Friday, November 13, 2026
Follow Us
අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක්

නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හෙට (14 ) උදෑසන වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට නියමිත අතර, පසුව එය පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 5ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත සියලුම යාත්‍රා වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ.

කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවර කාර්මිකයන්ගෙන් ඉල්ලා සිටියි.