Monday, July 08, 2024
Follow Us
ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්

රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ( GTEX 2) ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (03) කොළඹදී සිදු කෙරිණි.

ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පැවැත්ම ඉහළ නැංවීම සහ ඇඟළුම් අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ස්විස්ටර්ලන්යේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්‍යාලය , ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක්ව මෙම දෙවන අදියර ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසඳය මෙම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය අරමුදල් සපයන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ICT ) තාක්ෂණික සහය ලබා දෙන අතර මෙම වැඩසටහන 2024 වසරේ සිට 2027 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.

ආසියානු කලාපයේ ඇඟළුම් ක්ෂේත්‍රයේ සැපයුම් මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම මෙම වැඩසටහනේ අවසන් ඉලක්කය වන බව මෙම අවස්ථාවට එක්වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කුඩා සහ මධ්‍යම පරිමාක ව්‍යවසායකයින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ඇඟළුම් ක්ෂේත්‍රය සංවර්ධනය වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. ආර්ථික පරිවර්තන කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම පනත සම්මත වීමෙන් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවන බව වැඩිදුරටත් පැවසීය.

අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බිහිකිරීම මගින් අපනයනයෙන් ලබන ආදායම වර්ධනය කරගැනීමට හැකිවන බව පවසන අමාත්‍යවරයා එහිදී ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය ඇඟළුම් ක්ෂේත්‍රය වනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කළේය.

එසේම රෙදිපිළි සහ ඇඟලුම් ඔස්සේ තිරසර වෙළඳාම , නව රැකියා උත්පාදනය හරහා දරිද්‍රතාවය අඩුකිරීමට දයක වීම මෙම GTTEX 2 වැඩසටහනේ මූලික අරමුණ වේ.

ඇඟළුම් කර්මාන්තය , නිෂ්පාදන කර්මාන්තයේ විශාලතම තනි සේවා යෝජකයා වන අතර මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්ත 350ක් පමණ පවතින අතර සෘජු හා වක්‍ර රැකියාවල නියුතු පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වේ.

ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට වැඩි අපනයන ආදායමක් සහිත වන අතර 2023 වර්ෂයේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 42කි.එසේම ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදය එක්ස්ත් රාජධානිය සහ යුරෝපා සංගමය වේ.

එසේම මෙම වැඩසටහන ඊජිප්තුව , මොරොක්කෝව , ටියුනීසියාව සහ ජෝර්දානය යන රටවලද ක්‍රියාත්මක කෙරේ.