්තමේන්තුව මඟින් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000 ක අවශ්‍යතාවයක් හඳුනාගෙන ඇති අතර එයින් මේ වනවිටත් නිවාස 16,000 කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් පූර්ණ වශයෙන් අවසන් කර ඇති අතර තවත් නිවාස 5,000 ක ඉදිකිරීම් අර්ධ වශයෙන් අවසන් කර තිබෙනවා. අර්ධ වශයෙන් අවසන් කර ඇති ටොරින්ටන්, කොළඹගේ මාවත, කොළොන්නාව, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ දෙමටගොඩ නිවාස ව්‍යාපෘති 2027 වර්ෂයේ අවසන් කරනවා. මීතොටමුල්ල සහ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශවල නව නිවාස සංකීර්ණවල ඉදිකිරීම් ආරම්භ කිරීම ද යෝජනා කරනවා. මේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා රු. මිලියන 26,820 ක් වෙන් කර තිබෙනවා.
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්, මාලිගාවත්ත සහ යක්කල ප්‍රදේශවල නව මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති 2 ක් පෙර විකුණුම් ක්‍රමවේදය මත 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
- නගර සංවර්ධනය සඳහා නගර සන්නාමකරණය, සංචාරක නගර සංවර්ධනය වෙනුවෙන් යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගර දහය විධිමත් හා ක්‍රමවත් නගර බවට පරිවර්තනයට කටයුතු දැනටමත් ආරම්භ කර තියෙනවා. ඒ වෙනුවෙන් රු. මිලියන 2,700 ක් වෙන් කර තිබෙනවා.
- මීට අමතරව, නගර 19 ක්, ත්‍රිකුණාමලය, කන්තලේ, කල්මුණේ, දෙහිවල, කළුතර, පානදුර, මතුගම, මහරගම, රත්නපුර, කෑගල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, ගාල්ල, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තණ්ඩිය, කිරිබත්ගොඩ සහ නුවරඑළිය නගර, සංවර්ධන කටයුතුවලට රු. මිලියන 65,000 ක ව්‍යාපෘති ඇස්තමේන්තුවකින් ලබාදී ඇති ප්‍රතිපාදනයන්ට අමතරව 2027 වසරට රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- නාගරික පහත්බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම සඳහා ජලාපවහන පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාම, ගංවතුර අවස්ථාවල දී හදිසි මෙහෙයුම් කටයුතු සිදු කිරීම මෙන්ම කුඩා ඇළ මාර්ග හා ජලාපවහන පද්ධති ක්‍රමවත්ව නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඉහළ යමින් පවතී. ඒ සඳහා රු. මිලියන 1,250 ක් වටිනා බහුකාර්ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට ලබා ගැනීමට කටයුතු කරන අතර එයින් රු. මිලියන 625 ක් රජයේ හිමිකම් ප්රාග්ධනය ලෙස ලබා දීමට යෝජනා කරනවා.
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන හා තමන්ගේ ව්‍යාපාරයක යෙදෙන පවුල්වල නිවාස ගැටලුව විසඳීම සඳහා රජය, පෞද්ගලික අංශය, බැංකු හා මුල්‍ය සමාගම් ඒකාබද්ධව නිවාස සැපයීම දිරිගැන්වීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර 5 ක කාලය තුළ ප්‍රධාන නගරවල මහල් නිවාස ඒකක 10,000 ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අප බලාපොරොත්තු වෙනවා.
නාගරික ගං වතුර පාලනය
- කොළඹ නගරය හා තදාසන්න නගරවල ප්‍රධාන ඇළ මාර්ග නිසි කලට නිසි ලෙස නඩත්තු නොකිරීම හා වැසි වතුර ගලා යන ඇළ මාර්ගවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම මෙයට හේතුවයි. කොළඹ නගරය ආශ්‍රිතව දැනටමත් වැඩ ආරම්භ කර ඇති කොලොන්නාව හා ඔලියමුල්ල ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිවලට අමතරව 2027 වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂිත වත්තල, කැලණිය, බියගම ප්‍රදේශවල ගංවතුර වැළැක්වීමේ අරමුණ කරගත් මුදුන් ඇළ ව්‍යාපෘතිය, පිළියන්දල හා කැස්බෑව වැසි ජලාපවාහන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, උතුරු කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනයට සෙබස්තියන් ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හා කිරුලපන ඇල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්රමුඛ වේ.
- එසේම, හැමිල්ටන් ඇළෙහි කොටසක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. තවද, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව හා මොල්ලිගොඩ බිඳුණු ඇළ ව්‍යාපෘතිය, දික්වැල්ල, බේරුවල සහ රත්ගම වැසි ජලාපවාහන පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති 2027 වසරේ ආරම්භ කරනවා.
- කොළඹ සහ තදාසන්න නගරවල හඳුනාගත් ඇල මාර්ග පිළිසකර කිරීම, පිළියන්දල- කැස්බෑව අතුරු මාර්ගයට යාබදව ඇති වැසි ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළත් නාගරික ගංවතුර පාලනය සහ පරිසරය පද්ධතීන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘති වෙනුවෙන් රු. මිලියන 3,200 ක් වෙන් කර තිබෙනවා.
- එමෙන්ම, දැනට ක්‍රියාත්මක මල්වතු ඔය ව්‍යාපෘති මඟින් මන්නාරම දිස්ත්‍රික්තයේ ගංවතුර ගැටලුවට ද විසදුමක් ලබා දෙනවා. තවද, අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ගංවතුර ගැටලුවට ඍජුවම බලපාන මුන්දෙනි ආරු ව්‍යාපෘතියට අදාළ මුලික වැඩකටයුතු ද ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, වැසි ජලය කළමනාකරණය සඳහා රු. මිලියන 7,700 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- බේරේ වැව තිරසර ලෙස සංවර්ධනය කිරීම හා අවට භූමි භාවිතය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර, සංවර්ධන සැලැස්මක් සකස් කිරීමත්, එතෙක් දැනට හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් රු. මිලියන 900 ක් වෙන් කර තිබෙනවා.
- නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාවය මා විසින් පසුගිය අයවැයෙන් අවධාරණය කළා. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා.
28. මහජන ආරක්ෂාව
- ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි ඩිජිටල්කරණය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පූර්ණ ලෙස නවීකරණය, නාරාහේන්පිට පොලිස් රෝහල සංවර්ධනය, අත්තිඩිය පොලිස් පුහුණු ආයතනය සංවර්ධනය, මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම, විශේෂ කාර්ය බලකායේ ගෝනාහේන, කුරුණෑගල, අරන්තලාව, කෑගල්ල සහ කිරිඳිවැල කඳවුරුවල පහසුකම් සහ යටිතල පහසුකම් උසස් මට්ටමකට නංවාලීම වෙනුවෙන් රු. මිලියන 9,500 ක් වෙන් කර තිබෙනවා.
- වඩා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණෙන්, දැනට කොළඹ නගරයේ විවිධ ස්ථානවල, කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශ එක් ගොඩැනැඟිල්ලක ස්ථාපිත කිරීම වෙනුවෙන් නව පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- කොළඹ කොටුවේ ඉතාමත් අබලන් වූ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මර්දනය වැනි කාලීනව වෙනස්වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය නවීන පහසුකම් සහිත, මහල් 15 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
- 2027 වසරේ ජූනි මාසයේ දී පොලිස් නිලධාරීන් සඳහා අප රටේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන, නවීන තාක්ෂණික උපකරණවලින් ද යුත් නව නිල ඇඳුමක් ලබාදීමට යෝජනා කරනවා.
- විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස් පුනරුත්ථාපනය කර, නැවත සමාජගත කිරීම “රටම එකට” ජාතික මෙහෙයුමේ දිගුකාලීන, වැදගත් අරමුණක්. ඒ සඳහා සේනපුර සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, උපදේශන හා ප්‍රතිකාර සේවා සහ වෘත්තීය පුහුණු පහසුකම් පූර්ණ ලෙස සංවර්ධනය සඳහා රු. මිලියන 180 ක් වෙන් කර තිබෙනවා.
- ආගමන හා විගමන කටයුතු, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුගත වෙමින්, දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සහ වීසා අර්බුද හා සංකූලතා හේතුවෙන් තාවකාලිකව රඳවා ගන්නා විදේශිකයින් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සහිතව වත්තල තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය මෙහෙයුම් කටයුතු ඉහළ නංවන්න ත්‍රිකුණාමලයේ නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීම සහ ආගමන විගමන කටයුතු ඩිජිටල්කරණය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් රු. මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා.
- ආයෝජනයේ ප්‍රමාණය හා අදාල අනිකුත් නිර්ණායක මත පදනම්ව ආයෝජකයන් හට නිත්‍ය පුරවැසිභාවය ලබා දීමට නීති සම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.
29. අධිකරණ
රටක ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය (Rule of Law) සාක්ෂාත් වීමේ මූලිකම පදනම වන්නේ ප්‍රමාදයකින් තොරව සාධාරණව යුක්තිය පසිඳලීමේ හැකියාවයි. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති යටිතල පහසුකම් හිඟකම, තාක්ෂණික නොදියුණු බව සහ පද්ධතිමය ප්‍රමාදයන් හේතුවෙන් අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්රය දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. අධිකරණ ක්ෂේත්රයේ යටිතල පහසුකම් ඉහළ නංවමින්, නවීන තාක්ෂණය මුසු කරමින් සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ සිදු කරමින් විසඳුම් ලබා දීමට යෝජනා කරනවා.
- යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කලුතර, මහනුවර, සහ කොළඹ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115 ක් වෙන් කර තිබෙනවා.
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් රු. මිලියන 60 ක් වෙන් කර තිබෙනවා.
- අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට ඩිජිටල්කරණයේ සහාය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ අංගයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ඊ-ගොනුකිරීමේ ද්වාරය, කඩදාසි රහිත (Paperless) නඩු විභාග කිරීමේ හැකියාව, ඒකාබද්ධ නඩු කළමනාකරණය සහ මාර්ගගත ගෙවීම් (e-CMS) දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ක්‍රියාත්මක කිරීම දැනට අවසන් කර ඇති අතර අනෙක් අධිකරණ තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුල දැඩි තදබදයක් ඇතිවී තිබෙනවා. බන්ධනාගාර 22 ක් හා වැඩ කඳවුරු 14 ක් තුල පුද්ගලයින් 16,500 ක් පමණ රඳවා ගැනීමේ ධාරිතාවය ඉක්ම ගොස් මේ වන විට ඉන් දෙගුණයක් පමණ වන 36,500 කට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා සිටිනවා. මෙම තදබදයත්, මත්ද්‍රව්‍ය උවදුර නිසාත් බන්ධනාගාර තුළ ඇති වූ අවාසනාවන්ත සිදුවීම් වලින් නිලධාරීන් මෙන්ම රැඳවියන්ද ජීවිතක්ෂයට පත්වුණා.
- වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය නිසා එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රු. මිලියන 300 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ගාලු උරුම නගර සංවර්ධන සැලැස්මට හා සංචාරක කලාපීය ප්‍රවර්ධන කටයුතුවලට අනුකූලව, වත්මන් ගාල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රු. මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- දැනටමත් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කර තිබෙන වාරියපොල සහ වටරැක බන්ධනාගාරවල රඳවා ගැනීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා එම බන්ධනාගාර පුළුල් කිරීම වෙනුවෙන් රු. මිලියන 1,000 ක් වෙන් කර තිබෙනවා.
- මාතර බන්ධනාගාරය, මාතර කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
30. ජාතික ආරක්ෂාව
- ආරක්ෂක අංශ මඟින් පවත්වාගෙන යනු ලබන පර්යේෂණ, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ, “ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය” පිහිටුවීම සඳහා ප්‍රතිපාදන රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.
- ආරක්ෂක හමුදාවන් වෙත ඉදිකිරීම් කටයුතු සඳහා බඳවා ගත් කණ්ඩායම් සිටිනවා. මෙම පිරිස රජයේ විවිධ සංවර්ධන වැඩසටහන්වලට යොදා ගන්නා විට ඒ සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට යෝජනා කරනවා.
- 2009 ට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ දෙමාපියන්ට දක්වන ගෞරවයක් වශයෙන්, දැනට මවට හා පියාට ගෙවන රු. 750 ක මාසික දීමනාව ඉහළ දැමීම සඳහා සහ එය 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කරනවා.
- රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සඳහා උපදේශන සේවා ලබා දීමේ ආයතනයක් ත්‍රිවිධ හමුදාව තුළ සිටින ඉංජිනේරු ඇතුළු වෘත්තිකයින් අනුයුක්ත කර පිහිටුවනවා. රජයේ ව්‍යාපෘති සැලසුම් කිරීම, අධීක්ෂණය හා සුපරීක්ෂණය කාර්යයන්වල දී උපදේශන ආයතනයක් ලෙස මෙම ආයතනය කටයුතු කරනවා.
- ආරක්ෂක අමාත්‍යාංශයේ ඩිජිටල් හා සයිබර් ආරක්ෂක පද්ධති නවීකරණය කිරීම, ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීම සහ දේශසීමා ආරක්ෂක තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නිවේදන හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා නව මුර යාත්‍රා, ටග් යාත්‍රා සහ නවීන රේඩාර් පද්ධති ලබාදීමටත් අපේක්ෂා කරනවා.
31. සංස්කෘතික හා ජාතික උරුමයන්
සියලු ජාතීන් හා ආගම් එක් පවුලක් සේ සහජීවනයෙන් ජීවත් වීම තුළින් අපගේ ජාතික අනන්‍යතාවය තහවුරු කොට තිබෙනවා. එම උරුමයන් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා විධිමත් ලෙස සංරක්ෂණය කිරීම අපගේ ප්රමුඛ වගකීමක්.
මේ සඳහා, ජාත්‍යන්තරයේ මෙන්ම දේශීයව භාවිත වන ත්‍රිමාණ ස්කෑනිං (3D Laser Scanning) වැනි ඩිජිටල් තාක්ෂණික නව්‍යතා ඔස්සේ පූජනීය සිද්ධස්ථාන, ඓතිහාසික කෞතුක වස්තු හා සංස්කෘතික අනන්‍යතා ඩිජිටල්කරණය කර සංරක්ෂණයට පියවර ගන්නවා. මෙමඟින් ස්වාභාවික ආපදා හෝ කාලගුණික බලපෑම් හමුවේ වුවද ජාතික උරුමයන්ගේ නිවැරදි ත්‍රිමාණ ආකෘති සදාකාලිකව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
විවිධ ජාතීන් හා ආගම් සමඟ බැඳුණු කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් රු. මිලියන 7,000 ක් වෙන් කර තිබෙනවා.
