Thursday, July 02, 2026
Follow Us
විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ උපකෘත පාසල් පද්ධතියේ ගැටලු පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන විශේෂ පාසල් සහ උපකෘත පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු මෙන්ම එම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක්  එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්විණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය ද ප්‍රමුඛ අංගයක් ලෙස සැලකිල්ලට ගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. අබාධ  සහිත  දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් (ග්‍රහණ ශක්තිය)  සහ අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩාත් අන්තර්කරණය  සහ සමානාත්මතාවය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද  එහිදී අදහස් පළ විය.

එසේම විශේෂ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන පරිපාලනමය හා වෘත්තීය ගැටලු, පාසල් කළමනාකරණයට අදාළ අභියෝග, විෂයමාලා සංවර්ධනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සුදුසු ඇගයීම් ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

විශේෂ අවශ්‍යතා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ කළමනාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී සැලකිල්ලට ගැනීමට ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්  මෙහිදී එකඟතාව පළ කළ  අතර, ඉදිරියේදී ඒ සඳහා පවත්වන සාකච්ඡාවක් සඳහා විශේෂ පාසල්වල නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමටත්, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබාගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට ත් තීරණය කෙරිණි.

මෙම රැස්වීම සඳහා  සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ  නියෝජ්‍ය සභාපති තිලක් ධර්මරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා  විශේෂ අධ්‍යාපන  ඒකකයේ  නිලධාරීන්, ආබාධ සහිත ළමුන් සඳහා වූ විශේෂ පාසල්වල විදුහල්පතිවරුන්, එම පාසල්වල කළමනාකරුවන් සහ ගුරුවරුන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.