Thursday, July 02, 2026
Follow Us
නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සමාලෝචන ක්‍රියාවලිය සහ ඉදිරි මඟ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සමාලෝචන ක්රියාවලිය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (01) එම අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි. රජයේ ප්රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා, දැනට ක්රියාත්මක වෙමින් පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන ක්රියාවලියේ ප්රගතිය පිළිබඳව විමසා සිටි අතර, මෙරට ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව විභවතාවන් සහිත වෙළෙඳපොළවල් (New Potential Markets) හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
 
සාකච්ඡාව ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන කමිටුව මගින් සකස් කරන ලද සමාලෝචන වාර්තාවේ වත්මන් තත්ත්වය සහ එහි ප්රගතිය පිළිබඳව රැස්වීමට පැමිණි පිරිස දැනුවත් කළේය. මීට අමතරව, ඉදිරි සැලසුම් ක්රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
 
හවුල්කාර රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේදී වඩාත් සුදුසු සහ ප්රායෝගික ප්රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ගරු අමාත්යවරයා, ඒ සඳහා අවශ්ය තාක්ෂණික සාකච්ඡා කණ්ඩායම් (Technical Negotiating Teams) පිහිටුවීමට ද උපදෙස් දුන්නේය. මෙම ක්රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්යවරයා විසින් අදාළ නිලධාරීන්ට අවශ්ය මඟපෙන්වීම් සහ උපදෙස් ද මෙහිදී ලබා දෙන ලදී.
 
මෙම අවස්ථාව සඳහා සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා, එම අමාත්යාංශයේ අතිරේක ලේකම් (පර්යේෂණ හා වෙළෙඳ), වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, වෙළෙඳ හා ආයෝජන ප්රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ (නීති කටයුතු දෙපාර්තමේන්තුවේ) අතිරේක අධ්යක්ෂ ජනරාල්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු) මෙන්ම කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.