Saturday, July 27, 2024
Follow Us
පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කෙරේ

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවත්විණි.


පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන ලද මෙම වැඩසටහනට රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ.
එහි දී පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳ, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවට මහජන ප්‍රවේශය, පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කෙරිණ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන ලද වටිනා පොත් කට්ටලය බැගින් විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා බෙදාදීම මෙහි දී සිදු කරන ලද අතර රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඊ. එම්. එස්. ඒකනායක මහතා ඇතුළු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් සිය අදහස් දැක්වීම් සිදු කෙරිණි.
වැඩසටහනට සහභාගී වූ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු චාරිකාවක් ද සංවිධාන කර තිබු‍ණේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසිනි.