විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධාන කරනු ලබන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ පර්යේෂණ සහ ඒකාබද්ධ වැඩමුළු වැඩසටහනේ 2024 චක්‍රය යටතේ පර්යේෂණ 16 ක් සහ වැඩමුළු 22 ක් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ දින සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර උසස් පාරිසරික පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ද්විපාර්ශ්වික සහයෝගීතා වැඩසටහන රටවල් දෙකටම අතිශය වැදගත් රාජ්‍ය තාන්ත්‍රික සන්ධිස්ථානයකි. 2008 සැප්තැම්බර් ආරම්භ වූ ද්විපාර්ශ්වික සහයෝගීතා වැඩසටහන මේ වන විට 5 වන අදියරට පැමිණ තිබේ. අධ්‍යයන නිමැවුමෙන් ඔබ්බට ගොස්, ශක්තිමත් සහයෝගීතාවක් මත ජාතීන් දෙකම මුහුණ දෙන දැවෙන සමාජීය අභියෝගවලට මුහුණ දී සැබෑ ලෝක භාවිතය සමඟ වාණිජමය වශයෙන් වටිනා නවෝත්පාදනයන් නිෂ්පාදනය කිරීම සහ විද්‍යාත්මක විශිෂ්ටත්වය සහ ප්‍රායෝගික බලපෑම කෙරෙහිත් වැඩසටහනේ ප්‍රමුඛ අවධානය යොමු වේ.
5 වන සහයෝගීතා වැඩසටහන වන 2024 චක්‍රය තුළින් ආහාර තාක්ෂණය, ශාක පාදක වෛද්‍ය විද්‍යාව, මිනුම් විද්‍යාව, අභ්‍යවකාශ පර්යේෂණ සහ යෙදුම්, රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය, කාර්මික ඉලෙක්ට්‍රොනික උපකරණ, පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය කළමනාකරණය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන දෙරටටම උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර නවයක් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කර තිබේ.
මෙම ප්‍රමුඛතා ක්ෂේත්‍ර ඹස්සේ පොදු සංවර්ධන අවශ්‍යතා සපුරාලීම, නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙකටම වැදගත් වන සමාජීය සහ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන පර්යේෂණ ප්‍රතිඵල ජනනය කිරීම සඳහා හවුල් සහයෝගීතාවක් ක්‍රියාත්මක කෙරේ.
මෙහි දී අදහස් දැක් වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත්, භූගෝලීය හා ඓතිහාසික බැඳීම්වලට අමතරව, තාක්ෂණික වශයෙන් දියුණු අනාගතයක් උදෙසා හවුල් දැක්මකින් අත්වැල් බැදගෙන තිබේ.
අද වන විට ලෝකය දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, මහජන සෞඛ්‍ය අර්බුද සහ පිරිසිදු බලශක්තියේ අවශ්‍යතාව වැනි අභියෝගවලට මුහුණ දී තිබේ. එම අභියෝග රටවල්වල මායිම් නොහඳුනයි. මෙම ගැටලුවලට විසඳුම් ලැබෙනුයේ හුදකලා උත්සාහයන්ගෙන් තොරව, ඒකාබද්ධ පර්යේෂණාගාර, බෙදාහදාගත් දැනුම තුළින් ගොඩනැගෙන ඒකාබද්ධ බුද්ධිමය ව්‍යාපෘති වැනි උත්සාහයන් තුළිනි. බාධාවලින් තොරව දියුණු විද්‍යාත්මක වි පරිසරයක් ගොඩනැගීමට අප රජය අඛණ්ඩව කැපවී සිටිමු. එබැවින් රාජ්‍ය සහය සමග ගොඩනැගෙන ඹබගේ නව සොයාගැනීම් මගින් ප්‍රතිපත්ති තීරණ හැඩගැස්වීමටත්, නව කර්මාන්ත බිහිකිරීමට සහ අප කලාපයේ මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් මහෝපකාරී වනු ඇත.”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන උපදේශක සහ චාන්සරි ප්‍රධානී ආචාර්ය රම්බාබු යන මහත්වරුන්, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු ප්‍රධාන ඇගයීම් කමිටු සාමාජිකයින්, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාඥයින්, පර්යේෂකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.