- අනුරාධපුරය ශ්‍රී ලංකාවේ අද්විතීය ඓතිහාසික පුරාවිද්‍යාත්මක ආගමික හා සංස්කෘතික උරුමයන් රැසක් ඒකරාශී වූ ජාතික හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් පූජා භූමියකි. එය බෞද්ධ ශිෂ්ඨාචාරයේ ඓතිහාසික උරුමය නියෝජනය කරනවා. එබැවින් එහි පුරාවිද්‍යාත්මක හා ජූජනීයත්වය අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගැනීම, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම මාර්ග ප්‍රතිසංස්කරණය, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා මේවන විටත් වැඩබලන අටමස්ථාන නායක ස්වාමීන්වහන්සේ ගේ සම-සභාපතිත්වයෙන් උපදේශන සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා, මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2027 වර්ෂය සඳහා රු. මිලියන 1,076 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රු. මිලියන 8,200 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර 2027 වසර සඳහා රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- 2026 ආරම්භ කරන ලද යතිවර මාපිය නිවාස වැඩසටහන 2027 වසරට ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙනවා.
- දිට්වා ආපදාව හේතුකොටගෙන හානියට පත් වූ බෞද්ධ විහාරස්ථාන 758 ක්, හින්දු ආගමික ස්ථාන 272 ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199 ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99 ක් වශයෙන් ආගමික ස්ථාන 1,328 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 722 ක ප්‍රතිපාදන රජය විසින් සලසා දී තිබෙනවා. මෙයට අමතරව විනාශයට පත්වූ ආගමික ස්ථාන 1,328 අතරෙන් බුද්ධශාසන අරමුදලින් බෞද්ධ විහාරස්ථාන 30 ක් සඳහා රු. මිලියන 40 ක් ද, මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආගමික සිද්ධස්ථාන ඇතුව පුරාවිද්‍යා ස්ථාන සඳහා රු. මිලියන 523 ක් ද අනගාරික ධර්මපාල භාරය මඟින් ඉන්දියානු මහා බෝධි සංගමයෙන් පරිත්‍යාග කරන ලද මුදලින් විහාරස්ථානයක් ද ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
32. ජනමාධ්‍ය
- ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, විකාශන පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන උපකරණ හා තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489 ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පුනරාවර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කර තිබෙනවා
- නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන දියුණුවට ගැලපෙන ලෙස ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
33. Clean Sri Lanka
- භෞතික පිරිසිදුකමට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකික ජන ජීවිතය සමාජයීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් යහපත් දිශාවකට පරිවර්තනය කිරීම අරමුණු කරගත් Clean Sri Lanka වැඩසටහන තුළින් සමාජයීය අංශය යටතේ ජීවන ගුණාත්මකභාවය, ගෞරවය, ආරක්ෂාව, සමාන ප්‍රවේශය, ඇතුළත්භාවය, ප්‍රජා සහභාගීත්වය හා සමාජ සමගිය ශක්තිමත් කිරීමත්; පාරිසරික අංශය යටතේ පරිසර ආරක්ෂාව, සංරක්ෂණය, stewardship, ජෛව විවිධත්වය, වගකීමෙන් සම්පත් භාවිතය හා තිරසරභාවය ප්‍රවර්ධනය කිරීමත්; ආචාරධර්මීය අංශය යටතේ වගකීම, අවංකභාවය, විනය, සාධාරණත්වය, කාර්යක්ෂමතාව හා පොදු සම්පත් පිළිබඳ වගවීම ශක්තිමත් කිරීමයි. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 6,000 ක් වෙන් කර තිබෙනවා.
- හරිත මාවත, ක්ලීන් කලම්බු, ක්ලීන් අයිලන්ඩ්ස්, ක්ලීන් සිටි, ක්ලීන් ශ්‍රී ලංකා–අත්තම, සිහින ගමනාන්ත දුම්රිය ස්ථාන නවීකරණය සහ ප්‍රමිතියෙන් යුත් පොදු සනීපාරක්ෂක පහසුකම් වැනි භෞතික පහසුකම් සැපයීම හා තිරසර නඩත්තුව ශක්තිමත් කිරීම, අලි සුපෝෂණ කලාප ඇතුළු පාරිසරික සංවර්ධන වැඩසටහන් සහ ජනතා පුරුදු, ප්‍රජා සහභාගීත්වය, ආයතනික වගකීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
- “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ දැනට 32% ක මට්ටමට තිබෙන අපද්‍රව්‍ය එක්රැස් කිරීම 2029 වන විට 60% ක් දක්වා ඉහළ නැංවීම, ආරක්ෂිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැඟීම අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතිය Clean Sri Lanka තුළින් තෝරාගත් පළාත් පාලන ආයතන 100 ක් තුළ ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත Clean Island ව්‍යාපෘතිය මඟින් ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දූපත් ඒකාබද්ධ සංවර්ධනය හා පරිවර්තනය සඳහා ආදර්ශ දූපත් ලෙස සංවර්ධනය කරනවා.
34. රාජ්‍ය පරිපාලනය හා මහජන සේවා
- පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන හැකියාව ඉහළ නැංවීම, පවතින සම්පත් ඵලදායීව භාවිතා කිරීම සහ මුල්‍ය තිරසරභාවය ශක්තිමත් කිරීම සඳහා සිව් අවුරුදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මෙමඟින් පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර, මේ වෙනුවෙන් රු. මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- කුරුණෑගල මහා නගර සභාව විසින් ආරම්භ කර නිම කිරීමට නොහැකිව අත්හැර දමා තිබෙන Capital Square ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු සම්පුර්ණ කිරීම සඳහා රු. මිලියන 575 ක ප්‍රතිපාදන පළාත් සභා අරමුදල්වලින් ලබා දීමට යෝජනා කරනවා.
- දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සහ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක් දිස්ත්‍රික්කයකට රු. මිලියන 2,000 ක් බැගින් රු. මිලියන 50,000 ක ප්‍රතිපාදන ලබා දීමට සැලසුම් කරනවා. එයින් රු. මිලියන 47,750 ක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා. ඉතිරි රු. මිලියන 2,250 විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහාත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රු. මිලියන 10 බැගින් දැනටමත් වෙන් කර තිබෙනවා.
- ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා මාර්ග මෙන්ම පාලම් ද වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රු. මිලියන 55,000 ක් වෙන් කර තිබෙනවා. එයට අමතරව, පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය සහ පළාත් පාලන ආයතන තුළ පවතින ග්‍රාමීය පාලම් වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 5,500 ක් ද, පළාත් සභා මාර්ග නඩත්තුව සහ පුනරුත්ථාපනය සඳහා රු. මිලියන 20,000 ක් ද වෙන් කර තිබෙනවා. ඒ අනුව, දැනට වෙන් කරන ලද රු. මිලියන 80,000 ට අමතරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන තුළ වෙන් කර ඇති ප්රතිපාදනය ද සමඟ රු. මිලියන 100,000 ක පමණ මුදලක් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර තිබෙනවා.
- මහජනතාව වෙත කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවයක් සැපයීමේ අරමුණින් වව්නියාව, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිකිරීම සඳහා රු. මිලියන 1,100 ක් වෙන් කර තිබෙනවා.
- ප්‍රාදේශීය මටිටමින් මහජන සේවා වඩාත් විධිමත් කිරීම සඳහා දෙහිඅත්තකණ්ඩිය සහ ඇලපාත නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා රු. මිලියන 265 ක් වෙන් කර තිබෙනවා.
- පළාත් පාලන ආයතනවලට වැටුප් සඳහා මුදල් ලබා දීමේදී දැනට ක්‍රියාත්මකවන 20% කින් හා 40% කින් සීමා කිරීමේ ක්‍රමවේදය නිසා ඇති වී තිබෙන දුෂ්කරතා මඟ හැරවීමට 2027 වර්ෂයේ සිට වඩාත් සාධාරණ හා සරල ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, 2027 වර්ෂයේ දී මූල්‍යමය වශයෙන් ඉතා දුර්වල මට්ටමක පවතින පළාත් පාලන ආයතන 46 ක් සඳහා ද, එම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල වැටුප් සඳහා වියදම් වෙනුවෙන් අවශ්‍ය 100% ක් ප්‍රතිපාදන ආවරණය කිරීමට යෝජනා කරනවා. අනෙකුත් පලාත් පාලන ආයතන සඳහා ද මෙම ප්‍රතිශතයන් වෙනස් කිරීමට යෝජනා කරනවා. මෙම ආයතන ඉදිරිපත් කරනු ලබන සැලසුම් මත මූලධන වැඩසටහන් සඳහා සහය දැක්වීමට රු. මිලියන 1,750 ක් වෙන් කර තිබෙනවා.
- රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමත්, මහජනතාවට ගුණාත්මක සේවාවක් සැලසීම සඳහා දැනටමත් වැඩ ආරම්භ කර ඇති කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මීගමුව, හෝමාගම, කළුතර, පිටබැද්දර, අගුණකොලපැලැස්ස, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් නිම කිරීම සඳහා රු. මිලියන 1,100 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- රාජ්‍ය ආයතන සතු පැරැණි පරිගණක සංචිතය වෙනුවට නව සංචිතයක් ලබාදීමට රු. මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව තවත් රු. මිලියන 2,200 ක් ලබා දීමට යෝජනා කරනවා.
- දීප ව්‍යාප්ත සේවාවල දැනට පවතින උසස්වීමේ ක්‍රමවේදයට අනුරූපව දීප ව්‍යාප්ත නොවන විධායක සේවාවන් හා දෙපාර්තමේන්තුගත සේවාවන් තුළ පවතින ගැටළු නිරාකරණය කිරීමට යෝජනා කරනවා.
- රාජ්‍ය ආයතනවල කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මානව සම්පතක් ලබා දීමට, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින්, කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පුරප්පාඩු 148,940 ක් සඳහා බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංඛ්‍යාවෙන් මේ වන විට ආසන්න වශයෙන් 40,000 ක් පමණ බඳවාගැනීම් අවසන් කර තිබෙනවා. ඉදිරියේ දී අදියරගතව තවත් 110,000 ක් පමණ බඳවා ගන්න ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- බත්තරමුල්ල, සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය 2028 වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රු. මිලියන 6,800 ක් වෙන් කර තිබෙනවා.
- සෙත්සිරිපාය අදියර IV ව්‍යාපෘතිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහිතව ඉදිකිරීමට බත්තරමුල්ල-ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් යෙදවීම මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
35. රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්
ගරු කථානායකතුමනි,
2025 අපගේ පළමු අයවැයෙන්, රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 15,750 කින් වැඩි කිරීමෙන් සහ වාර්ෂික වැටුප් වර්ධක අගය 80% දක්වා වැඩි කිරීමෙන් මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම වැටුප් වැඩි කිරීම සඳහා රු. බිලියන 330 ක් වැය වෙනවා. මෙම වැටුප් සංශෝධනය අදියර 3 කින් ක්‍රියාත්මක කරන ලද අතර එහි අවසාන අදියර 2027 වසරේ දී ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අයවැයෙන් රු. බිලියන 110 ක් වෙන් කරනු ලබනවා.
මේ අතර, විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයින් විසින් සිය රාජකාරි ඉටු කිරීමේදී දැරීමට සිදුවන ඒ ආශ්රිත වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, තම දීමනා සංශෝධනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් මෙන්ම රජයේ පවතින මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගනිමින්, මෙම අයවැය මඟින් ප්‍රමුඛතාව ලබා දෙමින් දීමනා කිහිපයක් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. අනෙකුත් දීමනා සංශෝධනය කිරීමේ ඉල්ලීම් රාජ්‍ය මූල්‍ය හැකියාව සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැයවල දී අදියර වශයෙන් සලකා බැලීමට කටයුතු කරනු ලබනවා.
ඒ අනුව, පහත පරිදි දීමනා සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයක් සඳහා හිමිකම් ලබන නමුත්, නිල රාජකාරි ඉටු කිරීමේ දී තම පෞද්ගලික වාහන භාවිත කරනු ලබන විධායක නිලධාරීන්ට දැනට මාසිකව රු. 50,000 ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. පෞද්ගලික වාහන නිල රාජකාරි සඳහා යොදා ගැනීමේදී නඩත්තු, අලුත්වැඩියා සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් හා වාහනයක් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත රජයෙන් වාහනයක් ලබාදීමට වඩා ඔවුන් පෞද්ගලික වාහනයක් භාවිත කිරීම රජයට වඩාත් මූල්‍ය ඵලදායීතාව වැඩි බැවින්, එය දිරිගැන්වීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
- සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කරන පෞද්ගලික වාහන භාවිතා කරන, නිල වාහන හිමිකම ඇති නිලධරයන්ට, විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරි ගැන්වීමේ අරමුණෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008(V) අනුව ගෙවනු ලබන මාසික දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි 150% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
සෞඛ්‍ය අංශයේ දීමනා
- අපගේ ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා කරනු ලබන වැදගත් කාර්යභාරය සලකමින්, වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව රු. 70,000 සිට රු. 95,000 දක්වා රු. 25,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
- ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා ද, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 2,000 සිට 4,000 දක්වා ද වැඩි කිරීමට යෝජනා කරනවා.
- සෞඛ්‍ය අංශය සඳහා යෝජනා කරන ලද ඉහත දීමනා වැඩි කිරීම පියවර දෙකකින් ගෙවීමට යෝජනා කරනවා. ඒ අනුව වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, එහි ඉතිරි 50%, 2028 වසරේ දී ද ගෙවනු ලබනවා.
විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල කථිකාචාර්යවරුන් සඳහා ගෙවීම්
- උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, එම කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. එම වැඩි වන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට හා ඉතිරි 50% 2028 ජූලි මාසයේ සිට ලබා දීමට කටයුතු කරනවා.
- විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම්, දැනට පවතින අනුපාතවලට අනුකූලව තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. ඒ අනුව, දැනට පැයක් වෙනුවෙන් ගෙවනු ලබන රු. 1,500 ක් වන දීමනාව රු. 4,500 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එමෙන්ම, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන් වෙනුවෙන් පැයකට ගෙවනු ලබන රු. 600 දීමනාව රු. 1,800 දක්වා ඉහළ දැමීමට යෝජනා කරනවා.
- වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු වෘත්තීය හා තාක්ෂණ ආයතන වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම්, දැනට පවතින අනුපාතවලට අනුකූලව 100% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
ත්‍රිවිධ හමුදා ආහාර දීමනාව
- ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ආහාර සැපයීම සඳහා දරනු ලබන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින්, ත්‍රිවිධ හමුදා සඳහා ගෙවනු ලබන දෛනික ආහාර දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් සඳහා රු. 315 කින් ද, සෙසු නිලයන් සඳහා රු. 332 කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව
- පොලිස් නිලධාරීන් හට සිය රාජකාරි ඉටු කිරීමේ දී දැරීමට සිදුවන ආහාර හා නවාතැන් වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, එම වියදම් පියවා ගැනීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ආහාර හා නවාතැන් දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
බන්ධනාගාර නිලධාරීන් සඳහා අවදානම් දීමනාව
- බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දෙන දුෂ්කර හා අධි අවදානම් සහගත සේවා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට ගෙවනු ලබන මාසික අවදානම් දීමනාව රු. 8,000 සිට රු. 16,000 දක්වා 100% කින් වැඩි කර, ඉහළ නැංවීමට කටයුතු කරනවා.
- එලෙසම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවනු ලබන රු. 2,250 ක දීමනා ද, රු. 10,000 ක් දක්වා වැඩි කිරිමට යෝජනා කරනවා.
