Saturday, November 14, 2026
Follow Us
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටී දරුණු අනතුරක්

අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි නැංගුරම් ලා තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක තෙල් ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරකින්, පුද්ගලයින් 130 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් පුද්ගලයින් 32 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර,  භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගැටුණු ‘අමෙරිකන් හෙරිටේජ්’ මගී නෞකාව මිසිසිපි ගඟේ පසෙකට පෙරළී ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ බවයි වර්තා වන්නේ.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, නෞකාවේ සුක්කානම් පද්ධතියේ යම් දෝෂයක් ඇති වී තිබෙන බවට පෙනී යන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ කපිතාන් මෙලනි බර්න්හැම් සඳහන් කළා.

සුඛෝපභෝගි නෞකාවට ජලය කාන්දු වී එය පසෙකට ඇලවීමට පටන් ගැනීමත් සමඟ මගීන් ඉන් ඉවත් වීමට උත්සාහ කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාව තුළ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 129 දෙනෙකු පමණ සිටි බවයි වාර්තා වන්නේ.

වහාම ක්‍රියාත්මක වූ ටග් යාත්‍රා ක්‍රියාකරුවන්, පොලීසිය සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් මගීන් බේරා ගැනීමට කටයුතු කර තිබේ.