Friday, July 05, 2024
Follow Us
D.I.G හයක් ඇතුළු පොලිස් ලොක්කන් 15කට මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට ස්ථාන මාරු ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01 වැනිදා) සිට අදාළ නියෝගය සිදුකර ඇත.

මේ අනුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාතර හා හම්බන්තොට දිසා බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාවටත්, මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ජගත් විශාන්ත මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස් විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා තිබේ.

නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක සහ බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන අබේසිංහ පසුගියදා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කළ ජගත් විශාන්ත සහ නිශාන්ත සොයිසා යන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහා උසස් වීම් ලැබූහ.

මීට අමතරව කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් ගම්පොළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ.ආර්.පී. අමරසිංහ තෙල්දෙණිය කොට්ඨාස බාර නිලධාරී ලෙසත්, හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර යාපනය කොට්ඨාස බාර නිලධාරී ලෙසත් මාරුකර ඇත.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, විභාග කොට්ඨාසයේ පොලිස් අධිකාරී ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරී ඒ.පී.එස්. අමරතුංග හලාවත කොට්ඨාස බාර නිලධාරී ලෙසත් මාරු කර යවා ඇත.

මීට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන් දෙසීයකට වැඩි පිරිසක් ද ස්ථාන මාරු කර යැවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

Aruna