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ යෝජිත මෙම දීමනා 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට යෝජනා කරනවා.
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දීමනා
- ප්‍රජාව වෙත අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ඍජුවම සැපයීමේ දී ක්ෂේත්‍ර නිලධාරීන් ඉටු කරනු ලබන කාර්යභාරය සහ ඔවුන්ගේ ක්ෂේත්‍ර පාදක රාජකාරි සමඟ බැඳී පවතින වියදම් ඉහළ යාම සලකා, ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු. 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
- සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 1,000 සිට රු. 2,000 දක්වා ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කරනු ලබනවා.
- සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවනු මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කරනවා.
- කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා.
- ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වන ඉහත දීමනා 2027 වසරේ අප්‍රේල් මස සිට සංශෝධනය කරනවා.
අධිකරණ ක්ෂේත්රයේ දීමනා සංශෝධනය කිරීම
මහාධිකරණ විනිසුරු හා අධිකරණ නිලධාරීන්ගේ දීමනා
- අධිකරණ ක්ෂේත්රයේ නිලධාරීන්ගේ වෘත්තීය වගකීම්, සේවයේ ස්වභාවය සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
- 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000 කින් ද හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට 50,000 දක්වා ද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සපයා නොමැති අවස්ථාවල දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ දීමනා
- නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ යන තනතුරු සඳහා වෘත්තීයක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000 කින් ද ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ සහ රජයේ අධි නීතිඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය නොයෙදීමේ දීමනාව රු. 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
- 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000 කින් ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට රු. 50,000 දක්වා ද දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ දීමනා
- නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක, නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක තනතුරුවල නිලධාරීන්ගේ විශේෂ දීමනාව රු. 25,000 කින් ද ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක නිලධාරීන්ගේ විශේෂ දීමනාව රු. 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
- 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 10,000 සිට රු. 50,000 දක්වා ද ඉහළ නැංවනු ලබනවා.
අධිකරණ සහායක කාර්ය මණ්ඩල දීමනා
- අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අධිකරණ සහායක කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන කාර්යභාරය, ඔවුන්ගේ වැඩ ප්‍රමාණය සහ පැවරී ඇති වගකීම් සැලකිල්ලට ගනිමින්, එම නිලධාරීන්ට ගෙවනු ලබන අදාළ දීමනා 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ද කටයුතු කරනු ලබනවා.
ස්වාධීන කොමිෂන් සභා, අනෙකුත් කොමිෂන් සභා සහ ව්‍යවස්ථාපිත ආයතනවල මාසික දීමනා
- ස්වාධීන කොමිෂන් සභා සහ අනෙකුත් කොමිෂන් සභා සභාපතිවරුන්ගේ සහ සාමාජිකයන්ගේ මාසික දීමනා 2018 වසරේ සිට සංශෝධනය කර නොමැති බැවින් ද රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන හා රජය සතු සමාගම්වල සභාපති, විධායක අධ්යක්ෂ හා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ගේ මාසික දීමනා 2015 වසරේ සිට වැඩි කර නොමැති බැවින් ද ඔවුන් විසින් දරනු ලබන වගකීම සැලකිල්ලට ගනිමින් මාසික දීමනා 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට යෝජනා කරනවා.
- අනෙකුත් කොමිෂන් සභාවල සභාපති සහ සාමාජිකයන් සඳහා ගෙවනු ලබන මාසික දීමනා ඉහත අනුපාතයන්ට යටත්ව සංශෝධනය කරනවා.
ගරු කථානායකතුමනි,
ඉහතින් සඳහන් කරන ලද මෙම දීමනා සංශෝධනය කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු තාක්ෂණික සටහනේ ඇතුලත් කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය
ගරු කථානායකතුමනි,
විශ්‍රාම වැටුප් සංශෝධනය හා විශ්‍රාමිකයන්ට ලබාදෙන සහන
- විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අතර පවතින විෂමතාවයන් ක්‍රමානුකූලව ඉවත් කරමින්, සියලු විශ්‍රාමිකයන්ට සාධාරණ හා විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහතික කිරීමේ අරමුණින් රජය අදියරගත විශ්‍රාම වැටුප් සංශෝධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.
- 2025 වසරේ පළමු අයවැය මඟින් 2020 වර්ෂයට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් 2020 මූලික වැටුප් පරිමාණයට අදියර තුනක් යටතේ පරිවර්තනය කිරීමට පියවර ගනු ලැබූ අතර, එහි පළමු හා දෙවන අදියර මේ වන විට සම්පූර්ණ කර ඇත. එහි අවසන් අදියර 2027 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- 2025 වසරේ දී ක්‍රියාත්මක කරන ලද නව මූලික වැටුප් සංශෝධනය හේතුවෙන් 2025 වසරට පෙර විශ්‍රාම ගිය සහ 2025 වසරේ දී හෝ ඉන් පසුව විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අතර ඇති වූ පරතරය ද තිරසර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සැලකිල්ලට ගනිමින් අදියරගතව අවම කර ඉවත් කිරීම රජයේ අරමුණ වනවා.
- 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට, 2025 නව මූලික වැටුප් ව්‍යුහය යටතේ සිදු කිරීමට නියමිත විශ්‍රාම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් සහනයක් වශයෙන් 2027 ජූලි 01 දින සිට මාසිකව රු. 2,500 ක අතුරු දීමනාවක් ලබාදීමට යෝජනා කරනවා.
- 2025 නව මූලික වැටුප් ව්‍යුහයට අනුව සිදු කෙරෙන ඉදිරි විශ්‍රාම වැටුප් සංශෝධනය 2028 අයවැයෙන් ආරම්භ කර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම සංශෝධනය අදාළ විශ්‍රාමිකයන් වෙත ක්‍රියාත්මක කර සංශෝධිත විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කළ පසු, 2020 - 2024 අතර කාලය තුළ විශ්‍රාම ගිය අයවලුන් සඳහා යෝජිත උක්ත රු. 2,500 ක මාසික අතුරු දීමනාව ගෙවීම අවසන් වනවා.
- කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ 02/2025, 03/2025, 04/2025, 05/2025 යටතේ වැටුප් තීරණය කරන ලද රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් සඳහා ද මෙම විධිවිධාන අදාළ වේ.
- මේ සියලු පියවරයන්හි සමස්ත අරමුණ වන්නේ විවිධ කාලසීමාවන්හි දී විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර පවතින විශ්‍රාම වැටුප් පරතරයන් ක්‍රමානුකූලව අවම කරමින්, ඔවුන්ට සාධාරණ සහන සැලසීම සහ දිගුකාලීනව තිරසර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.
36. බදු ප්‍රතිපත්ති යෝජනා
36.1 පුද්ගල ආදායම් බදු සහනය ඉහළ නැංවීම සහ අනුක්‍රමික බදු ස්ථර සංශෝධනය කිරීම
ගරු කථානායකතුමනි,
අප රජය විසින් 2025 වසරේ දී වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. මිලියන 1.2 සිට රු. මිලියන 1.8 දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම පියවර මඟින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500 ක සිට උපරිම වශයෙන් රු. 20,500 ක් දක්වා බදු සහනයක් හිමි වුණා.
පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.
මසකට රු. 100,000 ක් වූ බදු නිදහස් සීමාව රු. 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. යෝජිත සංශෝධන මඟින් එය රු. 162,500 ක් දක්වා තවදුරටත් ඉහළ නැංවෙනවා. ඒ අනුව, රු. 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.
6% බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රු. 70,833 ක් වන අතර, ඉන් අනතුරුව බදු ස්ථර මසකට රු. 41,667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වනවා. 6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කෙරෙනවා.
උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත.
ඒ අනුව, 2025 වසරේ දී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අප රජය විසින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට ලබා දෙන සමස්ත මාසික බදු සහනය අවම වශයෙන් රු. 4,250 ක සිට උපරිම වශයෙන් රු. 36,250 ක් දක්වා ඉහළ නැංවෙනවා.
36.2 ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත්, අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාර සඳහා වැඩි කළ ප්‍රාග්ධන දීමනා
ගරු කථානායකතුමනි,
පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීම, අපනයන අභිමුඛ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව ක්‍රියාත්මක වන ව්‍යවසායන් සඳහා ආයෝජන දිරිගැන්වීමක් ලෙස වැඩි කළ ප්‍රාග්ධන දීමනා හඳුන්වා දීමට යෝජනා කරනවා.
ඒ අනුව, අවම වශයෙන් ඩොලර් මිලියන 3 ක සුදුසුකම් ලත් ආයෝජනයක් සහිත, අපනයන අභිමුඛ නිෂ්පාදන හෝ සංචාරක සංවර්ධන කටයුතුවල නියැලී සිටින BOI අනුමත ව්‍යවසායන් සඳහා, දැනට පවතින දීමනා ක්‍රමය වෙනුවට, අවශ්‍යතා සපුරාලීම මත සුදුසුකම් ලත් ප්‍රාග්ධන වියදමෙන් 200% කට සමාන වැඩි කළ ප්‍රාග්ධන දීමනාවක් තෝරා ගැනීමට අවසර ලබා දීමට යෝජනා කරනවා.
36.3 අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් පත් සඳහා වැට් (VAT) බදු නිදහස් කිරීම
ගරු කථානායකතුමනි,
මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් වූ අතර, අභ්‍යාස පොත් ඊටත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුණා.
අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, අධ්‍යාපනය, දැනුම හා කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අප යෝජනා කරනවා.
36.4 සිනමා ටිකට්පත් ආදායම මත වැට් බදු වගකීම ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීම
චිත්‍රපට කර්මාන්තය තුළ එකතු කළ අගය මත බද්ද සාධාරණ හා සමාන ලෙස අදාළ කිරීම සහතික කිරීමේ අරමුණින්, සිනමා ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම මත වැට් බදු වගකීම ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.
ඒ අනුව, චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමාශාලා හිමියන්ගේ වැට් බදු වගකීම තීරණය කරනු ලබන්නේ, සම්පූර්ණ ටිකට්පත් වටිනාකම මත වැට් බදු ගණනය කිරීම වෙනුවට, එක් එක් අදියරේ දී එක් එක් පාර්ශවය වෙත ලැබෙන හෝ වෙන් කරනු ලබන සිනමා ටිකට්පත් ආදායම් කොටස මත පදනම්වය.
36.5 අලුතින් වැට් බද්දට ලියාපදිංචි වූ අපනයනකරුවන්ට 'සුදුසුකම් ලත් අපනයනකරුවන්' ලෙස ඉක්මනින් සුදුසුකම් ලැබීමට පහසුකම් සැලසීම
ගරු කථානායකතුමනි,
අපනයන අභිමුඛ ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, අලුතින් වැට් බදු සඳහා ලියාපදිංචි වන අපනයනකරුවන් සඳහා සුදුසුකම් ලත් අපනයනකරුවන් (Eligible Exporter) ලෙස සැලකීම සඳහා වන නිර්ණායක සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
දැනට පවතින, පෙර ලිත් වසරක කාලයක් සඳහා වන අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය නොවන පරිදි, අලුතින් වැට් බදු ලියාපදිංචි වූ පුද්ගලයින්ගේ පෙර මාස හයක කාලය තුළ පිරිවැටුමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනවලින් උපයා ඇති අවස්ථාවලදී, ඔවුන් සුදුසුකම් ලත් අපනයනකරුවන් ලෙස පිළිගැනීමට මෙමඟින් යෝජනා කරනවා.
36.6 විදේශ ව්‍යවහාර මුදලින් වන සැපයුම් සඳහා එකතු කළ අගය මත බදු ගණනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරූපිත විනිමය අනුපාතිකය භාවිත කිරීම
ගරු කථානායකතුමනි,
විදේශ ව්‍යවහාර මුදල්වලින් නම් කර ඇති බදු අය කළ හැකි සැපයුම්වල අගය තක්සේරු කිරීමේදී වඩාත් විනිවිදභාවය, අනුකූලතාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා, වැට් බදු කටයුතු වෙනුවෙන් විදේශ ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිරූපිත විනිමය අනුපාතිකය (Indicative Exchange Rate) භාවිත කිරීමට යෝජනා කරනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා (CGIR) විසින් චක්‍රලේඛයක් මඟින් එම විනිමය අනුපාතිකය අදාළ කරගන්නා ආකාරය නිශ්චිතව දක්වනු ඇත.
36.7 ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා සපයනු ලබන ඉන්ධන (Bunker Fuel) සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් (SSCL) නිදහස් කිරීම
ගරු කථානායකතුමනි,
ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා බංකර් ඉන්ධන සැපයීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සේවා ක්ෂේත්රයේ වැදගත් අංගයකි. මෙම කර්මාන්තය ඉහළ තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළක් තුළ ක්‍රියාත්මක වේ.
කර්මාන්තයේ තරගකාරීත්වය සුරැකීම සහ කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ස්ථානය ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් සඳහා ඉන්ධන සැපයීම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා.
36.8 ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩා කර්මාන්තයට අදාළ බදු ව්‍යුහය සමාලෝචනය කිරීම සහ තාර්කිකකරණය කිරීම
ගරු කථානායකතුමනි,
ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩා කර්මාන්තය සඳහා ඵලදායී නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලමින්, රජය විසින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ස්ථාපිත කර එහි කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ වන විට නියාමන රාමුව ක්‍රියාත්මකව පවතින බැවින්, කර්මාන්තයට අදාළ බදු, ගාස්තු සහ අය කිරීම් අතර පවතින ද්විත්ව අය කිරීම් හා නොගැළපීම් ඉවත් කිරීම, බදු ව්‍යුහය ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල කිරීම සහ රජයේ ආදායම සුරක්ෂිත කරන අතරම කර්මාන්තයේ තිරසර සංවර්ධනයට සහාය වන සාධාරණ හා සමබර ප්‍රවේශයක් සහතික කිරීමේ අරමුණින්, එම බදු, ගාස්තු සහ අය කිරීම් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට යෝජනා කරනවා.
මෙම සමාලෝචනය මඟින් පරිපාලනය කිරීමට සහ අනුකූල වීමට පහසු, සරල, විනිවිදභාවයෙන් යුත් සහ ඒකාබද්ධ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනවා.
36.9 බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු ගෙවන්නන්ගේ බදු අනුකූලතාව පහසු කිරීම
ගරු කථානායකතුමනි,
බදු පරිපාලනය ශක්තිමත් කිරීම, නීතිමය නිශ්චිතභාවය වැඩිදියුණු කිරීම සහ බදු ගෙවන්නන්ට බදු නීතිවලට අනුකූලව කටයුතු කිරීම පහසු කිරීමේ අරමුණින්, පවතින බදු නීතිවල ඇතැම් විධිවිධානවල පවතින අපැහැදිලිතා ඉවත් කිරීමටත්, වෙනස් වෙමින් පවතින ව්‍යාපාරික භාවිතයන්ට සහ නව ගනුදෙනු ස්වරූපයන්ට අනුකූල වන පරිදි එම විධිවිධාන සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් අප යෝජනා කරනවා.
