Saturday, July 06, 2024
Follow Us
සූර්ය පැනල බලශක්තියට ගෙවන ගාස්තුව පහළට

වහලය මත සවි කරන සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නව අය ක්‍රමය මේ වසරේ ජූලි 01 සිට ආරම්භ කරන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක වන අතර ජූලි 01 වැනි දිනට පෙර ගිවිසුම් අත්සන් කර ඇති අයට ද වහලය මත සවි කරන සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ගෙවීමේ ක්‍රමවේදයන්ට මෙය අදාළ නොවේ. එමඟින් වහලය මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා 20 වසරක ස්ථිර අය කිරීම කි.වො. 500ක් දක්වා ඒකකයකට රු. 27.06ක් දක්වා ද කි.වො. 500ට වැඩි ව්‍යාපෘති සඳහා ඒකකයකට රු. 23.18ක් වේ. බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘති සඳහා වසර 20කට ස්ථාවර ගාස්තුව ඒකකයකට රු. 25.48ක් ද කුඩා ජල විදුලි බලාගාර සඳහා ඒකකයකට රු. 30.53ක් ද සුළං බල ව්‍යාපෘති සඳහා ඒකකයක් රු. 29.86ක් ද ජෛවස්කන්ධ මඟින් විදුලිය ජනනය කරන ව්‍යාපෘති සඳහා ඒකකයකට රු. 52.77ක් ද වේ.

එවකට පැවැති විනිමය අනුපාතය, බැංකු පොලී අනුපාතය සහ ‍අනෙකුත් ආර්ථිකමය කාරණා සලකා බලා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ගෙවී‍මේ ක්‍රමවේදයක් වහලය මත සවි කරන සූර්ය පැනල වෙනුවෙන් සහ අනෙකුත් මෙ.වො. 10ට අඩු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් 2022 වසරේ සිට ක්‍රියාත්මක කරන ලදි.

පාර්ශ්වකරුවන්ගේ, උ‍පදේශකයන්ගේ සහ අය කිරීම් කමිටුවේ නිර්දේශ මත 2022 වසරේදී ඉදිරිපත් කරන ලද එම අය ක්‍රමය වත්මන් ආර්ථිකමය කාරණා හා සසඳමින් මෙම නව සංශෝධනය සිදු කර ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන විට ජූලි 01 වැනිදායින් පසු ක්‍රියාත්මක වන සූර්ය පැනල ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් කෙරන ගෙවීම්වල යම් අඩු වීමක් පෙරට සාපේක්ෂව සිදුවනු ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

Dinamina