Friday, October 02, 2026
Follow Us
විභාග සමත්වීමට පමණක් සීමා නොවී ප්‍රායෝගික ජීවන කුසලතාවලින් සන්නද්ධ දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණයි – අගමැතිනි
විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 

අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (29) පැවැත්විණි.
 
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත් වීමට හැකියාව ඇති දරුවන් බිහි කළද, එම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිත කිරීමේ හැකියාව, සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධය ද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.
 
පාසල් අතර පවතින සම්පත් විෂමතාව අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
 
එමෙන්ම, පාසල දරුවන්ට ආරක්ෂිත, ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
මෙහිදී තරුණ පරපුර අමතමින්, අග්‍රාමාත්‍යවරිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. දේශපාලනය යනු පක්ෂ දේශපාලනයට පමණක් සීමා වූවක් නොවන බවත්, සමාජය තුළ සක්‍රීය පුරවැසියන් ලෙස මැදිහත්වීම ද එහි වැදගත් කොටසක් බවත් ඇය පැවසුවාය.
 
මේ අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.
 
තරුණ පරපුර අමතමින්, නියෝජ්‍ය කථානායකවරයා බහුවිධ භාෂා දැනුමේ වැදගත්කම මෙන්ම විනය සහ නීතියට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රටේ අනාගතය හැඩගැස්වීමේදී දේශපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පරපුර සක්‍රීයව දායක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
 
ඕනෑම වෘත්තියක් ගෞරවයෙන් හා කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කමත්, අන් අයගේ වෘත්තීන් අගය කරමින් ඒවායින් ඉගෙනීමේ අවශ්‍යතාවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා මානසිකත්වයේ පරිවර්තනයක් අවශ්‍ය බවත්, විනයගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ ශිෂ්‍ය මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුන් විසින් තම අමාත්‍යාංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කරන ලදී.
 
මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.
 
ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.