තවද, තාක්ෂණික හෝ කාර්යපටිපාටිමය අවශ්‍යතාවලට අනුකූල නොවීම හේතුවෙන් බදු ගෙවන්නන්ට නීත්‍යානුකූලව හිමි විය යුතු බදු ආපසු ගෙවීම් හෝ යෙදවුම් බදු බැර අහිමි වීමට හේතු විය හැකි ඇතැම් දැඩි කාර්යපටිපාටිමය අවශ්‍යතා, රජයේ ආදායම ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ විධිවිධාන පවත්වා ගනිමින්, නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කරනවා.
මෙම ක්‍රියාමාර්ග මඟින් ස්වේච්ඡා බදු අනුකූලතාව දිරිගන්වන, බදු ගෙවන්නන්ගේ නීත්‍යානුකූල හිමිකම් සුරක්ෂිත කරන සහ රජයේ ආදායම ආරක්ෂා කරන සාධාරණ, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම බදු පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරනවා.
36.10 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීම
ගරු කථානායකතුමනි,
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කරනවා.
මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
36.11 ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීම
ගරු කථානායකතුමනි,
ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, තෝරාගත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS) පේළි 800 කට අදාළ දැනට පවතින සෙස් (CESS) බදු අනුපාත 25% කින් අඩු කිරීමට යෝජනා කරනවා.
නිශ්චිත HS කේත යටතේ වර්ගීකරණය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා දැනට අයකරන 10% ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL), 2027 ජනවාරි පළමුවන දින සිට ඉවත් කිරීමට යෝජනා කරනවා.
36.12 දේශීය සීනි කර්මාන්තයට වෙළෙඳපොළේ තරග කිරීමට සහාය දීම
දේශීය සීනි කර්මාන්තය ආරක්ෂාව වෙනුවෙන් දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශ්වයටම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රු. 10 කින් වැඩි කිරීමට ද යෝජනා කරනවා.
36.13 සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම
ගරු කථානායකතුමනි,
සංචාරක කර්මාන්තය මත පවතින බදු බර අඩු කිරීම, එහි තරගකාරිත්වය ඉහළ නැංවීම සහ සංචාරක සංවර්ධනය සඳහා තිරසර මූල්‍ය පහසුකම් සහතික කිරීමේ අරමුණින්, සංචාරක ආයතනවල පිරිවැටුම මත දැනට අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමට යෝජනා කරනවා.
සංචාරක ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීම පිණිස සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ වන තෙක් අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය විසින් කරන ඉල්ලීම් මත භාණ්ඩාගාරය විසින් සපයනු ලබනවා.
36.14 සුරාබදු ආඥා පනතට සංශෝධන
ආදායම් කළමනාකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් සියවස් ගණනක් පැරණි සුරාබදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීමට 2025 අයවැය මඟින් යෝජනා කළා.
කෙසේ වූවද, නව පනතක් හඳුන්වා දෙන තුරු, මෙම සංකීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සරල කර දැනට පවතින ආඥා පනතටම සංශෝධන ඇතුළත් කිරීම මඟින් සුරා බදු ආඥා පනතට සංශෝධන ගෙන ඒමට අප යෝජනා කරනවා.
37. ණය ගැනීමේ සීමාව
2027 මූල්‍ය වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පතෙහි ණය ගැනීමේ සීමාව ඇමුණුම IV හි ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වියදම් යෝජනා සාරාංශය ඇමුණුම II හි දක්වා තිබෙනවා. තවද, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අයවැය දෙවන වර කියවීම සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන ද සභාගත කර තිබෙනවා.
38. 2027 දිට්වා හානි ප්‍රතිසංස්කරණ සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව
දිට්වා හානි ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ රු. බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවෙන් මැදපෙරදිග යුධමය වාතාවරණය ඇතුළු හේතූන් මත මේ වන විට උපයෝජනය නොවූ ප්‍රමාණය 2027 වසරට ප්‍රතිපාදන ලෙස වෙන් කිරීමට යෝජනා කරනවා. දිට්වා ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි නිම කිරීමට 2027 වසර සඳහා යළිත් රු. බිලියන 260 ක අයවැය ප්‍රතිපාදන සලසා ගත යුතුව තිබෙනවා.
ඒ අනුව, මා ඉදිරිපත් කළ 2027 අයවැයට අමතරව දිට්වා ප්‍රතිසංස්කරණ වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ, 16 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.
එම පරිපූරක ඇස්තමේන්තුව අද දින අයවැය කථාවෙන් අනතුරුව සභාගත කිරීමට යෝජනා කරනවා.
39. සමාප්තිය
ගරු කථානායකතුමනි,
අපගේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ. ඒවා ප්‍රායෝගිකව මහපොළව මත ක්‍රියාත්මක කරන ඒවායි. එබැවින් සෑම අලුත් යෝජනාවකටම පැහැදිලි වගකිවයුතු ආයතනයක්, ප්‍රතිඵල දර්ශක, ජාතික ප්‍රමුඛතා, මුදල් ප්‍රවාහ සැලැස්මක් සහ මහජනතාවට පහසුවෙන් දැකබලා ගත හැකි විනිවිදභාවයකින් යුක්ත වෙනවා.
අප ගොඩනැඟීමට උත්සාහ කරන්නේ පුරවැසියාගේ ගෞරවය රකින, දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන, ශ්රමයට නිසි වටිනාකම දෙන, දැනුමට අවස්ථාව සලසන, ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා රැකදෙන රටක්.
පැවැති, අභියෝග ජය ගනිමින්, ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් අපේ මීළඟ ඉලක්කය වන්නේ, 2027 වසරේ ඉදිරිගාමී පරිවර්තනීය කාල පරිච්ඡේදයක් ආරම්භ කිරීමයි. ඒ සඳහා ඔබ සැමගේ සාමූහික ශක්තිය සහ දායකත්වය අපට අත්‍යවශ්‍යයි.
ගරු කථානායකතුමනි,
නූතන ලෝකයේ ආණ්ඩු පෙරළෙන්නේ ප්රගතිශීලී මතවාදී විප්ලවයන්ගෙන්, ජනතාවගේ බුද්ධිමත් තීරණවලින් සහ අනාගතයට ගැළපෙන දියුණු ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළවලින්. හැබැයි, අපේ ප්රතිපක්ෂය තවමත් මිථ්‍යා මතවාදවල එල්බගෙන, පසුගාමී චින්තනයෙන් මිදෙන්නට නොහැකිව සිටිනවා.
දේශපාලනය කරන්න ඕනේ මහපොළොවේ ජනතාව අතරට ගිහින් මිසක්, රාත්‍රියට සොහොන්පිටිවල නූල් බැඳලා නෙමෙයි. පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා නෙවෙයි.
ඒ වගේම, බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට (කෙසපුත්ත නියම්ගම් වැසියන්ට ) වදාළ, කිසිවක් අන්ධ ලෙස පිළිනොගෙන නුවණින් විමසිය යුතු බවට පෙන්වා දුන් කාලාම සූත්‍රය කියවලා, අන්ධ විශ්වාසයට එරෙහි බුදුරජාණන් වහන්සේ කළ විප්ලවය තේරුම් ගන්න. මිත්‍යාවට එරෙහිව බුදුහිමි දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය හා බොරු මන්ත්රවලට එරෙහිව දේශනා කළ කේවට්ට සූත්‍රය කියවලා බුදුහිමි කළ මතවාදී විප්ලවය තේරුම් ගන්න.
ගඟක අනික් කෙළවරට යන්න මේ කෙළවරේ සිටින මිනිසෙක්, පිහිනන්නේ නැතුව හෝ ඔරුවක් පාවිච්චි කරන්නේ නැතුව, "අනික් කෙළවර මෙහාට වරෙන්, මෙහාට වරෙන්" කියා ගඟේ අනික් ඉවුරට ප්‍රාර්ථනා කළොත් ඉවුර මෙහාට එයිද? කියලා තේවිජ්ජ සූත්‍රයේ බුදුහිමි විමසනවා.
ගරු කථානායකතුමනි,
අපේ මාතෘභූමිය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ඉතා පැහැදිලි, ප්රගතිශීලී සහ අභිමානවත් සිහිනයක්. අපේ බලපොරොත්තුව මේ රට නිකම්ම නිකම් දූපතක් නෙවෙයි, දැනුමෙන්, කුසලතාවයෙන් සහ නූතන තාක්ෂණයෙන් පිරිපුන්, ආසියාවේ විතරක් නෙවෙයි ලෝකයේම දියුණුතම රටක් බවට පත්කිරීමයි.
අද අපි ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. රට පුරා ඉන්න අපේ තරුණ පරපුරට, අපේ දරුවන්ට නූතන තාක්ෂණය, විද්‍යාව සහ ගෝලීය දැනුම ලබා දෙමින් ඔවුන්ව පූර්ණ කුසලතාවයෙන් පිරි දියුණු පුරවැසියන් බවට පත්කිරීමේ පරිවර්තනය අපි ආරම්භ කරලා තියෙනවා.
ගරු කථානායකතුමනි,
අපට අවශ්‍ය වන්නේ ආර්ථික වශයෙන් දියුණු රටක් ගොඩනැඟීම පමණක් නොවෙයි. ලෝකය හමුවේ ශ්‍රී ලාංකිකයා පිළිබඳව අලුත් ප්‍රතිරූපයක් ගොඩනැඟීමයි. අප සිහින දකින්නේ ශ්‍රී ලාංකිකයා කියන්නේ උගත්, බුද්ධිමත්, ශිෂ්ටසම්පන්න, ගෞරවනීය සහ විශ්වාසය තැබිය හැකි පුරවැසියෙකු ලෙස ලෝකය තුළ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීමට යි. අප අපේක්ෂා කරන්නේ පුංචි රටක් වුවත් අපේ රටේ මානව සම්පත අද්විතීය බුද්ධියකින් යුක්ත බව ලෝකය තුළ සලකුණු කිරීමයි. අපට අවශ්‍ය තමන් භාරගත් වගකීම ඉටු කරන, කැපවීමෙන් වැඩ කරන, නව අදහස් නිර්මාණය කරන, අභියෝග හමුවේ විසඳුම් සොයන සහ ලෝකය සමඟ උරෙනුර ගැටී ඉදිරියට යා හැකි පුරවැසි පරපුරක් අපට සිටින බව ලෝකයටම ඔප්පු කිරීමටයි. අප ගොඩනඟන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට අලුත් ආර්ථිකයක් පමණක් නොවෙයි. ලෝකය හමුවේ ශ්‍රී ලාංකිකයාට අලුත් පිළිගැනීමක්, අලුත් ගෞරවයක් සහ අලුත් අභිමානයක්.
ගරු කථානයකතුමනි,
ආණ්ඩුව විවේචනය කරන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න. අපේ වැඩපිළිවෙළට වඩා හොඳ විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා විපක්ෂයට තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතිය අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.
නමුත් වස් කවි වෙනුවට විකල්ප ප්‍රතිපත්තිත්, කොඩිවින වෙනුවට නිර්මාණශීලී විසඳුම්ත්, යාග හෝම වෙනුවට බුද්ධිමත් සංවාදත් මේ රටේ දේශපාලනයට රැගෙන එන්න.
අපේ රටේ ජනතාව තාක්ෂණයෙන් සහ බුද්ධියෙන් ඉදිරියට යන විට, අපේ රටේ විපක්ෂයේ දේශපාලනය විතරක් කණපිට හැරී පසුපසට යා යුතු නැහැ නේද? ලෝකය හමුවේ අපි ගොඩනඟන්නට උත්සාහ කරන ශිෂ්ටසම්පන්න, ප්රබුද්ධ සහ අභිමානවත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ගැළපෙන දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම ආණ්ඩුවට පමණක් නොව, විපක්ෂයටත් පැවරුණු මූලික වගකීමක් බව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිසේත්ම ඒ පැරැණි අන්ධකාරයට පා තබන්නේ නැහැ.
ගරු කථානයකතුමනි,
අනාගත පරම්පරාවට අපි ඉතිරි කර යා යුත්තේ අපේ පක්ෂ වාද විවාද නොවෙයි; ඔවුන්ට විශ්වාසයෙන් අනාගතය භාරගත හැකි, සමෘද්ධිමත් සහ සාධාරණ රටක්.
එම නිසා, "ශ්‍රී ලාංකිකයා" කියන නම අපි ආඩම්බරයෙන් උච්චාරණය කරන නමක් පමණක් නොව, ලෝකයම ගෞරවයෙන් පිළිගන්නා අභිමානවත් නමක් බවට පත් කරමු.
ඒ සඳහා වන අපේ පොරොන්දුව අපි හුදෙක් වචනවලින් නොව, ක්‍රියාවෙන් ඔප්පු කරමු.
අද අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලටත්, සියලු පාර්ශ්වයන්ටත්, ලෝකයේ කොතැනක හෝ ජීවත් වන සෑම ශ්‍රී ලාංකිකයෙකුටමත් විවෘත හදවතින් ආරාධනා කරනවා. එන්න, මේ රටේ අනාගතය ගොඩනැගීමේ කොටස්කරුවන් වෙමු! අපි හැමෝම එකම විදිහට හිතන්න අවශ්‍ය නැහැ. එකම මතයක් දරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපේ වෙනස්කම්වලට වඩා අපේ රට විශාලයි. අපේ තනි තනි අරමුණුවලට වඩා අපේ දරුවන්ගේ අනාගතය වටිනවා. ඒ නිසා අපේ දැනුම, අපේ හැකියාවන්, අපේ ශක්තිය එකතු කරමු. අපට එකඟ විය හැකි තැනින් පටන් ගනිමු. එකිනෙකාට වඩා ඉදිරියෙන් යන්න නොවෙයි, අප මාතෘභූමිය අපි හැමෝටම වඩා ඉදිරියට ගෙන යන්න එකතු වෙමු!
අවසානයේ අපේ දරුවන්ට අපි ඉතිරි කර යා යුත්තේ අපි එකිනෙකාට වඩා කොතරම් ඉහළින් සිටියාද කියන කතාව නොවෙයි. අපි සියලුදෙනා එකතු වී මේ රට කොතරම් ඉහළට ඔසවා තැබුවාද කියන කතාවයි.
ඒ කතාවේ ජයග්‍රහණය එක් පුද්ගලයෙකුට අයිති නොවේවි. එක් පක්ෂයකට අයිති නොවේවි. එක් පරම්පරාවකට පමණක් අයිති නොවේවි.
ඒ ජයග්‍රහණය මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිති වේවි.
ඒ ජයග්‍රහණයට තිබිය යුත්තේ එකම නමයි - ඒ ශ්‍රී ලංකාවයි!
අවසාන වශයෙන්, මෙම අයවැය සකස් කිරීමේ දී නොසැලෙන කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ඔවුන්ගේ වෘත්තියභාවය, කැපවීම සහ යුතුකම පිළිබඳ හැඟීම පුළුල් හා ඉදිරි දැක්මක් සහිත මෙම අයවැය සකස් කිරීමේ දී බෙහෙවින් උපකාරී වුණා. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ජාතික සංවර්ධන ඉලක්ක සාමූහිකව ඉදිරියට ගෙන යන විට, මෙම යෝජනා කාලෝචිත හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා සහතික කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස ඔබගේ අඛණ්ඩ සහයෝගය සහ කැපවීම අපි නිරතුරුවම බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි."