Friday, July 03, 2026
Follow Us
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම නිවේදනය කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවය.

එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරු 10.05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.